By පිටස්තරයා-2
මෙය සිදු වුනේ 1987 - 89 කාලේ. මම සාමාන්‍ය පෙළ සිසුවෙකු වුණු ඒ කාලේ ගණිතය හා ඉංග්‍රීසි විශයයන් වලට අමතර පංති වලට සහභාගී වුණා. ඒ පංතියෙ හිටි ළමයි අතරෙ මගෙ වයසෙම සාදුලා දෙනමක් හිටියා. මළමුවෙනි වතාවට සාදු කෙනෙක් යාළුවෙක් හැටියට ආශ්‍රය කරන්න ලැබුණේ ඔය පංතියෙදි. අපි සටහන්, ප්‍රශ්නපත්තර හුවමාරු කරගත්තා. සමහර වෙලාවට එහෙ මෙහෙ රස්තියාදු ගහන එකත් කළා පංති ඉවර උනාම.
කීපවාරයක් මම ඒ සාදුලා දෙනම හිටි පංසලටත් ගියා. ඒ පංසල තිබුණේ කන්දක් මුදුනේ. බස් එකෙන් බැහැල කිලෝ මීටර් තුන්කාලක් විතර යන්න ඕන පංසලට. ගම තිබුණේ කන්ද පාමුල. මුළු කන්ද හතර වටෙන් ම කැලෑව. පංසලටම යන කෙනෙක් හැර නිතර පංසල අවට මිනිස්සු ගැවසුනේ නෑ.
එහෙම ගිය දවසක මට තේ හදල ගෙනත් දුන්නෙ අලුත් මාමා කෙනෙක්. එයා හොඳට ඇඳලා කොන්ඩෙ හෙම පීරල පිළිවෙලට හිටියෙ.
"පොඩි සාදුලාට උදව් කරන්න හොඳ මාමා කෙනෙක් හම්බුවෙලා තියෙන්නෙ.." මම විහිළුවක් කළා.
නමුත් සාදුලා දෙන්න හිනා වුනේ නෑ. ඒ වෙනුවට පොඩි බැරෑරුම් පෙනුමක් ආරූඪ කරගත් උදිත සාදු රහසක් කිව්වා. "එයා ලොකු මුදලාලි කෙනෙක්, වාහන පහ හයක්ම එයාට තියෙනවා"
"අනේ.. යන්ඩ, මුදලාලි කෙනෙක් පංසලට වෙලා තේ හදහද ඉන්නෙ මොකට ද?.
"බොරු නෙවෙයි.., එයා යූ එන් පී එකේ කෙනෙක්. ජේ.වී.පී එකෙන් එයාව මරන්න ඉන්නවලු. ඒකයි මෙහෙ හැංගිලා ඉන්නේ."
සාදුලාගේ ඉරියව්වෙන් එය ඇත්ත බව පෙණුනා.
පංසලෙන් පිටවී එන්නට පෙර මම ඒ මාමාටත් යන්නම් කියා එන්න අමතක කළේ නෑ.
ඔහොම කලක් ගියා. එන්න එන්නම බිහිසුණු තත්ත්වය වැඩි වුනා. ඇඳිරි නීති, ගෝනි බිල්ලන්, හදිසි හමුදා වැටලීම්, පැහැරගෙනයාම්, මරා දැමීම්, තැන් තැන්වල පිලිස්සෙන මිණී, සුලබ දසුන් වුනා. මේ අතර 88 ජනාධිපතිවරණ ඡන්ද ප්‍රචාරක වැඩ ආරම්භ වුනා. ජනතා විමුක්ති පෙරමුණ ද ආණ්ඩුව ද අතර වඩා බිහිසුණු වීම සඳහා තරඟයක් ආරම්භ වුනාක් වැනියි. නොයෙක් දෙසින් විවිධ සිද්ධි වාර්තා වුනා. ඒ දවස්වල අපට ගෙවල්වලින් එළියට බැසීම සපුරා තහනම්. ඒ ආණ්ඩුවේ වත් ජේවීපී වත් නීති නිසා නොව දෙමාපියන්ගේ නීති නිසායි.
කලකින් මට උදිත සාදුත් භද්ධිය සාදුත් හමු වුනේ නෑ. මාස කීපයකට පසු අප හමුවුණු අවස්ථාවේ ආගිය තොරතුරු කතා කරන අතර පෙර කී වැඩිහිටියා ගැනත් මම විමසුවා.
"ඔයාට ආරංචිවුනේ නැත් ද?"
"නෑ.. මොකක් ද?"
"ඒ මාමාට වෙඩි තියල මැරුවනෙ.."
"නෑහ්...!" ජේවීපී එකෙන් පංසලට පැන්න ද?" මම නොඉවසිල්ලෙන් ඇසීමි.
"නෑ.. පංසලේ දි නෙවෙයි. එයා ගෙදර ගිය වෙලාවෙ"
"මොන මගුලකට ද එයා ගෙදර ගියේ.. මෙච්චර කලබල තියෙද්දි?"
"ඔව්.. ලොකු හාමුදුරුවො යන්න එපා කියද්දි ගියේ.. ප්‍රේමදාස මහත්තයට වැඩ කරන්න ඕන කියල"
"මෝඩයෙක් නේ.. නිකනුත් මරන තර්ජන තිබුණු එකේ ඡන්දෙට වැඩකරාම නොමරා ඉඳී ද? උන් මාර තරහකින් හිටියෙ ඡන්දෙ කරපු අයත් එක්ක"
"ඡන්දෙ දාට කළින්දා වාවින්න හන්දියේ දී එක්කෙනෙක්ට වෙඩි තිව්වා කියන එක ඔයාට ආරංචි වුණේ නැත්ද ?"
"ඔව්..ආරංචි වුණා"
"හ්ම්.. ඒ තමයි එයා"
"පෝස්ටර් ගහන කොට වෙඩි තිව්වා කියල තමයි ආරංචි උනේ"
"ඔව් එක ඇත්ත."
"ගොනා වගේ 'ප්‍රේමදාස දිනවමු' කියල පෝස්ටර් ගහන්න ඇති"
"අපිත් හිතුවෙ එහෙම තමයි"
"ඇයි.. එහෙම නෙවෙයි ද?"
"ඒ පෝස්ටර් එකෙ තිබිල තියෙන්නෙ 'ඡන්දය දෙන පළමු පස් දෙනාට මරණය' කියල".
"මොකක්..?"
"ඔව්"
"එතකොට කව්ද එයාට වෙඩි තිව්වේ?"
"පොලීසියෙන්"
"නෑහ්...!"
"එදා පාරවල් පාළුවට ගිහිල්ලනෙ තිබුණෙ. එයා පෝස්ටර් අලවනකොට පොලීසිය ඇවිල්ල. පොලීසියෙන් හිතල තියෙන්නෙ මෙයා ජේවීපී කියල. යූඑන්පී කියල දැනගෙන තියෙන්නෙ පස්සෙ.!"
"නෑහ්..!"
"නෑහ්.. නෙවෙයි, ඔව්!"
"පෝස්ටරේ තියෙන්නෙ ජේවීපී පණිවිඩේ... ඒ පෝස්ටරේ ගහන්නෙ ජේවීපී මරණ ලැයිස්තුවේ ඉන්න යූ එන්පී කාරයෙක්, වෙඩිතියන්නෙ පොලීසිය, මිනිස්සු හිතා ඉන්නේ ජේවීපී කාරයෙක් මළා කියල..
මාරයි නෙ..!!".
මාර තමයි පිංවත..! :)
By පිටස්තරයා-2
බාලචන්ද්‍රන්ගේ මරණය ගැන නොයෙක් තැන අදහස් පළවී තිබිණ. මේ වෙද්දීත් පලවෙමින් පවතී. සමහරෙක් 'ඔච්චරකල් ඔය පොටෝ තියාගෙන සිටියේ ඇයිදැ'යි ප්‍රශ්න කරති. තව සමහරෙක් ඔහුව කොටින් විසින්ම මරා ඡායාරූප ගතකරගෙන ඇති බව කියති. 'ඔයිට වඩා කොටි කොච්චර දරුවන් මැරුවා ද' කියා තවකෙක් අසයි. එල්ටීටී එකෙන් මැරූ දරුවන්ගේ ඡායාරූප ද හමුදාව තුවාල කරුවන්ට උපස්ථාන කරන ඡායාරූපද තරඟයට මෙන් ඉදිරි පත් කෙරෙයි. ඇත්තටම මෙය තරඟයකි.
හැබෑ ලෙසම මියගොස් ඇත්තේ බාලචන්ද්‍රන් ද?
බාලචන්ද්‍රන්ගේ මරණයට අදාල කිසිවක් අද දක්වා කිසි තැනෙක මම නොලීමි. ඒ සම්බන්ධයෙන් අද ද මට කිය හැක්කේ මීට වුරුදු දෙකකට පමණ පෙර මේ බ්ලොග් අඩවිය තුළ සිට කී දෙයමය. එනම් යුද්ධය තුළ බිහිවන්නේ ම්ලේච්ඡ පරිසරයක් පමණක් බවයි. එවන් තත්ත්වයක දී සාමාන්‍ය තත්ත්වයන් යටතේ සිදු නොවන ඕනෑම දෙයක් සිදුවිය හැකි බවයි. මිනිසා තුළ නිසගයෙන් පවත්නා ම්ලේච්ඡත්වයට මතුවීමට ඉඩ ලබා දෙන පරිසරයක් ඇතිවූ විට ඔහු ම්ලේච්ඡයෙකු ලෙස හැසිරීම සිදුවිය හැකි බැවිනි. එය සිංහල හමුදාවට පමණක් සීමාවන තත්ත්වයක් නොවේ. දෙමල අයට එරෙහිව පමණක්ම සිදුවන්නක් ද නොවේ. 87-89 කාලය තුළ අඩුවැඩි වසයෙන් එය සිංහල සමාජයට එරෙහිව ද සිදු විය. එමෙන්ම අඩු වැඩි වසයෙන් දෙමළ (එල්ටීටීඊ) හා සිංහල (ජේවීපී) සන්නද්ධ කණ්ඩායම් අතින් ද සිදු විය.
ඒ නිසා හෙට අනිද්දා වනවිට තවතවත් අළුත් ශාක්ෂි ගෙනහැර දැක්වුවා කියාත් පුදුම වෙන්නට කිසි කාරණාවක් නැත. යුද්ධයක් තුළ සිදුවිය නොහැකි යමක් සිදුවී ඇති බවක් කවුරුන් හෝ පෙන්වා දුන්නොත් එයට පමණක් මම පුදුම වෙමි. බාලචන්ද්‍රන්ගේ මරණය ගැන මට පුදුම වීමට කිසිවක් නැත්තේ එබැවිනි. ඔහුව මැරුවේ හමුදාව වුවත් කොටි වුවත් මගේ අදහස ඒ දරුවා ගේ හැබෑ මිනීමරුවා යුද්ධය බවයි.
පුදුම විය යුත්තේ මෙවැනි හා මීටත් වඩා ම්ලේච්ඡත්වයන්ට මග පාදන යුද්ධයන් ඇතිවීමට හේතුපාදකවන තත්ත්වයන් වළක්වා ගැනීමට අවශ්‍යවන වගකීම් සහගත හැසිරීම තිස් අවුරුදු යුද්ධයකට පසුවත් ශ්‍රී ලාංකික සමාජය තුළ වර්ධනය නොවූයේ ඇයි ද යන්න සම්බන්ධයෙනි. හැබෑ ම්ලේච්ඡත්වය ඇත්තේ එහිය. හැබෑ මරණය සිදුව ඇත්තේ එතැනය.
යුද්ධය නිම වී මාස අටක් පමණ ගත වූ තැන සිට මා අතින් ලියැවුණු මේ බ්ලොග් අඩවිය තුළ දී මා උත්සාහ කළේ මෙන්න මේ කාරණය වෙත අවධානය යොමු කිරීමටයි. එහි හැම ලිපියකම ඇත්තේ ඔය කී කාරණයයි. අද වන විට මා අවසන් බ්ලොග් ලිපිය ලියා අවුරුදු දෙකක් පමණ ගතවී ඇත. මේවන විට අප සිංහල සමාජය මුස්ලිමුන්ට එරෙහි කළු ජුලියකට අවශ්‍ය පරිසරය සකසාගෙන හමාරය. මෙවර ද එහි නායකයන් එසේ කරන්නේ ‘බුද්ධාගම’ රැකගන්නටය.
කොතැන හෝ වැටෙන ගිණිපුපුරකින් ගින්න ඇවිලීමට අවශ්‍ය ඉන්ධන අවශ්‍ය පරිදි විසුරුවා හැර අවසන්ය. ගින්න ඇවිලෙන තුරු මොහොතක් ඉවසීමෙන් බලා හිඳිමු. එයින් වසර විස්සක් තිහක් ගිය පසු අපට ආයෙත් සැරයක් මේ වගේ කාණුවක වැටී ඇති දරුවෙකුගේ මරණය ගැන ඡායාරූප තරඟයකට සහභාගී වීමේ අවස්ථාව උදාකර දෙනු ඇත. එතෙක් ටිකක් ඉවසීමෙන් කටයුතු කරමු.
By පිටස්තරයා-2
මවිසින් '
මේ සිංහලයන්ගේ ආරම්භය ගැන නම් නොවේ...' යන මාතෘකාව යටතේ ලියන ලද ලිපිය තුළින් මතු කරන ලද 'නෝ ෆ්‍රේම් සහෘදයා' ගේ ලිපියේ විසංවාදයන්ට නෝ ෆ්‍රේම් විසින් පිළිතුරු සපයා තිබෙනවා. මේ ලිපියෙන් මා සාකච්ඡා කරන්නේ ඒකී පිළිතුරු ලිපියෙන් මතුවන කරුණු හා විසංවාදයන් පිළිබඳවයි. මේ ලිපිය තුළ දුඹුරු පැහැයෙන් දක්වා ඇත්තේ ඔහුගේ ලිපියෙන් උපුටා ගත් ප්‍රකාශයන් ය. ඔහුගේ ලිපිය කියැවීමට
මෙතැනින් යන්න.
ඔබේ පිළිතුරු ලිපියට ස්තූතියි.
ඔබ එහි කියා තිබෙනවා "නිර් – රාමු, පිටස්තරයා තරම් මේ සබැඳිව උගතෙක් නොවේ. හේ මේ අධ්‍යයනය කරන්නේ විනෝදාස්වාදී කටයුත්තක් ලෙසය." කියා.
මෙසේ ඔබ අතගසා ඇති විෂය පිළිබඳ ඔබට එතරම් උගත් කමක් නැති බව පිළිගැනීමට තරම් නිහතමානීවී ම ද මා මහත්සේ අගය කරනවා. එසේ ම ඕනෑ ම අයෙකුට තමන් කැමති විනෝදාස්වාද කටයුත්තක යෙදීමට ඇති අයිතිය මා පිළිගනුයේ ඒ විනෝදාශ්වාද ක්‍රියාව තවත් පුද්ගලයෙකුට හෝ පිරිසකට හානි දායක එකක් නොවන ප්‍රමාණයටය. විනෝදයට ඉතිහාසය විශයයට අයත්වන දේ ලිවීම, විනෝදයට කැරම් ගැසීම වැනි එකක් නොවේ. විශේෂයෙන් ම ඒ ලිවීම විවිධ ජාතීන්, ආගමික කණ්ඩායම් සම්බන්ධ සාකච්ඡාවන් වනවිට තත්ත්වය බෙහෙවින් ම බරපතලය.
"‘සිංහලයන් පැවත එන්නේ ද්‍රවිඩ මූලයකින්’ ය කියා කීම තුළ නැවත වතාවක් සිංහලයන් ලෙස හැඳිවෙන ජන කොටසේ බිහිවීම සීමිත සංස්කෘතික යුගයකට සීමා කෙරෙන නිසා ලෙස පිටස්තරයා කරන ප්‍රකාශය ඔහු ද්‍රවිඩ, දමිළ හා ද්‍රවිඩියානු යන පදයන් පටලවා ගැනීමෙන් ඇති කරගත් අවුලෙකැයි සිතේ."
මා කිසි ම පටලවා ගැනීමක් කර නෑ. ඔබ නැවත මා ලියා ඇති දේ කියවන්න. ඒ වගේ ම චතුරට පිළිතුරු ලෙස ලියා ඇති සටහන ද කියවන්න. මං අදහස් කරන දේ පැහැදිලි වෙයි.
