මේ සිංහලයන්ගේ ආරම්භය ගැන නම් නොවේ...
පහුගිය කාලය තුළ සිංහලයන්ගේ ආරම්භය ගැන ලියැවුණු ලිපි කිහිපයක් ම බ්ලොග් අඩවිවල පළ වී තිබුණා. එයින් මයියා ලියූ ලිපි තුනකට (1, 2, 3) එක්තරා ප්‍රමාණයකින් කොමෙන්ට්ස් ලිවීම මගින් සම්බන්ධ වූ නමුත් අන් ලිපි කිසිවකට මාගේ අදහස් ඉදිරිපත් කිරීමට නොහැකි වූයේ කාර්ය බහුලත්ත්වය නිසා. මේ ලිපිය ඒ බ්ලොග් සහෘදයින් ඇරඹූ සාකච්ඡාවේම දිගුවක් ලෙස සැලකුවාට වරදක් නෑ.
මෙහි දී සත්‍යයේ කාන්තාරය අඩවියේ පළ වූ ලිපිය සම්බන්ධයෙන් කිසිවක් මේ ලිපිය තුළ සාකච්ඡා කළ නොහැක්කේ කිසියම් හේතුවක් නිසා එම බ්ලොග් අඩවිය ඉවත් කරගෙන ඇති බව පෙන්වන බැවිනි. එහෙත් එහි සඳහන් ව තිබූ සිංහල බස දෙමළ බසට කිට්‍ටු එකක් ලෙස කී අදහස ගැන පෙරමුණේ රාල ඉදිරිපත් කර ඇති අදහස සමඟ එනම් සිංහලය ඉන්දු ආර්ය භාෂා පවුලට අයත් බසක් ය යන්න හා දෙමළ බස ද්‍රවිඩ භාෂා පවුලට අයත් එකක්ය යන අදහස සමග මම සම්පූර්ණයෙන් ම එකඟයි.
මාගේ මුල්ලිපියකත් මේ ප්‍රශ්නයට අදාල යමක් කතා කළා. නමුත් මගේ අවධාරණය සිහලයන්ගේ ආරම්භය කුමක් ද යන්න සෙවීම නොවේ. එය සෙවීම ඉතාම අපහසු කාර්යයක් වන අතර කිසිවෙකුටත් නිස්චිත ලෙස පිළිතුරු දීමට ද නොහැකි ගැටළුවක්. මා පිලිගන්න ආකාරයට එය බොහෝ කාලයක් තුළ සිදුවුනු ක්‍රියා දාමයක ප්‍රතිඵලයක් මිස ඒක් නිශ්චිත දිනෙක එක් ප්‍රමුක පුද්ගලයෙකුගේ (විජය, රාවණ වැනි) මැදිහත් වීමෙන් සිදු වූවක් නොවේ. ඒවගේම භාෂාව ජාතිය ආගම වැනි අනන්‍යතා ඇතිවීම මානවයා ජීවත් වූ සමස්ත කාලයට සාපේක්ෂව සැලකූ විට ඉතාම කෙටි කාලසීමාවකට අයත් වන අතර එහෙයින්ම එබඳු කෙටි කාලයකට අදාලවන අනන්‍යතාවලට නොගැලපෙන තරම් අතිමහත් වැදගත් කමක් දීම ගැනද එතරම් සතුටක් මා තුල නෑ. පෙරකී අනන්‍යතාවලට වැදගත් කමක් දිය යුතුවන්නේ සමස්ත තත්ත්වයන් සැලකිල්ලට ගෙන ඒ සමස්ත තත්ත්වය තුළ ඒයට හිමිවිය යුතු ප්‍රමාණයටයි. ඒ වගේම 'ජාතිය' 'ආගම' වැනි අනන්‍යතා පිළිබඳ අද මෙන් තද එල්බ ගැනීමක් අතීතය පුරා එකම ආකාරයට පැවතියා කියා මා විශ්වාස කරන්නේත් නෑ. එසේ එල්බ ගැනීම කෙරෙහි