මා නොකළ පටලවා ගැනීමක් ලිහන්නට ගොස් ඔබ නම් පටලවා ගැනීමක් කර තිබෙනවා. ඒ "දමිල / ද්‍රවිඩ යනු භාෂාවකි. එය වහරන අප රටේ උතුරු කරයේ හා තමිල්නාඩුවේ ජනයාය. ද්‍රවිඩියානු යනු භාෂා කුලකයකි." ලෙස ලිවීමෙන්. මේ කියමනට අනුව දමිළ හා ද්‍රවිඩ යන පද දෙකෙන් ම කියැවෙන්නෙ එක භාෂාවක් පිළිබඳව ය. නෝ ෆ්‍රේම්, මෙය ලංකාවේ වැඩි උගත්කමක් නැති අව්‍යක්ත මිනිසුන් කරන වරදකි. එනම් දෙමළ කතා කරන ජනයා ද්‍රවිඩ ලෙස හැඳින්වීම. "ද්‍රවිඩ" යනු භාෂා පවුලකි. එයට අයත් භාෂා ඔබ නිවැරදිව කියා තිබෙනවා. ඒත් ඒ ගොඩට නැවත ද්‍රවිඩ කියා භාෂාවක් ඇතුලත්වන්නේ නෑ. 'ද්‍රවිඩ' කියන නාම පදය නාම විශේෂණයක් ලෙස භාවිතා කෙරෙන විට නම් 'ද්‍රවිඩියන්' කියා යෙදෙනවා. ඒ නිසා ද්‍රවිඩ, ද්‍රවිඩියානු යනු දෙකක් නොවෙයි. එකමයි. එහෙත් දෙමළ හා ද්‍රවිඩ යනු පැහැදිලිව ම දෙකක්.
"“දෙවැනි වැදගත් කරුණු දෙකක් ලෙස මා දකින්නේ ‘ඒ හැර සිහළ බස නෑකම් දකවන්නේ කන්නඩ, මලයාලම් හා බෙංගාලි බසටය කියා පෙරමුණේ රාල කරන ප්‍රකාශය” ලෙස පිටස්තරයා නැවත සඳහනක් කරයි. අඳෝමැයි! මවිසින් පටලවා නොගත යුතුයි කියූ සංකල්පයන් පිටස්තරයා පටලවා ගෙන සලාදයක් බවට පත් කර ගෙන ඇත. සිහල අකුරු හා සිහල බස යන්න වෙන වෙනම පාරාමිතීන් ලෙස සලකන මෙන් මම ඉල්ලා සිටියෙමි. නමුත් පිටසතරයා ඒ සියල්ල පටලවාගෙන ඇත."
නෝ ෆ්‍රේම්, ඔබේ ලිපියේ කොතැනක වත් එබඳු ඉල්ලීමක් නෑ. ඒ හැර මා උපුටා දක්වා ඇත්තේ ඔබේ ලිපියේ තිබූ වාක්‍යයක්. නමුත් දැන් නම් ඔබ එම වාක්‍යය වෙනස් කර තිබෙනවා පහත ආකාරයට. එනම් 'ඒ හැර සිහළ බස නෑකම් දකවන්නේ පාළි, සකු හා බෙංගාලි ආදී බස් වලට වන අතර සිහල අකුරු නෑකම් දවන්නේ කන්නඩ හා මලයාලම් වැන්හි අකුරු වලටය..' ලෙස. නමුත් ඔබේ මුල් ලිපියේ පිටපතක් මා ලඟ තිබෙනවා. එහි ඔබ ලියා ඇත්තේ 'ඒ හැර සිහළ බස නෑකම් දකවන්නේ කන්නඩ, මලයාලම් හා බෙංගාලි බසටය. දමිළ බස සමග ඇති සමීප තාවය ඉතා අඩු බව උක්ත අකාරාදි දෙස බැලීමෙන් වටහා ගත හැකි වනු ඇත' යනුවෙනි. ඒ අනුව ඔබ අකාරාදිය උදාහරණ ලෙස දක්වමින් කතා කරන්නේ භාෂාව ගැන මිස අක්ෂර ගැන නොවේ. ඔබ වාක්‍ය වෙනස් කරමින් ඉතා දක්ෂ ලෙස මා කළ අභියෝග දෙකෙන් ම මගහැර ගොස් තිබෙනවා. මා ඉදිරිපත් කළ අභියෝග මේවායි.
1. මෙබඳු තත්ත්වයක් යටතේ සිංහලය බෙංගාලි බසට වැඩි නෑකම් දක්වන්නේ යැයි පෙරමුණේ රාල පවසන්නේ අලුත්ම පර්යේෂණ මත පිහිටා විය යුතුයි කියා හිතනවා. ඔබේ නිගමනයට පාදක වූ ඒ අළුත් මූලශ්‍රයන් දක්වන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා.
2. අනෙක් අතට සිංහල භාෂාව කන්නඩ, මලයාලම් භාෂාවලට නෑකම් දක්වන බව කීවත් අක්ෂර සටහනට අමතරව කිසිම භාෂාමය උදාහරණයක් පෙරමුණේ රාල දක්වා නෑ. එවනි උදාහරන ඇත්නම් ඔබගේ කීම වඩාත් ශක්තිමත් වෙන්නට තිබුණා. ඉදිරියේ දී එබඳු භාෂාමය සාධක මගින් තම මතය ශක්තිමත්ව ඉදිරිපත් කරාවි කියල හිතනවා.
මේ ආකාරයට ඔබ මුලින් කී කියමන වෙනස් කරමින් තමන් වෙත එළඹි අභියෝගය මග හැර ගිය පළමු අවස්ථාව මෙය නොවෙයි. මාගේ මහාවංසය සම්බන්ධ ලිපිය ගැන ඉතාම විකෘති අර්ථ කථනයක් දෙමින්
ඔබ ලියූ ලිපිය සම්බන්ධ සංවාදයේ දී ඔබ මේ ආකාරයටම මහාවංසයේ ඇති යමක් ගැන කිය සිටියා. එකී කරුන සඳහන් වී තිබෙන තැන කියන්නැයි කී විට ඔබ කළේ මේ ආකාරයටම මුල් වාක්‍ය සංශෝධනය කොට ප්‍රශ්නයෙන් මග හැර යාමයි.
"නමුත් පිටස්තරයා තදින්ම ඉල්ලා සිටින බැවින්, සිහල, දමිල, කන්නඩ, මලයාලම් හා තෙලිඟු අකුරු වල සබැඳියාව දක්වන පහත අඩවිය ඉදිරිපත් කරමි."
මා ඔබට කියා සිටියේ අක්ෂර විකාෂය හුදෙක් නූතන මුද්‍රණ අකුරු මත නිර්ණය කිරීම අශාස්ත්‍රීය බව හා ඒ ඒ යුගවල ඒ ඒ අකුරුවල විකාශය සැලකිල්ලට ගෙන එය කළ යුතු බවත් ය. එසේ කරන ලද පර්යේෂණ කිහිපයක් ද මා සඳහන් කළා. නමුත් ඔබ නැවත එකී ඔබගේ ප්‍රකාෂයන් තහවුරු කිරීමට ඉදිරිපත් කරන්නේ එතරම් ගැඹුරු නොවන අක්ෂර විකාශය පිළිබඳ දළ අදසක් ලබාගත හැකි වෙබ් අඩවියකින් ලබා ගත් සටහණක්.
"මේ සටහනෙන් ග්‍රන්ථ අකුරෙන් සිහල, දමිළ, කන්නඩ ආදී අකුරු විබෙදෙන අයුර දකවා ඇත."
සහෝදරයා, මේ කියමණත් වැරදියි. පල්ලව ග්‍රන්ථාක්ෂරවල බලපෑම සිංහල අක්ෂර වලට ලැබෙන්නේ ක්‍රි ව 7 වැනි සියවසේ දී පමණ. ඒ කාලයට අයත් සෙල්ලිපිවල මේ බලපෑම දැකිය හැකි අතර එතෙක් සිංහල අක්ෂර මාලාවේ නොතිබුණු ඇතැම් අකුරු කිහිපයක් පමණක් පල්ලව ග්‍රන්ථ අකුරුවලින් කෙලින් ම ලබා ගෙන තිබෙනවා. (මේ ගැන උදාහරණ දෙමින් පී ඊ ඊ ප්‍රනාන්දු අචාර්යවරයා සාකච්ඡාකර තිබුණා. එහි යොමුව පෙර ලිපියේ ලබා දී ඇති) එහෙත් ඒ වනවිටත් බ්‍රාහ්මී අකෂරයන්ගෙන් ඇරඹී විකාෂය වී තිබූ අකුරු ඉදිරියටත් භාවිතාවීම දැකිය හැකියි. ඒ නිසා 'ග්‍රන්ථ අකුරුවලින් සිංහල අකුරු විබේදනය වී ඇත' යැයි කීම ද අශාස්ත්‍රීයයි.
"සිහල අකුරු වල විසෙස් විකසනය මේ සටහනේ දවනවාට වඩා මදක් පැරණි අතර එය ක්‍රි.පූ. සය වන සියවසේ සිහිගිරි කුරුටු ගී දක්වාවත් දිව යයි." මෙතනත් වැරදිලානේ නෝ ෆ්‍රේම්. සීගිරි ගී අයත් ක්‍රිස්තු පූර්ව යුගයට නොව ක්‍රිස්තු වර්ෂ යුගයටයි. එය ඔබ අතින් වූ අතපසු වීමක් සේ සැලකුවත් සීගිරි ගී එක් සියවසකට සීමා කරන්න බෑ. ඒවා අඩු තරමේ වසර තුන්සියයක් තරම් කාල පරාසයකට අයත්.
බුදුදහම පාලියෙන් දේශනා කළේය යන නෝ ෆ්‍රේම්ගේ අදහස ගැන ඊට වෙනස් අදහසක් එකී විෂය පිළිබඳ ප්‍රාමාණික උගතෙකු උපුටා දක්වමින් මා පෙන්වූයේ අප අතර පතුරවා ඇති තවත් අධිපති මතවාදයක් ඛණ්ඩනය කිරීමටයි. එනම් "බුදුන් වහන්සේ පාලියෙන් ධර්මය දේශන කළේ ය. ඒ නිර්මළ දහම අපට ලැබුනේ ය. ඒ නිසා අප සතුව ඇත්තේ නිර්මල ම බුදු දහමයි කියා පතුරවන 'මහා සත්‍යය' එසේ නොවන බව පෙන්වා දීමටයි. පාලියෙන් බුදුන් ධර්මය දේශනා නො කළා සේම උන්වහන්සේ ධර්මය ලියා තැබුවේත් නෑ. අද අප සතුව ඇති ත්‍රිපිඨකයේ සූත්‍ර වල ඇත්තේ ආනන්ද තෙරුන් විසින් අසා දැන ගත් සූත්‍ර ප්‍රමාණය පමණයි. ඒ නිසා ඒතැනින් ම යම් ඉගැන්වීම් ප්‍රමාණයක් ගිලිහෙනවා. ආනන්ද තෙරුන් පළමු සංගායනාවේදී අන් භික්ෂූන්ට විස්තර කළ ධර්මය ද නැවත වරින්වර ක්‍රි පූ තුන් වැනි සියවස තෙක් වත් සංස්කරණය වූ බව පැහැදිලියි. එසේ ත්‍රිපිඨකයට කිසිවක් අලුතෙන් එක්කළ නොහැකි දැඩි තත්ත්වයක් වී නම් අභිධර්ම පිඨකය කියා යමක් සංග්‍රහ කොට බුදුන් දෙවියන්ට දේශනා කළ ධර්මය යැයි නම් කරමින් ත්‍රිපිඨකයට ඇතුලත් කරන්න බෑ. මේ අදහස මගේ ලිපියට ඇතුලත් කිරීම අදාල වන්නේ මා නිගමණ ඡේදයෙන්ද දක්වා ඇති පරිදි 'මහා සත්‍යයන්' නැති බවත් සංකීර්ණ ලෙස යමක් ලෙස බැලීය යුතු බව පෙන්වා දීම මාගේ අරමුණ වූනිසයි. 'බුදුන් වහන්සේ පාලියෙන් ධර්මය දේශන කළේ ය' කියා ඔබ කරන ප්‍රකාශය ද සංකීර්ණ නොවූ අවසන් මහසත්‍යයක් පිළිගන්නා චින්තනයට සේවය කරන නිසයි.
"පිටස්තරයා පරුමක යන පදය අල්වා ගෙන එය දෙමළ පදයෙකැයි පවසයි. එය දෙමළ පදයක් නොව “ද්‍රවිඩියානු” පදයක් වන්නට ඇති ඉඩකඩ වැඩිය. මන්ද ක්‍රි.පූ. තුන්වන සියවසේ පරුමක පදය වත්මන් දෙමළෙදි වර නැගෙන අයුර දැක්වීම, පිටස්තරයාම ඉදිරිපත් කල නියමයට ඔහුම පටහැණිව යාමක් වන නිසාය."
මෙ කී පදය දෙමළ භාෂාවේ එන වචනයක් වන ආකාරයත් එය වත්මන් දෙමළ භාෂාවේ යෙදෙන ආකාරය සැලකිල්ලට ගෙන පරුමක යන්නට අර්ථ කථන සපයා නැති ආකාරයත් දැන ගැනීමට මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න ගේ ලිපිය සොයාගෙන කියවන්න. මේ මොහොතේ මට හරියට ම එම ලිපියේ යොමුව ලබා ගැනීම අපහසුයි. එහෙත් ඔබ ලංකාවේ සිටින නිසා පහසුවෙන් ම එය සොයා ගත හැකියි සංස්කෘතික ත්‍රිකෝණ කාර්යාලයට කතා කිරීමෙන්. එතුමා එහි අධ්‍යක්ෂකවරයායි.
අනෙක් අතට එය “ද්‍රවිඩියානු” පදයක් වන්නට ඇති ඉඩකඩ වැඩිය කියා නිහඬ නොවී එය ද්‍රවිඩියානු පදයක් වන ආකාරය පැහැදිලි කරන්න. ඉතිහාසය යනු හිතළු ප්‍රකාශ කරන්නට තිබෙන අවකාෂයක් නොවෙයි. අනෙක් අතට එය දෙමළ පදයක් ලෙස පෙනෙනවා නම් එසේ පිළිගත්තා ම ඇති වරද මොකක් ද? ඇයි ඔය තරම් බය? යුද්දය ඉතා ම බරපතල ලෙස ක්‍රියාත්මක වෙද්දීත් ලංකාවේ දෙමළ අයගේත් දකුණු ඉන්දීය දෙමළ අයගේත්, පළාතේ මුස්ලිම් ජනයාගේත් බරපතල සහභාගීත්වය ඇතිව කුරුණෑගල ඉදිවෙමින් පවත්නා දැවැන්ත බුදු පිළිමයක් සම්බන්ධ
මේ ලිපිය කියවන්න. නිසැකවම අනාගතයේ ජීවත්වන ඔබ වැනි පුද්ගලයන් මේ ඉතිහාසය මකා දමනවා ඇති. මේ පිළිමය 'නිර්මළ සිංහල බෞද්ධයන්ම' ඉදි කළා මිස කිසි ම 'පරදෙමළෙක්' හෝ 'තම්බියෙක්' එයට හවුල් නැති බව කියනවා ඇත. එය එසේ නොවේ යැයි කීමට උත්සාහ කරන වුන්ට මට එල්ල කරන චෝදනා ම එදාටත් එල්ල කරනවා ඇත.
"නමුත් පරුමක ද්‍රවිඩියානු වීම තුලින් සිහල බසම ද්‍රවිඩියානු යයි කීමට පිටස්තරයා ලඳ බොලඳ උත්සාහයක් ගන්නේදෝ යයි සැකයක් මතුවේ"
ඔබ දෙමළ භාෂාවෙන් සිංහලය ලබා ඇති අභාෂය අඩු බව කියා හිටියා. මම කළේ එය එසේ නොවන බවට සාධක ඉදිරිපත් කිරීමයි. නමුත් මම පැහැදිලිව ම සිංහල භාෂාව ඉන්දු ආර්ය භාෂා මූලයෙන් ඇරඹි එකක් බවත් දෙමළ බස ද්‍රවිඩ භාෂා මූලයෙන් ඇති වූවක් බවත් කියා තිබෙනවා. ඔබත් මා එසේ ප්‍රකාශ කර ඇති බව පිලිගන්නා අතරයි නැවත ඉහත ආකාරයේ නොමේරූ සැකයක් මතු කරන්නේ. මෙය මට අලුත් නෑ. මා මහා වංසයට හිමි තැන ගැන ලියූ ලිපියේ දකුණු ඉන්දියාවේ හා ලංකාවේ ද අතීතයේ එකම ආගමික තත්ත්වයක් පැවති බවත් එවක සිටි සිංහල හා දෙමළ භික්ෂූන් කිසි වෙනසක් නැතිව කටයුතු කරන්න ඇති කියාත් කී විට මා ලංකාවේ දෙමළ භික්ෂූන් සිටියා යැයි කියමින් දෙමළ නිජබිම තහවුරු කරන්නේ යැයි මට අද මෙන්ම චෝදනා එල්ල කළ හැටි ඔබට මතක ඇති.
නෝ ෆ්‍රේම්, අපි මීට වඩා මේ සාකච්ඡාව උසස් තලයකට ගෙන යමු. :) එසේ ඇතිවන උසස් සංවාදයකින් නිසැකව ම මා ද කියවන අන් අයද පෝෂණයක් ලබනවා ඇති. ඒත් මේ මට්ටමේ වාදවලින් සිදුවන්නේ අපි හැමෝ ම පිරිහෙන එකයි.
"පුරාණතම “පූර්ව-සිහල” ලේඛණය පුරාණතම “පූර්ව-දමිළ” ලේඛණයට වඩා සියවසක්වත් පැරැනිය. එනිසා ලංකාවේ භාවිත වූ බස මෙහි පැමිණියේ ක්‍රි.පූ. 5 වන සියවසටත් එපිටින් වීමට බොහෝ ඉඩ ඇත." මේ ප්‍රකාශය ද ක්‍රම විරෝධීයි. අනුරාධපුරයෙන් ලැබී ඇත්තේ බ්‍රාහ්මී අක්ෂර තුනක් පමණක් සහිත මැටි බඳුන් කැබැල්ලකි. එය වචනයක මුල හෝ මැද හෝ අග කොටස දැයි තීරණය කළ නොහැකි ය. එහෙයින් ඒ අකුරු තුන පූර්ව සිංහල කියා හෝ පූර්ව දෙමළ කියා හෝ නම් කළ නොහැකි යි. ප්‍රකාශ කළ හැක්කේ ක්‍රි පූ 5-6 සියවස් තරම ඈත කාලයේ ලංකාවේ ලිවීම දැනසිටි බව හා එසේ ලිවීම කළේ බ්‍රාහ්මී අක්ෂර වලින් බව පමණි. මා නැවතත් කියන්නේ ඉතිහාස විෂය තුළ කළ හැක්කේ මූලාශ්‍රය වලින හෙළිවන තොරතුරු වලට සීමාවෙමින් කරුණු සාකච්ඡා කිරීම මිස හිතළු ප්‍රකාෂ කිරිම නොවන බවයි.
ඒ හැර ඔබ කිසිම පිළිගත හැකි මූලාශ්‍රයක්, පිළිගත හැකි කිසිම උගතෙකුගේ කෘතියක් හෝ පර්යේෂණ ලිපියක් තම මත ඉදිරිපත් කිරීමේ දී භාවිතා කර නැති වගත් පෙන්වා දෙන්න කැමතියි.
මා ඉගෙන ගන්නා සමයේ 'ඉතිහාසකරණය හා ක්‍රමවිද්‍යාව' (Historiography and Methodology) පාඨමාලාව ඉගැන් වූ මහාචාර්යවරයා තම පළමු දේශනය අරඹමින් කී කරුණු කිහිපයක් මා මෙහි සඳහන් කරන්නේ එය මේ සාකච්ඡාවට ඉතාම අදාල වන බැවිනි.
"ඉතිහාසය විෂයයක් ලෙස ලෙස හදාරන ඔබ හිතන්න පුළුවන් ඉතිහාසය කියන්නේත් මෙම ආයතනය තුළ උගන්වන අන්විෂයන් වැනිම තවත් විෂයයක් කියා. නමුත් මා කියනවා එය එසේ නොව සුවිශේෂ විෂයයක් කියා.
එය සුවිශේෂ වන්නේ අන්විෂයයන් ඒ ඒ විෂය පිළිබඳ උගතුන්ට සීමාවන විෂයයක් වන අතර ඉතිහාසය එසේ නොවීම නිසයි. උදාහරණයකට ශල්‍ය කර්මයක් කළයුත්තේ කෙසේ ද කියා සාකච්ඡා කරන්නේ ඒ පිළිබඳ පුහුණුවක් ඇති ශල්‍ය වෛද්‍යවරුන්. සමාන්‍ය වඩුබාස්ලා හෝ පූජකවරුන් හෝ වෙනයම් පුරවැසියෙක් ඒ කටයුත්තට අත ගසන්නේ නෑ. ඇයි ඒ? ඒ අප සියළු දෙනාම පිළිගන්නා නිසා ඒ විෂයට අතගැසිය යුත්තේ ඒ ගැන නිසි පුහුණුවක් ඇති අය විසින් කියා. පාලම් හැදීම ගැන ගත්තත් වෙනත් කිසියම් වෘත්තියක් ගැන ගත්තත් තත්ත්වය මෙය ම යි. දර්ශනය, ආර්ථික විද්‍යාව වැනි විශයයන් ගත්තත් තත්ත්වය මෙය ම යි. ඒ ගැන උගත් කමක්, ඒ ඒ විෂයයේ ක්‍රමවෙදයන්, සීමාවන් දන්නා අය මිස අන් අය ඒවාට අතගසන්නේ නෑ. නමුත් 'ඉතිහාසය' එහෙම නෙවෙයි. හැමදෙනාම හිතා සිටින්නේ 'ඉතිහාසය' යනු හාමුදුරුවන්ටත් පූජකවරුන්ටත්, දෙශපාලකයාටත් පදික වේදිකාවේ වෙළෙන්දාටත් කිසි පූර්ව ඉගෙනීමක් පුහුණුවක් නොමැතිව අතගැසිය හැකි විෂයයක් කියායි. මෙය ලංකාවට පමණක් විශේෂ වන්නක් නොවේ. නමුත් ලංකාවේ තත්ත්වය අන් රටවලින් සුවිශේෂයි. ඒ අන් රටවල 'මහාවංසය' වැනි සැලකිල්ලෙන් 'කාලානුක්‍රමය' (Chronology) ගැන සැලකිල්ලකින් දේශපාලන සිදුවීම් හෝ වෙනයම් ආයතනයකට අදාල සිද්ධි වාර්ථා කරමින් ලියන ලද පොත් අඩුයි. ඒ නිසා ඉතිහාසඥයාට තම ක්‍රම වේදයන්ට සීමාවෙමින් තම කටයුතු කිරීම පහසුයි. නමුත් ලංකාවේ මහාවංසය කියා පොතක් ඇති නිසා තත්ත්වය තවත් සංකීර්ණ වෙනවා. ඒ මහාවංසය යනු ඉතිහාසයයි කියා බහුතරයක් සිතන නිසායි. ඒ සිතීමට අනුව ඉතිහාසය යනු අතීතයේ ජීවත් වූ භික්ෂූන්වහන්සේ නමක් කුටියක සිට ලියා සම්පූර්ණ කර ඇති දෙයක්. අපට අද කරන්නට තිබෙන්නේ එකී භික්ෂූන් වහන්සේ ලියා ඇත්තේ කුමක් දැයි අදාල පොත පෙරලා බලා ඉතිහාසය දැන ගැනීමයි. හරියටම අල්-කුරාණය හෝ බයිබලය බලා අදාල ආගමික ඉගැන්වීම් විස්තර කරනවා වැනියි. මේ නිසා මා ඔබට කියනවා ඔබ අද සිට ඉගෙනගන්න යන්නේ මේ රටේ සියළුම දෙනා දන්නවා යැයි සිතාගෙන සිටින විෂයයක් කියා.
තවත් ආකාරයකට අද සිට ඔබ ඉගෙන ගන්නට යන විෂය අන්විෂයයන්ගෙන් වෙනස් වෙනවා. ඒ මෙහෙමයි.
ඔබ හිතන්න ශල්‍යවෛද්‍යවරයෙකු විසින් කළ යුතු ශල්‍යකර්මයක් වඩු බාසුන්නැහේ කෙනෙක් කරනවා කියා. රෝගියෙකු අල්වා වඩු බංකුව මත බාවා කියත් නියන් ආදිය පාවිච්චිකොට ශල්‍යකර්මයක් කළා කියා හිතන්න. නිසැකව ම රෝගියා මියයාවි. ඒත් ඔහුට එකවරකට වඩා මේ ක්‍රියාව කරන්න බෑ. මිනිසුන් එයට එරෙහි වෙනවා ඇති. ඔහුව නීතිය ඉදිරියට පමුණුවනවා ඇති. දඩුවම් ද ලබා දෙනවා ඇති. පාලම් හැදීම ගැන ශාස්ත්‍රානූකූල දැනුමක් නැති කෙනෙක් පාලමක් තැනීම නිසා එය කඩා වැටීමෙන් වැඩිම වුනොත් 50ක් 60 මිය යනවා ඇත. එහෙත් දිගින් දිගට ඔහුට මේ වැරැද්ද කරන්නට ඉඩ ලැබෙන්නේ නැත. නීතිය මගින් සමාජය මගින් ඔහුගේ ක්‍රියාව නවත්වනවා ඇත. ඒත් ඉතිහාස විෂය සම්බන්ධ තත්ත්වය එසේ නොවේ. ඉතිහාස විෂයයේ ක්‍රමවේදයන් ද එහි සීමාවන් ද එම විෂයට අතගසන්නකු තුළ තිබිය යුතු හික්මීම හා සංයමය ද නැති කෙනෙකු එම විෂයය ලිවීම, දේශනා කිරීම නිසා මිය යා හැකි සංක්‍යාව වඩුබාසුන්නැහේ කෙනෙක් ශල්‍යකර්මයක් කිරීම නිසා මිය යාහැකි ප්‍රමාණය මෙන් සුළු පටු නොවේ. සමහර විට මෙකී ක්‍රියාව නිසා ඉතා සහෝදරත්වයෙන් සිටි ජාතීන් දෙකක්, ආගමිකයන් දෙකොටසක් කිසිදා එක් නොකළ හැකි සේ භේද භින්න වෙන්න පුලුවන්. එයින් ම ඔවුන් මරාගන්න තත්ත්වයට පත්වෙන්න පුළුවන්. සමහර විට මේ මරා ගැනීම පරම්පරා ගණනාවක් ඉදිරියට යනවා ඇත. මරා ගැනීම දෙපසම වෙහෙසට පත් වීම නිසා නැවැත් වුවත් කිසිදා ඔවුන් මුලින් සිටි සමගි සම්පන්න තත්ත්වයට පත් නොවෙනවා ඇත. ඒ අනුවත් ඔබට පෙනෙනවා ඇති ඉතිහාසය යනු අන් සියළු විෂයයන්ගෙන් සුවිශේෂ විෂයයක් වන බව.
තව දුරටත් ඔබ දැනගත යුතු දෙයක් තිබෙනවා. ඒ ශල්‍යකර්ම කිරීම ගැන පුහුණුවක් නැති අයෙකු ඒ කටයුත්තේ නියැළුනොත් ඔහුට දඩුවම් ලැබෙනු ඇති බව මා කිව්වා. එක් මිනිසෙකු දෙදෙනෙකු මියයන තත්ත්වයක දී ඒ ආකාරයට නීතිය ක්‍රියාත්මක වේ නම් පරම්පරා කීහිපයක ගේ මරණය ඇති කිරීමට හවුල් වන්නෙකුට ඊට වඩා දඩුවම් හිමි නොවන්නේ දැයි ඔබ අසාවි. මට දිය හැකි පිළිතුර නම් නැත යන්නයි. එවැනි අයට දඩුවම් නො ලැබෙනවා පමණක් නොව ඔහු විසින් උත්කර්ෂයට නගන ජාතියට, භාෂාවට, ආගමට, කුලයට අයත් ජන පිරිස් අතර ඔහු වීරයෙකු බවට පත්වේ. එබඳු ජනයාට ඔහු දේශප්‍රේමියෙකි. ජාතිප්‍රේමියෙකි. එකී පුද්ගලයාට ද ඔහුගේ දරු මුණුපුරන්ට ද ඉතා හොඳ ජීවිතයක් ගතකොට ගෞරවනීය ලෙස මියයාමට ඔහුගේ පෙර කී ඉතිහාසය ලිවීම ම හේතු වේ. මේ අර්ථයෙන් ද ඔබ ඉගෙනගන්නට යන ඉතිහාසය නම් විෂය අන් විෂයන්ගෙන් වෙනස් වේ.
තව වැදගත් කාරණයක් තමයි වෙනත් විෂයයක අලුතින් අදහසක් ඉදිරිපත් කිරීම උසස් දෙයක් ලෙස සැලකීම. ආර්ථික විද්‍යාවේ එතෙක් පිළිගෙන ඇති මූල ධර්මයක් වැරදි බව පෙන්වා දුන්නහොත් එකී වරද පෙන්වා දුන් කෙනා අදාල විෂයයේ වර්ධනයට මහත් සේවයක් කළ අයෙකු සේ සලකා සම්භාවනාවට ලක්කිරීම සිදු වේ. එතැන් සිට ඔහු විසින් හඳුන්වා දුන් නව අර්ථකතනය සාකච්ඡාවට ගැනීම සිදු වේ. නමුත් ඉතිහාසය විෂයයේදී එය එසේ නොවෙයි. අලුතින් ඉදිරිපත් කෙරෙන අදහස එතෙක් පිලිගෙන තිබෙන සම්මත මතවාදය ප්‍රශ්න කරනවා නම් එකී මතවාදය පිළිගත හැකි සාක්ෂි මත පිහිටා පිළිගත් ක්‍රමවේද අනුව ඉදිරිපත් කර තිබෙනවා ද කියා වත් නො බලාම එය බරපතල ලෙස විවේචනයට ලක්කෙරෙනවා. ආර්ථික විද්‍යාව ගැන නව අදහස් පෑ කෙනාට ලැබෙන සැලකිල්ල මෙකී ඉතිහාසඥයාට ලැබෙන්නේ නෑ. එහි දී එල්ල වන ප්‍රධාන චෝදනාවක් වන්නේ 'ඉතිහාසය විකෘති කරනවාය යන්න'. යමක් විකෘති කළ හැක්කේ කලින්ම ප්‍රකෘති දෙයක් තිබුනොත් පමණයි. උදාහරණයකට ආර්ථික විද්‍යාව කාටවත් විකෘති කළ හැකි ද? එහෙම ප්‍රශ්නයක් මතුවන්නේ නෑ. හේතුව ආර්ථික විද්‍යාවට එසේ කළින්ම සකස් කොට 'මෙයයි ප්‍රකෘති තත්ත්වය' කියා තීරණය කරන ලද ස්වරූපයක් නැති නිසා. නමුත් ඉතිහසය එසේ නොවෙයි. වැඩි දෙනාගේ අදහස කලින්ම ලියන ලද අංගසම්පූර්ණ ඉතිහාසයක් ඇති බවයි. ඒ පිළිගත් ඉතිහාසය ප්‍රකෘති ඉතිහාසය බවයි. එයට පටහැනි අදහස් පළ නොකළයුතු බවයි. මෙයත් ඉතිහාසය විෂයට පමණක් අදාලවන සුවිශේෂ තත්ත්වයකි.
තවත් දෙයක් ඔබ දැනගත යුතුයි. ඒ අන් සියළු විෂයයන් ඔබ ඉගෙන ගන්නේ අමුතු තමන්ගේ කමක් නැතිව. ආර්ථික විද්‍යාව ආර්ථික විද්‍යාව විනා අපේ ආර්ථික විද්‍යාව නොවේ. එහෙත් ඉතිහාසය එසේ නොවේ. එය 'අපේ ඉතිහාසය' වේ. අපේ රට , අපේ ගම, අපේ ගෙදර, අපේ අම්මා මෙන් ඉතිහාසය 'අපේ ඉතිහාසය' වේ. අපේ කමක් සහිතව යමක් බලන්නට පටන් ගත් තැන ම අපගේ අපක්ෂපාතීත්ත්වය අවසන් වන බව ඔබට වැටහෙනවා ඇත.
ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා මෙකී කාරනා ඉතා දැඩිව හිත්හි තබාගෙන ඉතා වගකීම් සහගත ව ඔබ මේ විෂයය හැදෑරීම හා ඉදිරියේ දී මේ විෂයයට අදාල දේ ලියන කියන එක කරනවා ඇති කියා.
හොඳින් මතක තියා ගන්න. ඉතිහාසඥයා යනු විනිසුරු අසුනට නගින විනිසුරෙකු වැනියි. ඔහු තුළ කලින් ම ගත් තීන්දු නැත. ඔහු වෙත එළැඹෙන සාක්ෂි ඉතාම අපක්ෂපාතව විමසා බලා ඒ සාක්ෂිවලින් එළැඹිය හැකි නිගමනයකට එළැඹෙනවා මිස තමන්ට උවමණා තීන්දු දීමට ඔහුට අයිතියක් නැත. එසේ සාක්ෂි පරික්ෂා කිරීමේ දී තම ආගම, ජාතිය, කුළය වැනි පුද්ගලික කාරණා ඔහුට අදාල නොවේ. ඔහු සාක්ෂි මත පිහිටා ගන්නා තීන්දු ඊළඟ මොහොතක සොයා ගන්නා නව ශාක්ෂි මත වෙනස්විය හැකි බව ඉතාම තදින් ඔහු සිත්හි තබාගත යුතුයි. අනෙක් අතට සාමාන්‍ය විනිසුරෙකුටත් වඩා ඔහු සුවිශේෂ බව තව දුරටත් ඔහු දැඩිව මතක තබා ගත යුතුයි. ඒ අන් සාමාන්‍ය විනිසුරෙකුට මෙන් ඔහුට පහසුවෙන් අවශ්‍ය සියළු සාක්ෂි කැඳවිය නොහැකි නිසා. ලැබෙන සුළු සාධක මත පමණක් පදනම් ව තම විනිශ්චය ඉදිරිපත් කළ යුතු නිසා. ඒ අර්ථයෙන් ඉතිහාසඥයාගේ කාර්යයය වඩා බැරෑරුම්. ඒ නිසාම ඔහු අවසන් නොවෙනස්වන තීන්දුවලට එලැඹීමෙන් වැලකිය යුතුයි. අවසන් වෙනස් නොකළ හැකි ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිය යුතුයි.මක් නිසා ද ඊලඟ මොහොතේ සොයා ගන්නා දෙයකින් ඔහුගේ මුල් මතය සපුරා වෙනස් විය හැකි බැවිනි."