යම් ජන කොටසක් යොමුවන්නේ එකී ජනකොටස වෙත එල්ලවන/එල්ලවී තිබෙනවා යැයි හිතන අභියෝගයන්ට දක්වන ප්‍රතිචාරයක් හැටියටය යනු මගේ හැඟීමයි. ඒ ඒ කාලයන්හි ඇතිවන අභියෝගයන්හි සවභාවය එකම ආකාර නොවන නිසා හැම කල්හි එකම ආකාරයේ ජාතිය පිළිබඳ හැගීමක් තිබුණා යැයි සිතිය නොහැකියි. ඒ වගේම කාලය හරහා අතීතයට යන්නට යන්නට ජාතිය, භාෂාව වැනි දේ පදනම් ව බිහිවන අනන්‍යතා ක්‍රමයෙන් බොඳව යනවා. උදාහරන ලෙස බුද්ධකාලීන භාරතය තුල ජාතිය කියා හැන්දින්විය හැකි අනන්‍යතාවක් පේන්නේ නෑ. තිබෙන්නේ වර්ණ කියා හැඳින්වෙන අනන්‍යතාවක්. එය භාෂාව මත හෝ ආගමික විස්වාසවල වෙනස්කම් මත ඇති වූවක් ද නොවේ.
අනෙක් අතට ජාතීන් අනුව මිනිසුන් වර්ගකොට ලැයිස්තු ගත කිරීම සිදුවන්නේ බ්‍රිතාන්‍ය පාලන සමයේ ඔවුන්ගේ පරිපාලන වුවමණා මත. ඒ නිසා අද අප අතර තිබෙන ආකාරයේ ජාතිය පිළිබඳ අදහසක් අදට වඩා සාකළ්‍යයෙන් ම වෙනස් පරිසරයන් පැවති අතීතය තුළ දැකීමට උත්සාහ කිරීම ද ක්‍රම විරෝධී බව මාගේ හැඟීමයි.
මා මීට පෙර මේ ගැන ලියමින් කියා සිටියේ බ්‍රිතාන්‍ය යුගයේ ලියන ලද ඉන්දීය හා ලංකා ඉතිහාසය තුළ ඒ රටවල ජනයා භේද භින්න වන ආකාරයට ඒ ඉතිහාසය ලියා ඇති බවත් ඒ තුළ ඔවුන් 'ආර්ය' කියා විශේෂ මානව වර්ගයක් ගැන අදහස හඳුන්වා දුන් ආකාරයත් එකී මානව වර්ගය ද්‍රවිඩ මානව වර්ගයෙන් සපුරා වෙනස් එකක් ලෙස හඳුන්වා දුන් ආකාරයත්. එහිදී මා තව දුරටත් පෙන්වා දුන්නේ ඉන්දු ආර්ය කියා හැඳින්විය හැකි භාෂා පවුලක් ඇති මුත් එනමින් හැඳින්විය හැකි සුවිශේෂ මානව වර්ගයක් නැති බවයි. තව ද ඉන්දියානු ඉතිහාසඥයින් අදවනවිට මෙකී යටත් විජිත ඉතිහාසකරණය දැඩිව ප්‍රශ්න කරන බවත් තවදුරටත් ඔවුන් ඉන්දියාවට 'ආර්ය' කියා මානව වර්ගයක් ආවාය කියා තම සිසුන්ට නො උගන්වන බව හා එය බ්‍රිතාන්‍යයන් අතින් සිදු වූ වරදක් ලෙස ඔවුන් දකින බව. ඒ වෙනුවට අදටත් ලංකාවේ නම් ආර්යයන් කියා ද්‍රවිඩයන්ට ප්‍රතිපක්ෂ මානව වර්ගයක් විසින් මුල් ජනාවාස ඉදි කළාය යන අදහසත් ඔවුන්ගෙන් සිංහලයන් පැවත එනවාය කියාත් පංතිකාමරවල උගන්වන බවත් පෙන්වා දුන්නා.