නෝ ෆ්‍රේම්, ඔබ මුලින් ම කියා තිබුණා ඔබට ඉතිහාස විෂයය ගැන උසස් ඉගෙනීමක් නෑ කියා. ඉහත දක්වා ඇති දේශනයේ උපුටා දැක්වීමට ද අනුව ඔබට වැටහෙනවා ඇති එබඳු ඉගෙනීමක්, පුහුනුවක් නොමැතිව අත නොගැසිය යුතු විෂයයකට ඔබ අතගසා ඇති බව. දෙවැනි භයානක කරුණ වන්නේ ඔබ මේ විෂයයට අදාල දේ ලියන්නේ විනෝදාශ්වාදයට වීම. එය බෝම්බයක් සමග සෙල්ලම් කිරීම වැනියි. තුන්වැනි වැදගත් කාරණය සිංහල දෙමළ සමගියට අදාල දෑ ඔබගේ උනන්දු විෂයය ක්ශේත්‍රය නොවන අතර අතීතයේ කිසිම දෙමළ සහසම්බන්ධයක් නොමැති සිංහල ජාතියක් පිළිබඳ කතා කිරීම ඔබගේ උනන්දු විෂයයක්ශේත්රය වීම. ඔබේ උනන්දුව හුදෙක් ඉතිහාසය කතාකිරීම පමණ නම් ඔබට 'පරුමක' යන්න දෙමළ බසින් ඇවිත් අතැයි කී විට අමුතුවෙන් කලබල වෙන්න දෙයක් නෑ. ඒක ඒ ආකාරයට කරුණු වශයෙන් පෙනෙනවා නම් එසේ පිළිගත්තා කියා කිසිදෙයක් වෙන්නේ නෑ.
නෝෆ්‍රේම්, මම හිතනවා ඔබ යම් උගත් කමක් ඇති කෙනෙක් කියා. ඉතිහාස විෂයය ගැන උගත්කමක් නැති වුණත්. එසේ උගත් කමක් ඇති අපි ඉතා වගකීම් සහිතව කටයුතු කළ යුතුයි. අපි යමක් කියනවා නම් ඉතා සැලකිල්ලෙන් ඒ කියන දේ නිවැරදි දැයි සොයා බලා කිය යුතුයි. විශේෂයෙන්ම වෙනත් ජාතීන්, ආගමික කණ්ඩායම් සම්බන්ධ ප්‍රකාශයක් නම් අපි කරන්නේ අපි වඩාත් සැලකිළිමත් වියයුතුයි. වගකීම් සහගත විය යුතුයි. එවැනි සංවේදී කාරණාවලදී අන්තර්ජාලය කොහෙත්ම විශ්වාසදායී මූලශ්‍රයක් නොවෙයි. ඒ සම්බන්ධ ප්‍රාමාණික උගතුන්ගේ අදහස් මොනවා ද යන්නයි අපි සොයා බැලිය යුත්තේ. ඔබ කතා කර ඇති විෂයයක්ෂේත්‍රයට අදාල එබඳු උගතුන් ගණනාවකගේම නම් ද එවන් ප්‍රාමාණික ලේඛණවල යොමු ද මාගේ මුල් ලිපියේ අවශ්‍ය තැන්වල දක්වා තිබෙනවා. ඒවා පරිහරණය කළහොත් මෙතෙක් අන්තර්ජාල තොරතුරු මත ඔබ කතා කළ දෑ ගැන ඔබට වඩාත් ඉහල හා ගැඹුරු දැනුමක් ලබා ගත හැකියි. අප කියන දෑ වල නිවැරදි භාවය ගැන අප සැලකිලිමත් වියයුතු තව කාරණයක් අපේ ලිපි ඉගෙන ගන්නා ශිෂ්‍යයින් ද කියවීම. අපි වැරැද්දුවිත් ඔවුනුත් වැරදියට ඉගෙන ගන්නවා ඇති.
අපි ලියන දෑවලින් බොහෝ දෙනා පෝෂණය ලබනවා. ඇතැම් දෙනා අප වීරයින් කියාත් හිතනවා. ඔබ ලියා ඇති ලිපියේ එන කරුණුවල විසංවාදී තැන් පෙන්වා දුන් පමණින් මහත් සේ කෝපයට පත්ව මාගේ වයෝවෘද්ධ මව ගැන සිහිකොට අසභ්‍ය වචනයෙන් මට බැන වැදුණේ නිසැකව ම ඔබව වීරයෙක් හැටියට සලකන කෙනෙක්. ඔබ කියනා දෑ නිසැක ව ම සත්‍යයයි කියා විශ්වාස කරන කෙනෙක්. නමුත් නෝ ෆ්‍රේම්, ඔබ මොන විදියට මා ලියා ඇති දෑ විසංවාදයට, විවේචනයට ලක්කළත් මා ලියන දෑ උසස්යැයි සිතන කිසිම කෙනෙක් ඔබට ඒ ආකාරයට පහත් ලෙස බැන වදීන්නේ නෑ. එය මට ඉස්ථිර ලෙස ම කිය හැකියි. ඒ මා ලියන දෑ උසස් යැයි සලකන පිරිසේ සංස්කෘතික මට්ටම වෙනස් බව හොඳට ම මා දන්නා නිසා. නමුත් අප වෙසෙන රට වඩා උසස් රටක් බවට පත් කරන්නට උවමනා නම් ඇත්තවශයෙන්ම සිතන විදිහ වෙනස් කළ යුත්තේ මා ලියන දෑ උසස්යැයි සලකන පිරිසේ නොවෙයි. ඔබ ලියන දෑ උසස් යැයි දැඩිව ගෙන ඇති පිරිසේයි. සිංහලයන් වූ ඔබටත් මටත් මහත් නින්දාවක් ඇති කරමින් 1983 ජුලි විනාශය කරමින් අහිංසක දෙමළ ජනයා කිසිත් පැකිළීමක් නැතිව පණපිටින් පුළුස්සා දැමුවේත්, ඔවුන්ගේ දේපළ මංකොල්ල කෑවේත් දෙමළ ජනයා අපගේ පරම හතුරන්ය යන අදහසේ සිට කටයුතු කරන මට බැන වැදුණු ජාතියේ අඩු සංස්කෘතික මට්ටමක් පිළිඹිබු කරන නොහික්මුණු සිංහලයින්. සිංහල දෙමළ සහ සම්බන්ධයක් අතීතයේ තිබුණා යැයි අසන්නට වත් අකමැති පිරිස්. හෙට දවස හොඳ අතට හරවන්න නම් අප වෙනස් කළයුත්තේ එබඳු නොහික්මුණු මිනිසුන් සිතන විදිහයි. ඔවුන් මට වඩා ලඟ ඔබටයි. ඔවුන් වීරයෙකු ලෙස සලකන්නේ මාව නොව ඔබවයි. ඔවුන් වඩා හික්මුනු සංයමයක් ඇති පිරිසක් බවට පත්කළ හැකිනම් ඒ හැකියාව ඇත්තේ මට නොව ඔබටයි. අප ලද අධ්‍යාපනය, බුදුදහමින් ඔබත් මමත් ලද පෝෂණය, අප කතා කරන දයාව, මෛත්‍රිය වැනි අදහස් වඩාත් අර්ථවත් වනවා ඇත්තේ එබඳු පිරිස් වෙනස් කිරීමට අපකරන දායකත්වය මත.
මේ ලිපිය තුළ මොන ආකාරයකට හෝ ඔබේ හිත් රිදෙන යමක් ලියැවී ඇතිනම් ඒ ගැන මහත් සේ කණගාටුවෙන අතර එසේ හිත් රිදවීමට හෝ ඔබව අපහසුවකට පත්කිරීමේ කිසිත් වුවමනාවක් මට නැති බවත් කියා හිටිනවා. මා නිතර කියන දෙයක් අපගේ පෙර පරම්පරා වගකීම් සහගතව දුරදක්නා නුවණින් කටයුතු කළානම් 71 මියගිය තරුණ ජීවිත ද 87-90 අතර මියගිය තරුණ පිරිස ද 83 පමණ සිට 2009 තෙක් මියගිය හමුදා පොලිස් හ එල් ටී ටී ඊ ලෙස නම් කරන ලද තරුණ පිරිස ද මිය යන්නේ නෑ. ඒ ජීවිත ටික රැකගන්න පුළුවන් වුණා නම් කොතරම් අගේ ද? නෝ ෆ්‍රේම්, අපි ලියන කියන දෑ ඉතා වගකීම් සහගත විය යුත්තේ මෙවන් පරිසරයකයි. මා නැවතත් කියනවා හෙට දවස ඔබේ දරුවන්ටත් සතුටින් ජීවත්විය හැකි රටක් බවට මේ රට පත් කළ යුතුනම් හික්මැවියයුතු පිරිස වඩා සමීප ඔබටයි. ඔබ ඔවුන් ව යහපත් අතකට වෙනස් කිරීමේ කාර්යයට ඔබේ උගත්කම ලිවීමේ හැකියාව නුදුරු දිනෙක ම භාවිතා කිරීම අරඹනවා ඇතැයි විශ්වාසය පළ කරමින් නවතිනවා.
By පිටස්තරයා-2
පෙරමුණේ රාළ වෙත,
ඔබ පහුගිය දා සිංහලයන්ගේ ආරම්ය ගැන ලිපියක් ඔබේ බ්ලොග් එකේ ලියා තිබුණා. ඒ තුළ බොහෝ විසංවාදයන් පෙනුණු නමුත් ඒවා මතුකර කිසිවක් ලිවීමට නොහැකි වූයේ අවශ්‍ය විවේකය එවක නොවූ බැවිනි. විවේකය ලද විගස ම මම ඒ විසංවාදයන් පෙන්වාදෙමින් '
මේ සිංහලයන්ගේ ආරම්භය ගැන නම් නොවේ...' යන මාතෘකාව යටතේ මගේ බ්ලොග් අඩවියේ ලිපියක් පළ කළා. එසේ ලිපියක් පළ කළ බව ඔබේ බ්ලොග් අඩවියෙහි ද සටහණක් යොදමින් ඔබව දැනුවත් කිරීමට උත්සාහ කළා.
මගේ ලිපිය කියැ වූ එක් සහෘදයෙක් කියා සිටියේ ඔබේ කීම් එතරම් සැලකිල්ලකට නොගන්නා ලෙසත් ඔබ දෙශපාලන න්‍යායපත්‍රයකට අනුව කරුණු විකුර්තිකරමින් ලියන්නෙක් විනා අවංක අදහසකින් සාධක මත පිහිටා යමක් ලියන්නෙක් නොවේ ය කියා.
මම මේ සටහණ ලියන්නේ නැවතත් ඔබව දැනුවත් කිරීම මගේ යුතුකම සේ සලකන බැවිණි. ඔබගේ ලිපිය තුලින් මා දුටු විසංවාදයන් ගැන කොයි මොහොතේ හෝ ඔබ පිළිතුරු සපයාවි කියා මා බලා පොරොත්තු වෙනවා. මා ලියූ ලිපිය කියවීමට
මෙතනින් යන්න.
By පිටස්තරයා-2
පහුගිය කාලය තුළ සිංහලයන්ගේ ආරම්භය ගැන ලියැවුණු ලිපි කිහිපයක් ම බ්ලොග් අඩවිවල පළ වී තිබුණා. එයින් මයියා ලියූ ලිපි තුනකට (1, 2, 3) එක්තරා ප්‍රමාණයකින් කොමෙන්ට්ස් ලිවීම මගින් සම්බන්ධ වූ නමුත් අන් ලිපි කිසිවකට මාගේ අදහස් ඉදිරිපත් කිරීමට නොහැකි වූයේ කාර්ය බහුලත්ත්වය නිසා. මේ ලිපිය ඒ බ්ලොග් සහෘදයින් ඇරඹූ සාකච්ඡාවේම දිගුවක් ලෙස සැලකුවාට වරදක් නෑ.
මෙහි දී සත්‍යයේ කාන්තාරය අඩවියේ පළ වූ ලිපිය සම්බන්ධයෙන් කිසිවක් මේ ලිපිය තුළ සාකච්ඡා කළ නොහැක්කේ කිසියම් හේතුවක් නිසා එම බ්ලොග් අඩවිය ඉවත් කරගෙන ඇති බව පෙන්වන බැවිනි. එහෙත් එහි සඳහන් ව තිබූ සිංහල බස දෙමළ බසට කිට්‍ටු එකක් ලෙස කී අදහස ගැන පෙරමුණේ රාල ඉදිරිපත් කර ඇති අදහස සමඟ එනම් සිංහලය ඉන්දු ආර්ය භාෂා පවුලට අයත් බසක් ය යන්න හා දෙමළ බස ද්‍රවිඩ භාෂා පවුලට අයත් එකක්ය යන අදහස සමග මම සම්පූර්ණයෙන් ම එකඟයි.
මාගේ මුල්ලිපියකත් මේ ප්‍රශ්නයට අදාල යමක් කතා කළා. නමුත් මගේ අවධාරණය සිහලයන්ගේ ආරම්භය කුමක් ද යන්න සෙවීම නොවේ. එය සෙවීම ඉතාම අපහසු කාර්යයක් වන අතර කිසිවෙකුටත් නිස්චිත ලෙස පිළිතුරු දීමට ද නොහැකි ගැටළුවක්. මා පිලිගන්න ආකාරයට එය බොහෝ කාලයක් තුළ සිදුවුනු ක්‍රියා දාමයක ප්‍රතිඵලයක් මිස ඒක් නිශ්චිත දිනෙක එක් ප්‍රමුක පුද්ගලයෙකුගේ (විජය, රාවණ වැනි) මැදිහත් වීමෙන් සිදු වූවක් නොවේ. ඒවගේම භාෂාව ජාතිය ආගම වැනි අනන්‍යතා ඇතිවීම මානවයා ජීවත් වූ සමස්ත කාලයට සාපේක්ෂව සැලකූ විට ඉතාම කෙටි කාලසීමාවකට අයත් වන අතර එහෙයින්ම එබඳු කෙටි කාලයකට අදාලවන අනන්‍යතාවලට නොගැලපෙන තරම් අතිමහත් වැදගත් කමක් දීම ගැනද එතරම් සතුටක් මා තුල නෑ. පෙරකී අනන්‍යතාවලට වැදගත් කමක් දිය යුතුවන්නේ සමස්ත තත්ත්වයන් සැලකිල්ලට ගෙන ඒ සමස්ත තත්ත්වය තුළ ඒයට හිමිවිය යුතු ප්‍රමාණයටයි. ඒ වගේම 'ජාතිය' 'ආගම' වැනි අනන්‍යතා පිළිබඳ අද මෙන් තද එල්බ ගැනීමක් අතීතය පුරා එකම ආකාරයට පැවතියා කියා මා විශ්වාස කරන්නේත් නෑ. එසේ එල්බ ගැනීම කෙරෙහි යම් ජන කොටසක් යොමුවන්නේ එකී ජනකොටස වෙත එල්ලවන/එල්ලවී තිබෙනවා යැයි හිතන අභියෝගයන්ට දක්වන ප්‍රතිචාරයක් හැටියටය යනු මගේ හැඟීමයි. ඒ ඒ කාලයන්හි ඇතිවන අභියෝගයන්හි සවභාවය එකම ආකාර නොවන නිසා හැම කල්හි එකම ආකාරයේ ජාතිය පිළිබඳ හැගීමක් තිබුණා යැයි සිතිය නොහැකියි. ඒ වගේම කාලය හරහා අතීතයට යන්නට යන්නට ජාතිය, භාෂාව වැනි දේ පදනම් ව බිහිවන අනන්‍යතා ක්‍රමයෙන් බොඳව යනවා. උදාහරන ලෙස බුද්ධකාලීන භාරතය තුල ජාතිය කියා හැන්දින්විය හැකි අනන්‍යතාවක් පේන්නේ නෑ. තිබෙන්නේ වර්ණ කියා හැඳින්වෙන අනන්‍යතාවක්. එය භාෂාව මත හෝ ආගමික විස්වාසවල වෙනස්කම් මත ඇති වූවක් ද නොවේ.
අනෙක් අතට ජාතීන් අනුව මිනිසුන් වර්ගකොට ලැයිස්තු ගත කිරීම සිදුවන්නේ බ්‍රිතාන්‍ය පාලන සමයේ ඔවුන්ගේ පරිපාලන වුවමණා මත. ඒ නිසා අද අප අතර තිබෙන ආකාරයේ ජාතිය පිළිබඳ අදහසක් අදට වඩා සාකළ්‍යයෙන් ම වෙනස් පරිසරයන් පැවති අතීතය තුළ දැකීමට උත්සාහ කිරීම ද ක්‍රම විරෝධී බව මාගේ හැඟීමයි.
මා මීට පෙර මේ ගැන ලියමින් කියා සිටියේ බ්‍රිතාන්‍ය යුගයේ ලියන ලද ඉන්දීය හා ලංකා ඉතිහාසය තුළ ඒ රටවල ජනයා භේද භින්න වන ආකාරයට ඒ ඉතිහාසය ලියා ඇති බවත් ඒ තුළ ඔවුන් 'ආර්ය' කියා විශේෂ මානව වර්ගයක් ගැන අදහස හඳුන්වා දුන් ආකාරයත් එකී මානව වර්ගය ද්‍රවිඩ මානව වර්ගයෙන් සපුරා වෙනස් එකක් ලෙස හඳුන්වා දුන් ආකාරයත්. එහිදී මා තව දුරටත් පෙන්වා දුන්නේ ඉන්දු ආර්ය කියා හැඳින්විය හැකි භාෂා පවුලක් ඇති මුත් එනමින් හැඳින්විය හැකි සුවිශේෂ මානව වර්ගයක් නැති බවයි. තව ද ඉන්දියානු ඉතිහාසඥයින් අදවනවිට මෙකී යටත් විජිත ඉතිහාසකරණය දැඩිව ප්‍රශ්න කරන බවත් තවදුරටත් ඔවුන් ඉන්දියාවට 'ආර්ය' කියා මානව වර්ගයක් ආවාය කියා තම සිසුන්ට නො උගන්වන බව හා එය බ්‍රිතාන්‍යයන් අතින් සිදු වූ වරදක් ලෙස ඔවුන් දකින බව. ඒ වෙනුවට අදටත් ලංකාවේ නම් ආර්යයන් කියා ද්‍රවිඩයන්ට ප්‍රතිපක්ෂ මානව වර්ගයක් විසින් මුල් ජනාවාස ඉදි කළාය යන අදහසත් ඔවුන්ගෙන් සිංහලයන් පැවත එනවාය කියාත් පංතිකාමරවල උගන්වන බවත් පෙන්වා දුන්නා.
ඒ අදහසේ ම සිටිමින් මම පොදුවේ මයියා, සත්‍යයේ කාන්තාරය හා පෙරමුණේ රාල ඉදිරිපත්කරන සිංහලයන්ගේ ආරම්භයට අදාල අදහස සමඟ මම ද එකඟ වෙනවා. එනම් අද සිංහල ලෙස හැඳින්වෙන ජන පිරිස පැවත එන්නේ ප්‍රධාන වශයෙන්ම දකුණු ඉන්දීය සම්භවයක් සහිත මානව සමූහයකින්ය මිස උතුරු ඉන්දියානුන්ගෙන් නොවේය කියන අදහස සමග. ඒත් ඔවුන් පැවත එන්නේ ද්‍රවිඩ මූලයකින් කියාවත් ද්‍රවිඩ ජානවලින් කියාවත් මා කියන්නේ නෑ. ඒ ද්‍රවිඩ යනු භාෂා පවුලක් හැඳිවෙන නමක් මිස මානව වර්ගයක් හැඳින්වෙන නමක් නොවන නිසා. ඒ වගේම පෙර කී භාෂා මූලයට අයත් භාෂා බිහි වීමට පෙර අද ලංකාව ලෙස හැඳින්වෙන දිවයින් භූමිය තුළ මානවයින් ජීවත් නොවුණාය කියා මා විශ්වාස නොකරන නිසා. එසේම මෙයින් වසර විසිපන් ලක්ෂයත් දොළොස් දහසත් අතර පැවති ප්ලයිස්ටෝසීන භූ යුගය තුළ වරින්වර මුහුදු මට්ටම අද තියෙන තත්ත්වයට වඩා ඉහල පහල ගිය තත්ත්වයක නූතන ලංකාව ලෙස හැඳින්වෙන දූපත භූමියෙන් අර්ධද්වීපික ඉන්දියාව සමඟ සම්බන්ධව පවතින්නට ඇති නිසා සහ එවකද මිනිසුන් එහාමෙහා සංක්‍රමණය වන්නට ඇති නිසා. උදාහරණ ලෙස මෙයින් වසර 18000 කට පෙර මුහුදු මට්ටම අදට වඩා අඩි 400කට ආසන්න ප්‍රමාණයකින් පහල මට්ටමක පැවතීම උදාහරණ ලෙස දැක්විය හැකියි. මේ වනවිට ද්‍රාවිඩ කියා හැඳින්විය හැකි භාෂාවන් බිහිව නොතිබෙන්නට ඇති බැවින් 'සිංහලයන් පැවත එන්නේ ද්‍රවිඩ මූලයකින්' ය කියා කීම තුළ නැවත වතාවක් සිංහලයන් ලෙස හැඳිවෙන ජන කොටසේ බිහිවීම සීමිත සංස්කෘතික යුගයකට සීමා කෙරෙන නිසා. එනයින් මම පෙරමුණේ රාල ගේ අදාල කියමන සමග එකඟ වෙන්නේ නෑ.
දෙවැනි වැදගත් කරුණු දෙකක් ලෙස මා දකින්නේ 'ඒ හැර සිහළ බස නෑකම් දකවන්නේ කන්නඩ, මලයාලම් හා බෙංගාලි බසටය කියා පෙරමුණේ රාල කරන ප්‍රකාශය. සිංහලයේ භාෂා ඉතිහාසය ගැන හදාරා අදහස් පළකළ උගතුන්වන රඹුක්වැල්ලේ සිද්ධාර්ථ හිමි, මොහම්මද් සහිදුල්ලා, සෙනරත් පරණවිතාන ඩී. ජේ. විජේරත්න වැනි අයගේ අදහස් අනුව සිංහලය පැහැදිලිව බෙංගාලි හෝ බටහිර ඉන්දීය සම්බන්ධයකින් හටගෙන ඇත කියා තීන්දු කරන්න බෑ. එයින් සමහරෙක් නැගෙනහිර ඉන්දියානු සම්බන්ධය වැඩිබව ප්‍රකාශ කරන අතර ඇතැමෙක් බටහිර ඉන්දීය ලක්ෂණ සිංහලය තුළ වැඩිබව සෙල්ලිපි සාධක පදනම් කරගනිමින් කියා සිටිනවා. මෙබඳු තත්ත්වයක් යටතේ සිංහලය බෙංගාලි බසට වැඩි නෑකම් දක්වන්නේ යැයි පෙරමුණේ රාල පවසන්නේ අලුත්ම පර්යේෂණ මත පිහිටා විය යුතුයි කියා හිතනවා. ඔබේ නිගමනයට පාදක වූ ඒ අළුත් මූලශ්‍රයන් දක්වන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා.
අනෙක් අතට සිංහල භාෂාව කන්නඩ, මලයාලම් භාෂාවලට නෑකම් දක්වන බව කීවත් අක්ෂර සටහනට අමතරව කිසිම භාෂාමය උදාහරණයක් පෙරමුණේ රාල දක්වා නෑ. එවනි උදාහරන ඇත්නම් ඔබගේ කීම වඩාත් ශක්තිමත් වෙන්නට තිබුණා. ඉදිරියේ දී එබඳු භාෂාමය සාධක මගින් තම මතය ශක්තිමත්ව ඉදිරිපත් කරාවි කියල හිතනවා.
අක්ෂර වශයෙන් සිංහල අක්ෂර අන් දකුණු ඉන්දීය අක්ෂර සමඟ සම විසමවන ආකාරය දැක්වීමට සාධක ලෙස පෙරමුණේ රාල දක්වා ඇත්තේ ඒ ඒ භාෂාවලට අයත් නූතන මුද්‍රණ අකුරු හෝඩි ඇතුලත් සටහනකි. සිංහල අක්ෂර වඩාත් ආභාෂය ලබා ඇත්තේ කවර හෝඩියකින්ද යන්න නූතන මුද්‍රණ අකුරු හෝඩිමත සලකා තීරණය කිරීම අශාස්ත්‍රීය බව කරුණාවෙන් පෙන්වා දෙන්න කැමතියි. එසේ ආභාෂය ලබා ඇත්තේ කවර හෝඩිවලින්ද යන්න තීරනය කළ යුත්තේ ඒ ඒ අක්ෂර හෝඩිවල ඒ ඒ අකුරු ඒ ඒ ශතවර්ෂයන්හි පැවති තත්ත්වය (සෙල්ලිපි, රන්පත්, තඹපත් වැනි) අභිලේඛන වලින් හෙළිවන සාධක සැලකිල්ලට ගෙනයි. එම විකාශය සැලකිල්ලට නොගෙන හුදෙක් නූතන මුද්‍රණ අක්ෂර පමනක් සැලකිල්ලට ගෙන සිංහල අක්ෂර ආභාශය ලබා ඇත්තේ අසවල් අක්ෂරවලින්ය කියා නිගමණය කිරීම අශාස්ත්‍රීය බව පමණක් මම මෙහි සඳහන් කරනවා. ඒ හැර මෙකී විශය සම්බන්ධව කෙරුණු වටිනා පර්යේෂණ ගණනාවක් තිබෙනවා. මහාචාර්ය පී.ඊ.ඊ. ප්‍රනාන්දු විසින් 'University of Ceylon Review' සඟරාවට 1940 දශකයෙ ලියූ ලිපි දෙක මේ අතින් කෙරුණු පැරණිම වටිණා පර්යේෂණය ලෙස සැලකිය හැකි අතර මෑතම කාලයේ මේ සම්බන්ධයෙන් කෙරුණු පර්යේෂණය සිදු කළේ ඔක්කම්පිටියේ පඤ්ඤාසාර කියන හාමුදුරුවෝ පූනා විශ්වවිද්‍යාලයේ ඩෙකෑන් කොලේජ් නම් ආයතනයට තම ආචාර්ය උපාධිය ලෙස. මේ හැර ජයසිරි ලංකාගේ තම ආචාර්ය උපාධියට හදාරා ඇත්තේත් සිංහල අක්ෂර විකාශයයි. තවදුරටත් ආචාර්ය බන්ධුසේන ගුණසේකරත් මේ ගැන ලිපි ලියා තිබෙනවා. ඒ නිසා නූතන මුද්‍රණ අකුරු මත නොයැපෙමින් සිංහල අක්ෂර විකාශය කෙරෙහි බලපා ඇත්තේ කවර සංස්කෘතීන්ද යන්න මේ පර්යේෂණ ආශ්‍රයෙන් කෙනෙකුට හඳුණාගත හැකියි. ඒ නිසා ඔබතුමා සිංහල බස නෑකම් දකවන්නේ 'කන්නඩ, මලයාලම්' භාෂාවලටය යන්න ශක්තිමත් සාධක දක්වමින් පෙන්වා දෙනු ඇතැයි අපෙක්ෂා කරනවා.
තව දුරටත් ඔබ සත්‍යයේ කාන්තාරය බ්ලොග් සහෘදයාට පිළිතුරු සපයමින් කියා සිටිනවා '... බුදු දහම දෙසුනේ හා ලියැවුනේ පාලි බසිනි' කියා. මෙය ද අවසන් නිගමන වාක්‍යයක් (absolute statement). නමුත් අද පිළිගන්නා ආකාරය වන්නේ බුදු දහමට අයත් ඉගැන්වීම්වල පැරණිම ස්වරූපය ආරක්ෂා වී ඇත්තේ පාලි ලෙස හඳුන්වන භාෂාවෙන් වන අතර බුදුන්වහන්සේ තමන් ජීවත් වූ සමකාලීන ගංගා යමුණා තැන්නේ පැවති විවිධ භාෂා, උප භාෂා මගින් තම අදහස් ප්‍රකාශ කරන්නට ඇති බවත් උන්වහන්සේ පිරිණිවන් පෑ පසු සංගීතිකාරක භික්ෂූන් එකී විවිධ භාෂා, උප භාෂාවලින් පැවති ඉගැන්වීම් ඉදිරියට කටපාඩමින් පවත්වාගෙන යා හැකි ලෙස එක් ස්වරූපයකට සකස් කොට සංග්‍රහ කරන්නට ඇති බවත් එය අද 'පාලි' භාෂාව ලෙස හැඳින්වෙන බවත්. ත්‍රිපිඨකය තුළින්ම මේ විවිධ භාෂා ලක්ෂණ මතුව පෙනෙන ආකාරය නූතන පර්යේෂණ මගින් පෙන්වා දී තිබෙනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර දැනගැනීමට කියවන්න මහාචාර්ය වල්පොළ රාහුල හිමි විසින් ලියන ලද 'Pali as a Language for transmitting an Authentic Religious Tradition' නම් ලිපිය. එය පළව තිබුනේ Humour in Pali Literature and Other Essays by Walpola Rahula නමින් යුතුව පළ වී තිබූ ලිපි එකතුවේයි.
මේ හැර පෙරමුණේ රාල 'අනුරාධපුරයේ කරන කැනීම් වලදී දක්ෂිණ බ්‍රාහ්මී අක්ෂර සහිත පුරාවස්තු සොයා ගෙන ඇති අතර ඒවා ක්‍රි .පූ. 5 – 8 වන සියවස දක්වා දිව යයි' ලෙස පවසනවා. මා දන්නා ප්‍රමාණයට දැරණියගල විසින් අනුරාධපුර ඇතුළුනුවර කළ කැණීම් වලදී හමු වූ බ්‍රාහ්මී අකුරු කිහිපයක් සහිත මැටි බඳුන් කැබැල්ලයි ලංකාවේ ලිවීම සම්බන්ධ පැරණිම සාධකය වන්නේ. නමුත් එහි දාතම ක්‍රි.පූ. 5-6 සියවස් ඉක්මවා යන්නේ නෑ. දිනය තීරණය කර ඇත්තේ රේඩියෝ කාබන් ඩේටින් ක්‍රමයටයි. ඔබ එය ක්‍රි පූ 8 වැනි සියවස තරම් ඈත කාලයකට අයත් කර තිබෙනවා. මා ඇතුළු කියවන්නන්ගේ දැනගැනීම සඳහා ඔබගේ මූලාශ්‍රය කුමක් දැයි දක්වන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා. අනෙක් අතට මේවා 'දක්ෂිණ බ්‍රාහ්මී' කියා හඳුන්වා ඇත්තේ ඇයි ද කියාත් දැනගන්න කැමතියි.
මීළඟට ඔබ මතු කරන කරුණක් වන්නේ "දමිළ බස සමග [සිංහල බසෙහි] ඇති සමීප තාවය ඉතා අඩු බව උක්ත අකාරාදි දෙස බැලීමෙන් වටහා ගත හැකි වනු ඇත" යන්නයි. මා පෙන්වා දී ඇති පරිදි නූතන මුද්‍රණ අකුරු මතපදනම්ව එබඳු නිගමණයකට එලඹීම අශාස්ත්‍රීයයි. ඒ වගේම අකුරු සටහනක් මත පමණක් පදනම්ව මුළු සිංහල භාෂාවම දෙමළ බසට දක්වන සමීපතාවය අල්ප බව කීම ද අශාස්ත්‍රීය බව මගේ හැඟීමයි. මක් නිසාද භාෂාවක් යනු අක්ෂර හෝඩිය නොවන නිසා.
ඒ හැර සිංහල දෙමළ සංස්කෘතික සම්බන්ධතා මගින් ඒ එකිනෙක ජාතීන් ලබා ඇති කිසිම සංකෘතික, භාෂාමය පෝෂණයක් පිළිබඳ කිසිම සාධකයක් ඔබේ ලිපිය තුළින් දක්වා නෑ. මේ නිහඬබව වඩාත් වැදගත් වන්නේ සිංහලය අභාශය ලබා ඇත්තේ කන්නඩ, මලයාලම් හා බෙංගාලි භාෂාවලින්ය කියා කියා හිටින තත්ත්වයක් තුළයි. එකී ප්‍රකාශය තහවුරු කිරීමට කිසිම සාධකයක් (නූතන මුද්‍රණ අකුරු හෝඩිය හැර) ඉදිරිපත් නොකරන තත්ත්වයක් තුළයි.