ඒ අදහසේ ම සිටිමින් මම පොදුවේ මයියා, සත්‍යයේ කාන්තාරය හා පෙරමුණේ රාල ඉදිරිපත්කරන සිංහලයන්ගේ ආරම්භයට අදාල අදහස සමඟ මම ද එකඟ වෙනවා. එනම් අද සිංහල ලෙස හැඳින්වෙන ජන පිරිස පැවත එන්නේ ප්‍රධාන වශයෙන්ම දකුණු ඉන්දීය සම්භවයක් සහිත මානව සමූහයකින්ය මිස උතුරු ඉන්දියානුන්ගෙන් නොවේය කියන අදහස සමග. ඒත් ඔවුන් පැවත එන්නේ ද්‍රවිඩ මූලයකින් කියාවත් ද්‍රවිඩ ජානවලින් කියාවත් මා කියන්නේ නෑ. ඒ ද්‍රවිඩ යනු භාෂා පවුලක් හැඳිවෙන නමක් මිස මානව වර්ගයක් හැඳින්වෙන නමක් නොවන නිසා. ඒ වගේම පෙර කී භාෂා මූලයට අයත් භාෂා බිහි වීමට පෙර අද ලංකාව ලෙස හැඳින්වෙන දිවයින් භූමිය තුළ මානවයින් ජීවත් නොවුණාය කියා මා විශ්වාස නොකරන නිසා. එසේම මෙයින් වසර විසිපන් ලක්ෂයත් දොළොස් දහසත් අතර පැවති ප්ලයිස්ටෝසීන භූ යුගය තුළ වරින්වර මුහුදු මට්ටම අද තියෙන තත්ත්වයට වඩා ඉහල පහල ගිය තත්ත්වයක නූතන ලංකාව ලෙස හැඳින්වෙන දූපත භූමියෙන් අර්ධද්වීපික ඉන්දියාව සමඟ සම්බන්ධව පවතින්නට ඇති නිසා සහ එවකද මිනිසුන් එහාමෙහා සංක්‍රමණය වන්නට ඇති නිසා. උදාහරණ ලෙස මෙයින් වසර 18000 කට පෙර මුහුදු මට්ටම අදට වඩා අඩි 400කට ආසන්න ප්‍රමාණයකින් පහල මට්ටමක පැවතීම උදාහරණ ලෙස දැක්විය හැකියි. මේ වනවිට ද්‍රාවිඩ කියා හැඳින්විය හැකි භාෂාවන් බිහිව නොතිබෙන්නට ඇති බැවින් 'සිංහලයන් පැවත එන්නේ ද්‍රවිඩ මූලයකින්' ය කියා කීම තුළ නැවත වතාවක් සිංහලයන් ලෙස හැඳිවෙන ජන කොටසේ බිහිවීම සීමිත සංස්කෘතික යුගයකට සීමා කෙරෙන නිසා. එනයින් මම පෙරමුණේ රාල ගේ අදාල කියමන සමග එකඟ වෙන්නේ නෑ.
දෙවැනි වැදගත් කරුණු දෙකක් ලෙස මා දකින්නේ 'ඒ හැර සිහළ බස නෑකම් දකවන්නේ කන්නඩ, මලයාලම් හා බෙංගාලි බසටය කියා පෙරමුණේ රාල කරන ප්‍රකාශය. සිංහලයේ භාෂා ඉතිහාසය ගැන හදාරා අදහස් පළකළ උගතුන්වන රඹුක්වැල්ලේ සිද්ධාර්ථ හිමි, මොහම්මද් සහිදුල්ලා, සෙනරත් පරණවිතාන ඩී. ජේ. විජේරත්න වැනි අයගේ අදහස් අනුව සිංහලය පැහැදිලිව බෙංගාලි හෝ බටහිර ඉන්දීය සම්බන්ධයකින් හටගෙන ඇත කියා තීන්දු කරන්න බෑ. එයින් සමහරෙක් නැගෙනහිර ඉන්දියානු සම්බන්ධය වැඩිබව ප්‍රකාශ කරන අතර ඇතැමෙක් බටහිර ඉන්දීය ලක්ෂණ සිංහලය තුළ වැඩිබව සෙල්ලිපි සාධක පදනම් කරගනිමින් කියා සිටිනවා. මෙබඳු තත්ත්වයක් යටතේ සිංහලය බෙංගාලි බසට වැඩි නෑකම් දක්වන්නේ යැයි පෙරමුණේ රාල පවසන්නේ අලුත්ම පර්යේෂණ මත පිහිටා විය යුතුයි කියා හිතනවා. ඔබේ නිගමනයට පාදක වූ ඒ අළුත් මූලශ්‍රයන් දක්වන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා.