නමුත් සිංහල දෙමළ සංස්කෘතික සම්බන්ධතාවල ඉතිහාසය බොහෝ ඈත කාලයක් හා සම්බන්ධවන්නක්. එය ප්‍රකට ලෙස ලිවීම පිළිබඳ තොරතුරු ලැබෙන ක්‍රි පූ 3-2 සියවස්වල සිටම දක්නා ලැබෙයි. භික්ෂූනට ලෙණ් තනා පූජා කිරීම් පිළිබඳ වාර්තා ලියා ඇත්තේ සිංහල භාෂාවේ මූලික අවස්ථාවක් වන සිංහල ප්‍රාකෘතයෙන් වන අතර ඒවා පිදූවන්ගේ නම් ද ප්‍රාකෘත සම්බන්ධයක් පිළිඹිබු කරන 'තිශ, ශුමණ, මිත වැනි ස්වරූපයක්ගනියි. එහෙත් එසේ ලෙණ් පිදූවන්ගෙන් සැලකිය යුතු තරම් දෙනෙක් සමාජ තත්ත්වයෙන් අයත් වන්නේ 'පරුමක' යන විරුදය දැරූවන් අතරටය. පරණවිතාන මහතා විසින් සංග්‍රහ කරන ලද ක්‍රි පූ 3-1 සියවස්වලට අයත් ලෙණ් ලිපි 1134 අතුරින් 374 ක් කරවා ඇත්තේ පරුමක වරුන්. (Inscriptions of Ceylon Vol. I, 1970, pp.lxxiv - lxxxvi). පරුමක යන තත්ත්ව නාමය දැරූ ඔවුන් ඊට අමතරව "සේනාපති (ශෙනපති), භාණ්ඩාගාරික (බඩගරික), ඇමති (අමත) හා විවිධ අධ්‍යක්ෂ (අදෙක) තණතුරු දැරූ එවක සමායේ ඉතා ඉහල තත්ත්වයක් හෙබවූවන්. 'රජ' යන තත්ත්වය හෙබවූවන්ට පසුව සමාජයේ සිටි ඉහල ම ප්‍රභූ ජනපිරිස ලෙස පෙනෙන්නේ 'පරුමක' තත්ත්වය හෙබවූවන්. පරණවිතානට අනුව මොවුන් "උතුරු ඉන්දියාවේ සිට පැමිණ ලංකාවේ මුල් ජනාවාස ඉදිකරගත් ආර්යයන්ගේ නායකයන්ගෙන් පැවත එන්නන් විය හැකි අතර.. පරුමක යන පදය සංස්කෘත භාෂාවේ 'ප්‍රමුඛ' යන්නේ ද පාලි භාෂාවෙන් 'පමුඛ' හෝ "පාමොක්ඛ' ලෙස යෙදෙන පදයේ ද පැරණි සිංහල රූපයයි." (ibid, p. lxxiv).
පෙරකී ලෙණ් ලිපි 374න් 8ක් තනා පූජාකොට ඇත්තේ කාන්තාවන්. ඒ අය තම තත්ත්ව නාමය ලෙස 'පරුමක' යන්නෙහි ස්ත්‍රී ලිංග පදය ලෙස යොදා ඇත්තේ " පරුමකළ" හෝ 'පරුමකළි' යන්නයි. පරණවිතාන මහතා කියන ආකාරයට 'පරුමක' යන්න ඉන්දු ආර්ය භාෂා මූලයකින් එනම් 'ප්‍රමුඛ/පාමොක්ඛ' යනපදවලින් ආරම්භ වීනම් එහි ස්ත්‍රී ලිංග පදය 'පරුමකළ' ලෙස සැකසෙන්නේ කෙසේ දැයි විස්තර කළ යුතුයි. නමුත් ඔහු එය විස්තර කර හෝ එය ප්‍රශ්නයක් ලෙස සලකා නැත. මාගේ භාෂා දැනීම අනුව ඉන්දු ආර්ය භාෂා මූලයකට සම්බන්ධ කිසි භාෂාවක පුරුෂ ලිංග නාම පදයක් ස්ත්‍රී ලිංගයට හැරවීමේදී එහි මුල් රූපයේ අගට 'ළ' කාරයක් එක්කරනු ලබන්නේ නෑ. මේ ගැටළුව මා පළමුවෙන් ම හඳුණාගත් මොහොතේ එය කීර්තිමත් වාග්විද්‍යා මහාචාර්යවර්යෙකු වූ ඩබ්. එස්. කරුණාතිළක වෙත යොමු කළා. පැය කිහිපයක් තිස්සේ කරන ලද හැදෑරීම් වලින් පසු එතුමා පහත මූලික අදහස් කීපය ඉදිරිපත් කළා.
1. 'පරුමක' යන්න ඉන්දු ආර්ය මූලයකින් ඇරඹි පුරුෂවාචී නාමපදයක් නම් එහි ස්ත්‍රී ලිංග නාම පදය විය යුත්තේ 'පරුමකී' හෝ ඊට කිට්‍ටු පදයක්.
2. පරුමක' යන්න ඉන්දු ආර්ය මූලයකින් හටගත්තේ වී නම් එහි ස්ත්‍රී ලිංග පදය කිසි ලෙසකින්වත් 'පරුමකළ' ලෙස හෝ ඊට සමාන රූපයකින් පිහිටන්නේ නෑ.
3. සකු මූලයකින් 'පරුමක' යන්න ඇරඹුණාට වඩා දෙමළ 'පෙරුමකන්' යන්නෙන් එය ඇරඹුණා යැයි සිතීම වඩා තර්කානුකූලබව. ඒ සකු 'ප්‍රමුඛ' යන්න තුන්හතර දෙනෙකු අතර සිටිනා ප්‍රමුඛ/කැපී පෙනෙන පුද්ගලයෙකු සම්බන්ධයෙන් වුව යෙදිය හැකි පදයක් වන අතර එය අත්‍ය්‍යන්තයෙන්ම සමාජයක ප්‍රභූත්වයක් ප්‍රකාශ නොකරන බැවිණි. එහෙත් දෙමළ 'පෙරුමකන්' යනු නිසැකවම කිසියම් සමාජයක ජීවත්වන 'සම්භාවනීය' 'ප්‍රභූ පුද්ගලයෙකු අදහස් වන බැවිණි. පෙර දැක් වූ සෙල්ලිපි 374 තුළ ප්‍රකාෂවන්නේ ඒ ඒ සෙල්ලිපි ලැබුණු ප්‍රදේශ වල ඒ ඒ කාලවල ජීවත් වූ රජුන්ට පසුව සිටි සම්භාවනීයම පිරිස වන බැවින් අර්ථය වසයෙන් සැලකීමේ දී 'පරුමක' දෙමළ 'පෙරුමකන්' යන්නෙන් ඇති වූ පදයක් ලෙස සැලකීම වඩාත් යෝග්‍ය බව.
4. දෙමළ 'පෙරුමකන්' යන්නෙහි ස්ත්‍රී ලිංග පදය වන්නේ 'පෙරුමකළ්' (මෙය ලියන්නේ 'පෙරුමකළ්' කියා වුවත් උච්ඡාරණය කෙරෙන්නේ 'පෙරුමැහැළ්' කියායි) ය. එය වංශවත් කාන්තාව, ආර්යාව වැනි තේරුමක් ගෙනදේ. පරුමකළ/ළි යන ස්ත්‍රී ලිංග පදය සඳහා 'ළ' කාරයක් පැමිණීම සිදු වූ ආකාරය මෙයින් විසඳේ. එනම් දෙමළ බසෙහි ඇති 'පෙරුමකළ්' යන්නෙන් 'පරුමකළ/ළි' යන පද සකස් වී ඇති බවයි.
ඒ අනුව එතුමා නිගමනය කළේ පෙර කී පරුමක යන්න දෙමළ පෙරුමකන් යන්නෙන් ආරම්භ වූවක් බවයි. (මෙයින් නොබෝ කලකට පසු දැන ගන්නට ලැබුණු පරිදි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා මහාචර්ය සුදර්ශන් සෙනෙවිරත්න ද තවත් උගතුන් කිහිප දෙනෙක් ද මේ අදහසම තම පර්යේෂණ ලිපි වලින් ඉදිරිපත් කර තිබෙනවා)
මේ කරුණ ඉතා වැදගත් වන්නේ අපට ලිඛිත සාධක මත ඉතිහාසය ගොඩනැංවීමට පළමුවෙන් ම අවස්ථාව ලැබෙන ක්‍රි පූ. 3-2 සියවස තරම් කාලයේ සිටම සිංහල දෙමළ සම්බන්ධතාවල තොරතුරු හෙළිවන බැවිනි. එවන් සහ සම්බන්ධයක් සංස්කෘතික ආභාෂයක් එවක නොවී නම් සහ එකී සම්බන්ධතාවයේ ස්වරූපය උසස්, ගෞරවණීය එකක් නොවී නම් පෙර කී දෙමළ මූලයක් සහිත පදයක් එවක සමාජයේ සිටි ප්‍රභූන් තම තත්ත්වය ප්‍රකාෂ කිරීම සඳහා භාවිතා කරන්නේ නෑ.
මේ සහසම්බන්ධය තවදුරටත් තහවුරු වෙනවා ක්‍රි ව පළමු වැනි සියවසට අයත් සේ දාතම තීරණය කරන ලද කූටකණ්ණතිස්ස රහුගේ රජගල පර්වත ලිපියෙන්. එහි එකී රජුව හඳුන්වා ඇත්තේ "...දෙවනපිය මහරඣහ මරුමකණකහ පුටකණ ගමනි අබයහ..." ලෙසින්. (Inscriptions of Ceylon, Vol. II, Part I, 1983, pp. 2-4). මෙහි "මරුමකණක" යනු දෙමළ "මරුමකණ්'' යන පදයයි. අර්ථය මුණුබුරා යන්නයි. ඇත්තවශයෙන් ම අදත් අපි සිංහලයේ භාවිතා කරන මුණුබුරා යන පදය මෙකී දෙමළ 'මරුමකණ්' යන්නෙන් මිස ඉන්දු ආර්ය මූලයකින් ආරම්භ වූවක් නොවන අතර එය සිංහල භාෂාවට පැමින ඇත්තේ ක්‍රි ව පළමු සියවසටත් පෙර කාලයක දී බව ඉහත සාධකයෙන් පේනවා.
මා මෙහි දක්වා ඇත්තේ දාතම තීරණය කරන ලද සෙල්ලිපිවලින් ලැබෙන සාධක ඔස්සේ සිංහල දෙමළ යහපත් සම්භන්ධතාවල ඉතිහාසය කොතරම් ඈතකට දිවෙනවා ද යන්නයි. මේ සම්බන්ධය තවදුරටත් සෙල්ලිපි ආශ්‍රයෙන්ම තහවුරු කළ හැකියි. පාලකයා හැඳින්වීම සඳහා භාවිතා වූ "මහරජ" යන්න ක්‍රමයෙන් සෙල්ලිපිවලින් බැහැරව ගොස් ඒ වෙනුවට "මපුර්මුකා" 'මපුරුම්' වැනි පද භාවිතයට පැමිණීම ක්‍රි ව 4-5 සියවස්වල සිට දක්නා ලැබෙනවා. 8, 9, 10 සියවස් වන විට මේ තත්ත්වය ප්‍රබලවම දැකිය හැකියි. ඒ හැර ලංකාවේ ප්‍රාදේශීය පාලනයට සහ සම්බන්ධ වූ නිළධාරී තණතුරු නාමයන් විශාල ප්‍රමාණයක් ද දෙමළ සම්භවයක් ඇති ඒවා බව අත්තාණි කණු ලෙස හැඳින්වෙන ටැම්ලිපි සාධකවලින් පෙනෙනවා. (මේ සඳහා බලන්න: Inscriptions of Ceylon, Vol. V, Part I and II).
මේ හැර සිංහල භාෂාව තුළ අද දක්නා ලැබෙන දෙමළ ආභාෂය ඇති වචන කිසිවක් මෙකී සිංහල දෙමළ සම්බන්ධයට සාධක ලෙස ඉදිරිපත් නොකරන්නේ එකී වචන සිංහල බසට ඇතුලත් වූ කාලය නිෂ්චිත ලෙස ප්‍රකාෂ කිරීමට සාධක නොමැති නිසයි. නමුත් එබඳු විශාල වචන ප්‍රමාණයක් අපි සියළුදෙනාම අද වෙද්දීත් භාවිතා කරන බව පමණක් මම මෙහි සඳහන් කරනවා. ඒ අනුව පෙරමුණේ රාල යෝජනා කරන ප්‍රමාණයට වඩා සිංහල දෙමළ සම්බන්ධය ප්‍රබල හ දැඩි බව පෙනෙන අතර එය ඉතා ඈත අතීතයක් හා සහ සම්බන්ධ වන බවද තහවුරු වෙනවා.
මා මේ ඉදිරිපත් කර ඇති ආකාරයටම සිංහල භාෂාව/ සංස්කෘතිය කණ්ණඩ හා මලයාලම් භාෂා/සංස්කෘතීන්ගෙන් පෝෂණය ලබා ඇති ආකාරය සාධක සහිතව පෙරමුණේ රාල විසින් ඉදිරිපත් කරාවි කියා බලාපොරොත්තු වෙනවා. එය එතුමා වෙත කරන අභියෝගයක් නොවන අතර මා එම ඉල්ලීම කරන්නේ මා ද ඇතුළු මේ කියවන හැමගේ ම දැනුම් පරාසය පුළුල් කර ගැනීමටත් අද සිංහල කියා හඳුන්වන අපගේ සංස්කෘතික පෝෂණයේ ව්‍යාපතිය පිළිබඳ දැනුම ඉන් තව දුරටත් පුළුල්වන නිසාත්.
මා මුලින් ම පෙන්වා දුන් පරිදි මාගේ කිසිම උනන්දුවක් නෑ සිංහලයන්ගේ ආරම්භය මොකක් ද කියා හොයා බලන්න. එහෙම නම් මේ සමස්ථ ලිපියේ ම අරමුණ කුමක් ද? මෙහි අරමුණ මා මෙතෙක් බ්ලොග් අඩවිය තුළ ලියූ ලිපි හැම එකකින් ම වාගේ මතු කිරීමට උත්සාහ කළ මූලික තර්කයන් තවදුරටත් ඉදිරියට ගෙන යාමයි.
එනම්:
1. ඉතා සංකීර්ණ තත්ත්වයන් හා විවිධ 'සත්‍යයන්' පවතිද්දී 'එක් තනි හේතුවක්' හා එක් 'මහ සත්‍යයක්' අප සියල්ලන් තුළ ස්තාපිත කිරීමට ඇති නැමියාව පෙන්වා දීම සහ ඒ තුළින් මතුවන චින්තනයේ ඇති වරද පෙන්වා දීම. එසේ වූ 'මහා සත්‍යයක්' පිළිබඳ අදහස හා 'එක් මහ හේතුවක්' පිළිබඳ අදහස මිත්‍යාවක් බව පෙන්වා දීම. මේ අදහස මම මීට පෙර ඉදිරිපත් කළා 'පිටස්තරයා හා පිටස්තරයාගේ ලොකයියා' නම් ලිපියට ලියූ කොමෙන්ට්ස්වල හා 'පිටස්තරයාගෙ පිළිතුරුයි මේ' යන ලිපියේ අවසාන හරියේ දී. සිංහලයන්ගේ ආරම්භය සම්බන්ධයෙන් ඉදිරිපත්වන අදහස් තුළත් මේ 'මහ සත්‍යය' හා 'මහා හේතුව' පදනම් කරගත් චින්තනය දකින්න පුළුවනි.
අදත් පාසැල්වල උගන්වන ලංකා ඉතිහාසය පාඩම් මාලාව ආරම්භ වන්නේ 'ලංකාව ආර්ය ජනාවාසයක්වීම' නම් පාඩමෙන්. එහි දී උගන්වනවා 'උතුරු ඉන්දියාවට ක්‍රි පූ 1500 ත් 1000ත් අතර කාලයේ ස්ටෙප්ස් තණබිම් ප්‍රදේශවල සිට සංක්‍රමණය වූ 'ආර්ය' නමින් හැඳින්වෙන සුවිශේෂ ජන පිරිසක් එහි ශිෂ්ටාචාරය බිහි කිරීම හා එකී ජන පිරිස්වලින් පැවත එන්නන් ක්‍රි පූ 600 දී පමණ ලංකාවට පැමිණ කලාඔය, මල්වතු ඔය, මහවැලි ගඟ, කිරිඳි ඔය ආදී ගංගා ආශ්‍රය කරගෙන 'මුල්ම ජනාවාස' ඉදිකර ගැනීම ගැන. මේ 'මහ කතාවට' අනුව මානව වර්ගයක් ලෙස මේ පාඩම ඉගෙන ගන්නා සිංහල දරුවා අයත් වන්නේ උතුරු ඉන්දියානු මානව වර්ගයකට. ඔහු දකුණු ඉන්දියානු සම්භවයක් සහිත මානවයන්ගෙන් සපුරා වෙනස්. ඔවුන් සමඟ කිසි සම්බන්ධයක් නෑ. එහෙයින්ම තම රටේ ම වෙසෙන දකුණු ඉන්දියානු සම්භවයක් සහිත 'දෙමළ' ශිෂ්‍යයා තමන්ගෙන් ජානමය වසයෙන් ම හරිම වෙනස් අමුත්තෙක්, 'පිටස්තරයෙක්'.
මේ පාඩම්වලට අනුව සිංහල භාෂාව ඉන්දු ආර්ය භාෂා පවුලට අයත් එකක් වීම පෙර කී සිංහලයන් 'උතුරු ඉන්දීය සම්භවයක් සහිත ආර්ය මූලයකින් පැවත එනවා' ය යන අදහස තහවුරු කරන්නක්. ඒ ඉගැන්වීම තුළ අවුරුදු දහසක් පමණ කාලයක් තිස්සේ භාෂාවක් සාමාන්‍ය ජනයා අතර පවතින විට එය විවිධ මානව වර්ගයන් අතර පැතිරෙනවාය යන සංකීර්ණ සත්‍යය වත් අවුරුදු දාහක් දෙදාහක් කිසිම මානව වර්ගයක් අමිශ්‍ර ශුද්ධ මානව වර්ගයක් ලෙස නොපවතිනවාය යන සංකීර්ණ සත්‍යයවත් පාසැල් දරුවන්ට කියා දෙන්නේ නෑ.
මාගේ විචාරයට ලක් වූ පෙරමුණේ රාලගේ ලිපිය මෙයින් මදක් වෙනස්. ඔහු ලාංකීයයන් පෙර දැක් වූ ආකාරයේ උතුරු ඉන්දීය මානව වර්ගයකින් පැවත එනවාය යන්න පිළිගන්නේ නෑ. ඒ වෙනුවට ඔවුන් දකුණු ඉන්දීය මානව වර්ගයකට අයත් ය යන්න පිළිගන්නවා. මෙය ඉතා දියුණු ආස්තානයක් ලෙස මා සලකනවා.
නමුත් ඔහුට අනුව සිංහල ජාතිය දෙමළ භාෂාවෙන් ලබපු ආභාෂය ඉතාම අල්පයි. ඒ වෙනුවට ආභාෂය ලබා ඇත්තේ කණණඩ, මලයාලම් හා බෙංගාලි භාෂාවලින්. මෙයත් මා සලකන්නේ මා මුලින් පෙන්වා දුන් එක් මහ කතාවක්' එක් 'මහ හේතුවක්' ඉදිරිපත් කරන චින්තනයේ ම දිගුවක් ලෙසට. තව දුරටත් සිංහලයන් උතුරු ඉන්දීය මානව වර්ගයකට අයත් නොවේ යැයි පිලිගන්නා අතරම නැවත වරක් දෙමළාගෙන් වෙනස් වූ මානව වර්ග සමග, සංස්කෘතීන් සමඟ සම්බන්ධ බව කියා පෑම. මේ පෙන්වා දුන් අදහස්වල කැපී පෙනෙන කරුණක් වන්නේ සිංහලයා දෙමළාගෙන් නම් වෙනස්ය යන්න තහවුරු කිරීමයි. මා විසින් ලියන ලද ඉහත ලිපිය තුළ පෙන්වා දුන්නේ ඒය එසේ නොවන් බවයි. එහෙත් සිංහලයන්/ සිංහල භාෂාව/සංස්කෘතිය කණ්ණඩ හෝ මලයාලම් හෝ බෙංගාලි භාෂා සංස්කෘතිවලින් ද පෝෂණය ලබා තිබෙනවා යැයි පිළිගැනීමට මගේ කිසි අකමැත්තක් නෑ. ඒ මම තනි හෙතුවක් හෝ තනි සත්‍යයක් පිළි නොගන්නා නිසා. නමුත් එකී අදහස සාධක සහිතව පෙන්වා දිය යුතුයි.
1.1 ඇයි අප 'තනි සත්‍යයක් ගැන, 'තනි හේතුවක්' ගැන කියන චින්තනයට එරෙහි වියයුතු?
1.1.1 ඒ එය කරුණු වසයෙන්ම වැරදි නිසා
1.1.2 එය මිනිසුන් ජාතීන් වසයෙන්, ආගම් වසයෙන්, කුළ වසයෙන් හා ප්‍රදේස වසයෙන් බෙදා වෙන් කිරීමට හේතුවන නිසා. ඒසේ බෙදා වෙන් කිරීමට අවශ්‍ය චින්තනය සමාජයක් තුළ පැවතීම/ පවත්වාගෙන යාම බලය පිළිබඳ හීන මවන/ මේ වෙද්දීත් බලය ලබාගෙන සිටින නායකයින්ට තම පැවැත්ම තහවුරු කර ගැනීමට සරු පසක් නිර්මාණය කරන නිසා. (මේ ගැන කියවන්න ජනිත්)
1.1.3 එයින් ප්‍රශ්න සංකීර්ණව තේරුම් නොගන්නා ජන සමාජයක් බිහිවන නිසා. ඒබඳු ජනසමාජයක් නිතරම එක් 'මහ හේතුවක්' පෙන්වා රැවටිය හැකි නිසා. උදා: ලංකාවේ සියළු ප්‍රශ්නවලට හේතුව එල් ටී ටී ඊ ත්‍රස්තවාදයයි. මෙතැන 'මහ හේතුව' එල් ටී ටී ඊ ත්‍රස්තවාදයයි. දැන් එකී මහ හේතුව නැති නිසා ප්‍රශ්න ඔක්කෝම ඉවරයි කියා හිතන්න පුළුවන් ද කියා එතකොට කෙනෙක් අසාවි. එයට ලැබෙන පිළිතුර නම් "මොන පිස්සු ද? ඇයි අර බටහිර ජාතීන් ඉන්නේ". ව්මල් වීරවංස රඟ පෑ විකට රංගනය තේරුම් ගත යුත්තේත් එකී රංගනයේ අවසන් ජවනිකාවතුළ රටේ විධායක ජනාධිපතිවරයා අදාල රංග ශිල්පියා ඉදිරියේ දනගසා 'කට පැන් වත් කිරීමත්' තේරුම්ගතයුත්තේ මේ සන්ධර්භය තුළයි. ඇත්තවශයෙන්ම ජනාධිපති තුමා වීරවංස ලඟ දනගැසිය යුතුයි. මක්නිසාද 'අළුත් මහ හේතුවක්' තනා දීමට ඔහු කළ මෙහෙය අගය කිරීමට පමණක් නොව එම ගොඩනැංවීමට තමන් ද දායක වීම වැදගත්වන බැවිනි.
2. 'ඉතිහාස විශයය' යනු මූලාශ්‍රය මත පදනම් වෙමින් සාකච්ඡා කළ යුතු විශයයක් විනා හිතළු ඉදිරිපත් කළ හැකි විශයයක් නොවේ ය යන කරුණ පෙන්වා දීම මේ ලිපියේ තව අරමුණක්. මා සිංහල දෙමළ සම්බන්ධය සාකච්ඡා කළේ මූලාශ්‍රයයන් පදනම් කරගෙන පමණයි. (සිංහල අක්ෂර හෝඩිය එහි මුල් ම කාලයේ සිට ම දෙමළ අක්ෂරවලින් සම විසමවන ආකාරය පී.ඊ.ඊ. ප්‍රනාන්දු මහතාගේ ලිපියේ සාධක ගෙනහැර දක්වමින් සාකච්ඡා කර තිබුණත් ඒ කිසිවක් මාගේ ලිපියෙහි දී ඉදිරිපත් නොකළේ අදාල සාධක මේ මොහොතේ මා ලඟ නැති බැවිනි). පෙරමුණේ රාල ඉදිරිපත් කරන අදහස් ද සාධක සහිතව ඉදිරිපත් කරන්නට යැයි මා ඉල්ලා සිටින්නේ ඒ නිසයි.
පෙරමුණේ රාල තම ලිපිය අවසන් කරන්නේ මෙසේ ය. "දකුණු ඉන්දියනුවා යනු දමිළයා යයි ඌණනය කර නිජ බිම් සංකල්පය ඔප්පු කර ගැනමට දත කන පිරිසක්ද මේ හරහා අනාගතයේ බිහි වනු ඇත. ඔවුන්ගේ මනෝ රාජික නිජ බිම ඔප්පු කර ගැන්මටත්, දමිළයා යනු මෙරට මුල් පදිංචිකරුවාය යන මතය සමාජ ගත කිරීමටත් මේ කරුණු විකෘත කරමින් ඔවුන් උත්සාහ දරණු ඇත. අප අන්න ඒ වෑයම පරාජය කළ යුතුය."
මම මෙහි දී ද යම් ප්‍රමාණයකට ඔහුගෙන් වෙනස්ය. ඓතිහාසික සාධක මගින් හෙළිවන කරුණු කිසිත් පක්ෂපාතීත්ත්වයකින් තොරව හැකි තරම් මධ්‍යස්ථව ඉදිරිපත් කිරීම ඉතිහාසඥයාගේ කාර්යය ලෙස මම සළකමි. ඔහුට නූතන රාජ්‍යයට හෝ එහි රාජ්‍ය ආකෘතියට, රාජ්‍ය කරවන කල්ලි කණඩායම් වලට, ආගමික හෝ භාෂාව පදනම් කරගත් ජාතීන්ට පක්ෂ ඉතිහාසයක් වුවමනාවෙන් ම ලියන්නට වත් එකී ආයතන හා කල්ලි කණ්ඩායම් වලට අභියෝගයක් විය හැකි තොරතුරු සඟවන්නට වත් අයිතියක් ඔහුට නැත. ඒ නිසා ඉතිහාසය ලිවීම යනු කළින්ම ගත් තීන්දුවක සිට ලියන යමක් නොවේ. ඒ අනුව නිජ බිමක් තිබුණා යැයි කලින්ම සිතාගෙන ගොඩනගන තර්ක ද එය බිඳ දැමීම ම ඉලක්ක කරගෙන ගොතන ගෙතීම් ද ඉතිහාසය නොවේ. අනෙක් අතට කිසියම් තැනක 'මනෝ රාජික නිජබිමක්' පිළිබඳ තර්කයන් ගොඩනැගේ නම් එය බිඳ දැමීම කළ හැකි වන්නේ ද ඉතිහාස ක්‍රම වේදයන් පිළිබඳව ද මූලාශ්‍රයන් පිළිබඳ ව ද මනා අවබෝධයක් ඇති ඉතිහාස විශය පිළිබඳ පුහුණුවක් ඇති අයටමයි. එසේ නොමැති අය ඒ වැඩය බාර ගැනීමෙන් බෙදීම් ද වෛරය ද පෝෂණය වනවාට එහා යමක් සිදු නොවෙනවා ඇත යන්න මාගේ පිළිගැනීමයි.
දෙවනුව මා වඩාත් උනන්දු වන්නේ බෙදී වෙන්වන තත්ත්යට අවශ්‍ය සාධක වර්ධනය වීමට පෙර එකී සාධකයන් අහෝසි කිරීමට කටයුතු කිරීම පිළිබඳව වන අතර බෙදී වෙන්වන තත්ත්වයට අදාල සාධක වර්ධනය වන්තෙක් සිට ඒවා පරාජය කිරීම පිළිබඳව නොවේ. පංති කාමර තුළ සිටම සිංහල හා දෙමළ දරුවන් බෙදා වෙන්කිරීම සඳහා උපස්ථම්භකවන ඉතිහාසයක් ඉගැන්වීම මෙතරම් බරපතල කරුණක් ලෙස මා පෙන්වා දෙන්නේ එබැවිනි. සිංහල දෙමළ සහෝදරත්වයේ නාමයෙන් කරන පුංචි ඉල්ලීමක් යන ලිපියෙන් ද එයට ලියූ කොමෙන්ට්ස් තුළින් ද මා උත්සාහ කළේත් ඒ දේමයි.
හිතුවාට වඩා ලිපිය දිග වීම ගැන කණගාටුයි.
පහුගිය මාස දෙකක විතර කාලයක් නිහඬව සිටිය දී වරින් වර පැමින අළුතින් යමක් ලියා ඇත්දැයි බලා ගිය හැමට ද ඉස්තූතියි.
By පිටස්තරයා-2
මහාවංසය ලිව්වෙ 5 සියවසේ විතර අනුරාධපුර මහාවිහාරයෙ ජීවත් වුනු මහානාම නම් හාමුදුරු කෙනෙක්. උන්වහන්සේ ඈතම අතීතේ ඉඳල මහසෙන් රජුගේ අවසානය (303 AD) දක්වා කාලය තම කෘතියෙන් ආවරණය කරනවා. ඉන්පස්සෙ කොටස් ලියැවුනු කාල ගැන මතභේද තියෙනවා. සමහර දෙනෙක්ගෙ අදහස 12 සියවසෙ ජීවත් වුනු ධර්මකීර්ති කියන හාමුදුරුවො දෙවෙනි කොටස ලිව්වා කියල. ඔහොම නුවර කාලය වෙනකම්ම කොටස් වසයෙන් මෙය ලියැවෙනව. සමහර දෙනෙක් ගෙ අදහස මහානාම හිමි ලියූ මුල් කොටස මහාවංසය ලෙස හැදින්වුනු බවත් ඉතිරි කොටස් චූලවංසය ලෙස හැදින්වුනු බවත්.
ඒ කොහොම වුනත්
1.මේ සියලුම කොටස්වල කතුවරු හාමුදුරුවරු.
2. ඒ සියලුම දෙනා මහාවිහාර වංසයේ (ථේරවාදී ගුරුකුලයේ) හාමුදුරුවරු.
මේ අය ඉතා වෙහෙස ගෙන කියාහිටින කතාවක් තියෙනවා. ඒ තමයි තමන් නියෝජනය කරන ගුරුකුලයේ තමයි පිරිසිදුම බුදුදහම ආරක්ෂාවී අත්තේ යන්න. ඒ සඳහා බුදුහාමුදුරුවන්ගේ සිට මිහිඳු හාමුදුරුවො ලංකාවට පැමිනීම දක්වා වූ බුදු දහමේ කතාවත් එතැන් සිට ලංකාව තුළ එය වර්ධනය වූ අකාරයත් උන්වහන්සේලා අඛණ්ඩව විස්තර කරනවා. ඒ හැර සාමාන්‍ය ජන ජීවිතය ගැන හෝ ලංකාවේ වාසය කළ සාමාන්‍ය ජනයා ගැන හෝ කිසිවක් මහා වංසයේ එන්නේ නෑ. හේතුව ඒවා ගැන කතා කිරීම මේ කතුවරුන්ගේ අරමුණ නෙවෙයි. රජුන් ගැනද ආක්‍රමණ ගැනද ඒ අය කතාකරනවා. ඒ අනුරාධපුරය මුල්කරගෙන පැවති මහාවිහාරයට මෙකී කාරණා දෙක අතිශයින්ම තීරනාත්මක ලෙස වැදගත් නිසා. මුල් යුගයේ දකුණු ඉන්දීයවෙ ජනයාත් ලංකාවෙ ජනයාත් යන දෙපිරිසම බෞද්ධයි. ලංකාවේ මුල්කාලයෙ දක්නට ලැබෙන ආකාරයෙ භිෂූන් වෙනුවෙන් තනා පූජාකළ ළෙන් හා ලෙන් ලිපි ඒ ආකාරයෙන්ම දකුණු ඉන්දියාවෙනුත් හමුවෙනවා. වළගම්බා රාජ්‍ය කාලයෙ ලංකාව ආක්‍රමණය කළ දකුණු ඉන්දීය ආක්‍රමණිකයන්ගෙන් එක් අයෙක් බුදුන්ගෙ පාත්‍රය ලැබුනාම "මට මේ ඇති" කියා ඒකත් අරං ආපහු ගියා කියල මහාවංසෙම කියනවා. බුදුන්ගෙ පාත්‍රය වැදගත් බෞද්ධයෙකුට විතරයි. ඒ කියන්නෙ දකුණු ඉන්දීය දෙමළ ජනයාත් ලාංකිකයිනුත් යන සියලු දෙනා බෞද්ධයි. ඒ කාලයෙ සිංහල හා දෙමළ භික්ෂූන් කිසි වෙනසක් නැතිව කටයුතු කරන්න ඇති. එය විශේෂයෙන් වාර්තා කරන්න තරම් දෙයක් නොවුණු නිසා මහාවංසයේ ඒ ගැන විශේෂ වාර්තා නෑ. නමුත් පෙර දැක් වූ ආක්‍රමණයෙන් පස්සේ අවුරුදු 14ක් මෙහෙ සාගතයක් තිබුණාලු. ත්‍රිපිඨකය කටපාඩමින් ගෙන ආ භික්ෂූන් මිය යන්න ගත්තලු. මේ වෙලාවෙ යම් උගත් භික්ෂූන් පිරිසක් ජීවිතය රැකගන්න පැනයන්නේ සොළී දේශයට. මෙයින් හොදටම පැහැදිලියි ඔවුන්ට උදව් කරන්න නවාතැන් දෙන්න එහෙ පිරිස් හිටියා. ඔවුන්ට සම්බන්ධ ආයතන එහි තිබුණා. ඒ එහෙත් මෙහෙත් එවක පැවතුනේ පොදු ආගමික තත්වයක් නිසා.