අනෙක් අතට සිංහල භාෂාව කන්නඩ, මලයාලම් භාෂාවලට නෑකම් දක්වන බව කීවත් අක්ෂර සටහනට අමතරව කිසිම භාෂාමය උදාහරණයක් පෙරමුණේ රාල දක්වා නෑ. එවනි උදාහරන ඇත්නම් ඔබගේ කීම වඩාත් ශක්තිමත් වෙන්නට තිබුණා. ඉදිරියේ දී එබඳු භාෂාමය සාධක මගින් තම මතය ශක්තිමත්ව ඉදිරිපත් කරාවි කියල හිතනවා.
අක්ෂර වශයෙන් සිංහල අක්ෂර අන් දකුණු ඉන්දීය අක්ෂර සමඟ සම විසමවන ආකාරය දැක්වීමට සාධක ලෙස පෙරමුණේ රාල දක්වා ඇත්තේ ඒ ඒ භාෂාවලට අයත් නූතන මුද්‍රණ අකුරු හෝඩි ඇතුලත් සටහනකි. සිංහල අක්ෂර වඩාත් ආභාෂය ලබා ඇත්තේ කවර හෝඩියකින්ද යන්න නූතන මුද්‍රණ අකුරු හෝඩිමත සලකා තීරණය කිරීම අශාස්ත්‍රීය බව කරුණාවෙන් පෙන්වා දෙන්න කැමතියි. එසේ ආභාෂය ලබා ඇත්තේ කවර හෝඩිවලින්ද යන්න තීරනය කළ යුත්තේ ඒ ඒ අක්ෂර හෝඩිවල ඒ ඒ අකුරු ඒ ඒ ශතවර්ෂයන්හි පැවති තත්ත්වය (සෙල්ලිපි, රන්පත්, තඹපත් වැනි) අභිලේඛන වලින් හෙළිවන සාධක සැලකිල්ලට ගෙනයි. එම විකාශය සැලකිල්ලට නොගෙන හුදෙක් නූතන මුද්‍රණ අක්ෂර පමනක් සැලකිල්ලට ගෙන සිංහල අක්ෂර ආභාශය ලබා ඇත්තේ අසවල් අක්ෂරවලින්ය කියා නිගමණය කිරීම අශාස්ත්‍රීය බව පමණක් මම මෙහි සඳහන් කරනවා. ඒ හැර මෙකී විශය සම්බන්ධව කෙරුණු වටිනා පර්යේෂණ ගණනාවක් තිබෙනවා. මහාචාර්ය පී.ඊ.ඊ. ප්‍රනාන්දු විසින් 'University of Ceylon Review' සඟරාවට 1940 දශකයෙ ලියූ ලිපි දෙක මේ අතින් කෙරුණු පැරණිම වටිණා පර්යේෂණය ලෙස සැලකිය හැකි අතර මෑතම කාලයේ මේ සම්බන්ධයෙන් කෙරුණු පර්යේෂණය සිදු කළේ ඔක්කම්පිටියේ පඤ්ඤාසාර කියන හාමුදුරුවෝ පූනා විශ්වවිද්‍යාලයේ ඩෙකෑන් කොලේජ් නම් ආයතනයට තම ආචාර්ය උපාධිය ලෙස. මේ හැර ජයසිරි ලංකාගේ තම ආචාර්ය උපාධියට හදාරා ඇත්තේත් සිංහල අක්ෂර විකාශයයි. තවදුරටත් ආචාර්ය බන්ධුසේන ගුණසේකරත් මේ ගැන ලිපි ලියා තිබෙනවා. ඒ නිසා නූතන මුද්‍රණ අකුරු මත නොයැපෙමින් සිංහල අක්ෂර විකාශය කෙරෙහි බලපා ඇත්තේ කවර සංස්කෘතීන්ද යන්න මේ පර්යේෂණ ආශ්‍රයෙන් කෙනෙකුට හඳුණාගත හැකියි. ඒ නිසා ඔබතුමා සිංහල බස නෑකම් දකවන්නේ 'කන්නඩ, මලයාලම්' භාෂාවලටය යන්න ශක්තිමත් සාධක දක්වමින් පෙන්වා දෙනු ඇතැයි අපෙක්ෂා කරනවා.
තව දුරටත් ඔබ සත්‍යයේ කාන්තාරය බ්ලොග් සහෘදයාට පිළිතුරු සපයමින් කියා සිටිනවා '... බුදු දහම දෙසුනේ හා ලියැවුනේ පාලි බසිනි' කියා. මෙය ද අවසන් නිගමන වාක්‍යයක් (absolute statement). නමුත් අද පිළිගන්නා ආකාරය වන්නේ බුදු දහමට අයත් ඉගැන්වීම්වල පැරණිම ස්වරූපය ආරක්ෂා වී ඇත්තේ පාලි ලෙස හඳුන්වන භාෂාවෙන් වන අතර බුදුන්වහන්සේ තමන් ජීවත් වූ සමකාලීන ගංගා යමුණා තැන්නේ පැවති විවිධ භාෂා, උප භාෂා මගින් තම අදහස් ප්‍රකාශ කරන්නට ඇති බවත් උන්වහන්සේ පිරිණිවන් පෑ පසු සංගීතිකාරක භික්ෂූන් එකී විවිධ භාෂා, උප භාෂාවලින් පැවති ඉගැන්වීම් ඉදිරියට කටපාඩමින් පවත්වාගෙන යා හැකි ලෙස එක් ස්වරූපයකට සකස් කොට සංග්‍රහ කරන්නට ඇති බවත් එය අද 'පාලි' භාෂාව ලෙස හැඳින්වෙන බවත්. ත්‍රිපිඨකය තුළින්ම මේ විවිධ භාෂා ලක්ෂණ මතුව පෙනෙන ආකාරය නූතන පර්යේෂණ මගින් පෙන්වා දී තිබෙනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර දැනගැනීමට කියවන්න මහාචාර්ය වල්පොළ රාහුල හිමි විසින් ලියන ලද 'Pali as a Language for transmitting an Authentic Religious Tradition' නම් ලිපිය. එය පළව තිබුනේ Humour in Pali Literature and Other Essays by Walpola Rahula නමින් යුතුව පළ වී තිබූ ලිපි එකතුවේයි.
මේ හැර පෙරමුණේ රාල 'අනුරාධපුරයේ කරන කැනීම් වලදී දක්ෂිණ බ්‍රාහ්මී අක්ෂර සහිත පුරාවස්තු සොයා ගෙන ඇති අතර ඒවා ක්‍රි .පූ. 5 – 8 වන සියවස දක්වා දිව යයි' ලෙස පවසනවා. මා දන්නා ප්‍රමාණයට දැරණියගල විසින් අනුරාධපුර ඇතුළුනුවර කළ කැණීම් වලදී හමු වූ බ්‍රාහ්මී අකුරු කිහිපයක් සහිත මැටි බඳුන් කැබැල්ලයි ලංකාවේ ලිවීම සම්බන්ධ පැරණිම සාධකය වන්නේ. නමුත් එහි දාතම ක්‍රි.පූ. 5-6 සියවස් ඉක්මවා යන්නේ නෑ. දිනය තීරණය කර ඇත්තේ රේඩියෝ කාබන් ඩේටින් ක්‍රමයටයි. ඔබ එය ක්‍රි පූ 8 වැනි සියවස තරම් ඈත කාලයකට අයත් කර තිබෙනවා. මා ඇතුළු කියවන්නන්ගේ දැනගැනීම සඳහා ඔබගේ මූලාශ්‍රය කුමක් දැයි දක්වන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා. අනෙක් අතට මේවා 'දක්ෂිණ බ්‍රාහ්මී' කියා හඳුන්වා ඇත්තේ ඇයි ද කියාත් දැනගන්න කැමතියි.