නමුත් මහාවංසෙ ලියන කාලේ එනම් 5 සියවස වෙනකොට දකුණු ඉන්දියාවෙ තත්වේ වෙනස්වෙලා. නාගර්ජුන, ආර්යදේව, අසංග, වසුබන්දු වැනි මහායාන දාර්ශනිකයන්ගෙ බලපෑමට දකුණු ඉන්දියාවෙ බුදු දහම නතුවෙලා තිබුණා. මේ මහායාන අදහස් ලංකාවටත් එන්න ගත්ත. අනුරාධපුරයේම වූ අබයගිරි භික්ෂූන් මේ නව අදහස් බාරගත්ත. මහාවිහාරීය භික්ෂූන් මේක සැලකුවේ තම ආයතනයට හා ථේරවාදී බුදුදහමට එල්ල වූ මහා තර්ජනයක් ලෙසට. මේ ගැටුමේ ඵලයක් ලෙසයි මහායාන අදහස් දැරූ භික්ෂූන් 60 දෙනෙක් ව වෙර ළකුණු ඔබ්බවලා (හණගහලා... !) ලංකාවෙන් පිටුවහල් කරන්නේ. සංඝමිත්‍ර කියන දකුණු ඉන්දීය භික්ෂුව ඇවිත් රජුගේ හිත් දිනාගෙන මහාවිහාරේ භික්ෂූන්ට දන් දීම තහනම් කරවන්නේ. මහාවිහාරය බිඳ දාලා ඒ ඉඩමේ උඳු වපුරවන්නේ. මේ ගැටුම අවසානේ සංඝමිත්‍ර භික්ෂුව ථේරවාදී පක්ෂය ගත් ගිහියෙකු අතින් මරුම් කනවා.
මේ සියල්ල දෙස බැලුවම පේනවා මහාවංසය ලියන්න හේතු වුනු පසුබිම කොයිවගේ ද කියලා.
මම මුල් ලිපියේ කිව්වා අබයගිරි වාසී භික්ෂූන් ලියූ වංසකතාත් තිබුනා නම් මීට වඩා තව විස්තර ලංකාවේ ඉතිහාසය ගැන දැනගන්න තිබුණා කියා. නමුත් අද එ කිසිවක් ඉතිරිව නෑ. ඒවාත් තිබුණා නම මහාවිහාර පර්ෂවය විසින් නොකී බොහෝ කතා අපට දැනගන්න තිබුණා. අබයගිරිය මහාවිහාරය මෙන් නොව මහායානික අදහස් වලට වැදගත් තැනක් දුන්න. 5 සියවසේ ලංකාවට ආව ෆා හියන් නම් චීන සංචාරකයාට අනුව ඔහු පැමිණි කාලයේ අබයගිරියේ 5000ක් භික්ෂූන වාසය කර තිබෙනවා. එහෙත් මහාවිහාරයේ ජීවත්ව ඇත්තේ භික්ෂූන් භික්ෂූන් 3000 පමණයි. අතිශයොක්ති බැහැර කරල ගත්තොත් අබයගිරිය වාදීන් (මහයානික අදහස් වලට නැඹුරු වූවන්) සංඛ්‍යාත්මකව වැඩියි. අද ඔබ අනුරාධපුරයට ගියොත් පෙනේවි අබයගිරිර්ය ආයතනයක් හැටියට කොතරම් දැවැන්ත ද කියා. 9-10 සියවස් වලට අයත් අත්තානි පරිහාර නමින් හඳුන්වන ටැම් ලිපි වලින් පෙනෙනවා අබයගිරියට අයත්ව තිබුණු ඉඩම් කොපමණ ද කියා. මේ අනුව ඔවුන් එක් රැස්කළ දැනුම් ප්‍රමාණය සහ පොත්පත් ප්‍රමාණයද ඉතා විශාල විය හැකියි. ඔවුනුත් මහාවංසය මෙන් තම ආයතනයේ ද තමන් පිළිගත් බුදුදහමේ ද ඉතිහාස කතාව ලිව්වා නම් නිසැක ලෙසම දකුණු ඉන්දියාවේ කාන්චිපුරම් හි පල්ලවාරාමය වැනි ආයතන සමග එය පැවැත් වූ සබඳතාත් මෙහි වාසය කළ දෙමළ භික්ෂූන ගැනත් අපමන තොරතුරු අපට ලබාගන්නට ඉඩ තිබුනා. අවාසනාවට අබයගිරිවාසීන්ට අයත් එකම එක පොතයි අද ඉතිරිව ඇත්තේ. එය ඉතිහාස තොරතුරු සපයයන කෘතියක් නෙවෙයි.
තව රෝහනට්ඨකතා මහාවංසය නම් කෘතියක් ද රෝහණයේ සිටි භික්ෂූන් විසින් ලියා ඇති බවට තොරතුරු ලැබෙන බව පෙර ලිපියේ මා කීවා. එයත් අද දකින්නට නෑ. මේසියල්ල තිබුණා නම් අපට වඩා විශාල තොරතුරු ප්‍රමාණයක් එක් රැස් කරගන්න තිබුණා. ඒත් ඒ තොරතුරු මතත් අපිට වඩා දියුණු ඉතිහාසයක් ලියන්න අමාරුවෙයි. හේතුව මේව ලිව්වේ භික්ෂූන්. ඔවුන්ගේ උවමනාවන් වෙනස්. සාමාන්‍ය ජන ජීවිත ගැන ලියන එක ඔවුන්ට උවමනා කළේ නෑ. ඒකට ඒ අයට දොස් කියලත් වැඩක් නෑ. ඒ අය ක්‍රියා කළේ එදාට වැදගත් ය කියල පෙණුනු දේවල් වෙනුවෙන් මිස අද අපට වැදගත්ය කියල පෙනෙන දෙවල් වෙනුවෙන් නෙවෙයි.
දැන් අපිට මහාවංසයේ දුටු ගැමුණු කතාව දිහා වෙනස් විදියකට බලන්න පුලුවන් වෙයි. මම කිව්ව මහාවංසෙ ලියැවුනේ 5 සියවසේ පමණ ජීවත් වුණු මහානාම නම් හාමුදුරු කෙනෙක් අතින් කියා. ඒකියන්නේ දුටුගමුණු ගේ කාලෙන් අවුරුදු 600 කට විතර පස්සේ.
5 සියවස වෙද්දී ලංකාවට දකුණු ඉන්දීය ආක්‍රමණයක් එල්ල වී ත්බුණා. මේ අතර මහානාම නම් හාමුදුරු කෙනෙක් ධාතුසේන නම් පුංචි කුමාරයෙක්ව ආක්‍රමණිකයගෙන් බේර ගෙන කලා ඔයෙන් එතෙරට අරගෙන ගිහින් මහණ කරල හංගගෙන හදාවඩා ගන්නවා. මේ මහනාම තෙරුන්ගෙ වුවමනාව ආක්‍රමණිකයාට එරෙහිව සටන් වැදීම සඳහා සුදුසු පුද්ගලයෙක් නිර්මාණය කිරීමයි. ඒ වෙනුවෙන් උන් වහන්සේ හැකි සෑම දේම කරනවා. මෙහි දී අපිට වැදගත් කාරණය තමයි මහාවංසය ලියූ තෙරුන්ගේ නමත් ධාතුසේන කුමරා හදාවඩා සටනට යැවීමට කටයුතු කළ භක්ෂුව ගේ නමත් "මහානාම" වීම. ඒ දෙදෙනාම ජීවත් වුනේ එකම කාලයේ එනම් 5 වැනි සියවසේ වීම. මේ ගැන කතා කරන පරනවිතාන මහතාත් සැක කරනවා මේ දෙදෙනෙක් නොව එක් අයෙකුම බව. මගේ අදහසත් එයමයි. මේ කටයුතු දෙකටම සම්බන්ධ වුනේ දෙදෙනෙක් නොවෙයි. එක් අයෙක්මයි.
මහාවංසයේ මුලු පරිච්ඡේද 37න් දුටුගැමුණු කතාවට පරිච්ඡේද 20 ක් පමණ වෙන්කරන්නෙත් දසමහා යොදයින් ගැන කණ්ඩුල ඇතා ගැන මෙතරම් හිත්ගන්නසුළු කතා ඉදිරිපත් කරන්නේත් ධාතුසේනට අවශ්‍ය පිරිස්බලය සටන් ශක්තිය හදාදීමට බවයි මගේ අදහස. දුටුගැමුණුගේ මුවට නගල කියන 'මාගේ වෑයම රජ සැප පිණිස නොව, බුදුදහමේ චිරස්ථිතිය සඳහාය'යන වාක්‍යය ඇත්තටම මහානාම තෙරුන් ධාතුසේන ලවා කියවන වාක්‍යයක් යනු මගේ අදසයි. ඇත්තටම මේ කාලය වනවිට (5 සියවස) වනවිට ආක්‍රමණිකයා ථේරවාදී බුදු දමට විරුද්ධ අදස් දරන්නෙක් වීමට ඇති ඉඩ වැඩියි. මක්නිසාද ද්කුණු ඉන්දියාවේ බුදුදහම මේවෙනකොට ගොඩාක් වෙනස් වී තිබූ නිසා. දුටු ගැමුණු කතාවේ එන එක් වැදගත්කියමණක් දුටු ගැමුණු රජු අතින් මියගියේ මිනිසුන් එක හමාරක් ය යන අදහස. එක යනු පංසිල් සමාදන් වූවෙකි. භාගය තෙරුවන් සරණ ගිය අයෙකි. මියගිය අන් සියළුදෙනා තිරිසන් සතුන් සමානය.
බුදුදහමේ කවර ඉගැන්වීමක් මත වත් පිහිටා මෙවැන්නක් පැවසිය නොහැකිය. අනෙක් අතට මහාවංසයට අනුව මේ වාක්‍යය පවසන්නේ සාමාන්‍ය භික්ෂූන් පිරිසක් නොව පුවඟු දිවයිනෙන් ආ රහතන්වහන්සේල පිරිසකි. ඇයි මහානාම හිමිට මෙවැනි බුදුදහමේ මූලික පදනම් ඉගැන්වීම්වලට ද පටහැනි යමක් කියන්නට සිදු වූයේ? මගේ අදහස මේ මගින් මහානාම හිමි පිළිතුරු දෙන්නේ තම ශිෂ්‍යයාටයි. කලක් පැවිදිව සිටි ධාතුසේන මිනිසුන් මැරීම පව් නැත්දැයි අසන ප්‍රශ්නයට දෙනෙ පිළිතුර මේ වාක්‍යය තුළ ඇති බැවිනි. දුටුගැමුණු කතාව මහානාම තෙරුන් විසින් තමන්ගේ කිසියම් උවමනාවක් සාධනය කරගැනීම සඳහා කෘත්‍රිමව විශ්ටත්වයට නගා ඇතිබව (glorified) මම කියන්නේ නිකම්ම නොවේ. මහාවංසය ලියැවීමට සියවසකට පමණ පෙර ලියැවුණු දීපවංසයේ දුටුගැමුණු සඳහා වෙන්කොට ඇත්තේ ගාථා කීපයක් පමණයි. මාගේ විශ්වාසයේ හැටියට දීපවංසකරුට දුටුගැමුණුගේ වැදගත්කමට අඩුවක් කිරීමට කිසි හේතුවක් මට පෙනෙන්නේ නෑ.
මේ සමස්ත සාකච්ඡාව තුළ මා පෙන්වා දීමට උත්සාහ කරන්නේ මූලාශ්‍රයයක් භාවිතා කිරීමේදී එය ලියැවුනු වටපිටාව, එහිකතුවරයාගේ පුද්ගලික අභිලාශයන්, ඔහුට තිබුනු සීමාවන්, ඒ කාලයේ තිබුනු උවමනාවන් ආදී සියල්ල සැලකිල්ලට ගැනීමේ ඇති වැද්ගත් කමයි. එසේ කරන විට අදාල මූලාශ්‍රය ප්‍රමාණය ඉක්මවා වැදගත් තැනකට පත් නොවේ. නමුත් මාගේ අදහස මහාවංසය එබඳු ප්‍රමාණය ඉක්මවාගිය වැදගත් තැනකට පත්ව ඇති බවයි. ඒසේ ප්‍රමාණය ඉක්මවා ගිය වැදගත් තැනක එය තැබුවේ මෙරටට ආ ඉංග්‍රීසින්ය යනු මගේ අදහසයි.
එය සිදුවුනේ මෙහෙමයි. පෙරදිගට ආ ඉංග්‍රීසින් අතර ආකාර කිහිපයකට අප දෙස බැලූ ඉංග්‍රීසින් සිටියා. එක් කණඩායමක් වූයේ පෙරදිග සිටින්නේ ම්ලේච්ඡයන්ය, ඔවුන්ව ශිෂ්ට කිරීම ඉංග්‍රීසීන්ගේ කාර්යයි කියා සිතූ අය. තව පිරිසක් හිටියා පෙරදිග වැසියා පහසුවෙන් පාලනය කිරීමට නම් ඔවුන්ගේ ඉතිහාසය සංස්කෘතිය චාරිත්‍රක්‍රම නීති ආදිය දැනගත යුතුය කියා සිතූ අය. ඉංදියාවේ හා ලංකාවේ ඉතිහාසය ලියැවුනේ ඔවුන් අතින්. තුන්වැනි වැදගත් පිරිස වුනේ නැගෙනහිර රෝම අධිරාජ්‍යය බිඳ වැටුණු පසු කොන්ස්තන්තීනෝපලයෙ එතෙක් රැඳී තිබූ ඥානය බටහිරට ලැබුණාට පසු ඇති වූ ආකාරයේ පුනරුදයක් නැවත සිදුවේ යැයි විශ්වාස කළ පිරිස. ඒ මෙතෙක් බටහිරට විවෘත නොවී තිබූ ඉන්දියාව ලංකාව වැනි පෙරදිග රටවල සැගව තිබුණු ඥානය බටහිරට විවෘත කිරීමෙන්. මේ පිරිසයි මහා උනන්දුවකින් අපරටවල තිබුණු පොතපත හදාරන්න ගත්ත. ඔවුන් මහන්සියෙන් පාලි සංස්කෘත ආදී භාෂා ඉගෙනගත්තා ඒ සඳහා. පලි ත්‍රිපිටකය බටහිර ලෝකයට ලබාදුන් රීස් ඩේවිඩ්ස්ලා අය්ති මේ ගොඩට. ඔවුන් පළමුවෙන්ම මහාවංසය දැක්කහම පුදුමයට පත්වුණා. ඒ මේ දූපතෙ වැසියෝ ඉතා සැලකිල්ලෙන් කාලානුක්‍රමිකව (Chronologically) සිද්ධි වර්තා කරමින් ඉතිහාසය ලියාතිබෙනවා කියන අදහසින්. ඔවුන් එය විශාල සොයාගැනීමක් ලෙස ලෝකයට ප්‍රකාශ කළා. එවිට පෙරදිග සිටින්නෙ ම්ලේච්ඡයන්ය යන අදහසේ සිටි අය මේ මතවලට එරෙහිවෙමින් මහාවංසය මිත්‍යාවක්ය කියා එය විවේචනය කළා. එවිට තීරණාත්මක ලෙස සටන් වැදුනේ මහවංසයේ විශිෂ්ටත්වය ගැන විශ්වාස කළ විල්හෙල්ම් ගයිගර් වැනි අයයි. මේ අය මහාවංසය ලංකාවේ ජාතික ඉතිහාස පොතය යන ඉතාම ඉහල තැන එය තැබුවා. අපේ සමහර කෙනෙක් මේ අදහස මුදුනින්ම පිළිඅරගෙන මහාවංසය අපේ ජාතික ඉතිහාස පොතයි කියමින් ඉංග්‍රීසින් විසින් ලබාදුන් දෑවැද්ද මහත් කැමැත්තෙන් තම කරට ගත්තා. අදත් ඒ අකාරයෙන් ම එය කරතබාගෙන යනවා. මේ නිසාම එයට එරෙහිවන්නන් බනින්නෙ මහාවංසය ලියූ මහානාම තෙරුන්ටයි. උන් වහන්සේ පක්ෂපාතී ඉතිහාසයක් ලිව්වාය කියා. මා මුලින් දක්වා ඇති පරිදි මහානාම තෙරුන් ජාතික ඉතිහාසයක් ලියා නැහැ. එනිසාම උන්වහන්සේ අද දවසේ ජීවත්වන අපේ වැරදිවලට බැනුම් ඇසිය යුතු නෑ. අප විසින් කළ යුත්තේ ඉංග්‍රීසින්ගෙන් සමහරෙකු විසින් මහාවංසය ඔසවා තැබූ තැනින් එය ගෙන එයට නිසිතැන නැවත හිමි කර දීමයි. යමෙක් අපේ යමක් අනවශ්‍ය ලෙස පහත්කොට සලකන විට අපි එයට එරෙහිවන ආකාරයටම අපේ යමක් අනවශ්‍ය ලෙස ඉහල තබා වර්ණනා කරන විටත් එරෙහි විය යුතුයි. නමුත් එය කරන එක අමාරුයි. එසේ වුවත් අප එය කළයුතුවන්නේ එසේ නැත්නම් බිහිවන්නේ විකෘති ඉතිහාසයක් වන බැවිනි. මේ සම්බන්ධයෙන් මා මීට පෙර ලියූ 'පිටස්තරයා ඉතිහාසය ගැන..' නමින් යුතු ලිපියද කියවන ලෙස ඔබගෙන් ඉල්ලනවා. එහි දී මා මතු කරන්නේ ඇත්තවශයෙන් සිදු වූ දේත් එයින් ලියා තබන දේත අතර පවත්නා බරපතල වෙනසයි. මේ වෙනස මහාවංසයට ද අන් ඔනෑම අයිතිහාසික මූලාශ්‍රයකට ද පොදුයි.