මීළඟට ඔබ මතු කරන කරුණක් වන්නේ "දමිළ බස සමග [සිංහල බසෙහි] ඇති සමීප තාවය ඉතා අඩු බව උක්ත අකාරාදි දෙස බැලීමෙන් වටහා ගත හැකි වනු ඇත" යන්නයි. මා පෙන්වා දී ඇති පරිදි නූතන මුද්‍රණ අකුරු මතපදනම්ව එබඳු නිගමණයකට එලඹීම අශාස්ත්‍රීයයි. ඒ වගේම අකුරු සටහනක් මත පමණක් පදනම්ව මුළු සිංහල භාෂාවම දෙමළ බසට දක්වන සමීපතාවය අල්ප බව කීම ද අශාස්ත්‍රීය බව මගේ හැඟීමයි. මක් නිසාද භාෂාවක් යනු අක්ෂර හෝඩිය නොවන නිසා.
ඒ හැර සිංහල දෙමළ සංස්කෘතික සම්බන්ධතා මගින් ඒ එකිනෙක ජාතීන් ලබා ඇති කිසිම සංකෘතික, භාෂාමය පෝෂණයක් පිළිබඳ කිසිම සාධකයක් ඔබේ ලිපිය තුළින් දක්වා නෑ. මේ නිහඬබව වඩාත් වැදගත් වන්නේ සිංහලය අභාශය ලබා ඇත්තේ කන්නඩ, මලයාලම් හා බෙංගාලි භාෂාවලින්ය කියා කියා හිටින තත්ත්වයක් තුළයි. එකී ප්‍රකාශය තහවුරු කිරීමට කිසිම සාධකයක් (නූතන මුද්‍රණ අකුරු හෝඩිය හැර) ඉදිරිපත් නොකරන තත්ත්වයක් තුළයි.
නමුත් සිංහල දෙමළ සංස්කෘතික සම්බන්ධතාවල ඉතිහාසය බොහෝ ඈත කාලයක් හා සම්බන්ධවන්නක්. එය ප්‍රකට ලෙස ලිවීම පිළිබඳ තොරතුරු ලැබෙන ක්‍රි පූ 3-2 සියවස්වල සිටම දක්නා ලැබෙයි. භික්ෂූනට ලෙණ් තනා පූජා කිරීම් පිළිබඳ වාර්තා ලියා ඇත්තේ සිංහල භාෂාවේ මූලික අවස්ථාවක් වන සිංහල ප්‍රාකෘතයෙන් වන අතර ඒවා පිදූවන්ගේ නම් ද ප්‍රාකෘත සම්බන්ධයක් පිළිඹිබු කරන 'තිශ, ශුමණ, මිත වැනි ස්වරූපයක්ගනියි. එහෙත් එසේ ලෙණ් පිදූවන්ගෙන් සැලකිය යුතු තරම් දෙනෙක් සමාජ තත්ත්වයෙන් අයත් වන්නේ 'පරුමක' යන විරුදය දැරූවන් අතරටය. පරණවිතාන මහතා විසින් සංග්‍රහ කරන ලද ක්‍රි පූ 3-1 සියවස්වලට අයත් ලෙණ් ලිපි 1134 අතුරින් 374 ක් කරවා ඇත්තේ පරුමක වරුන්. (Inscriptions of Ceylon Vol. I, 1970, pp.lxxiv - lxxxvi). පරුමක යන තත්ත්ව නාමය දැරූ ඔවුන් ඊට අමතරව "සේනාපති (ශෙනපති), භාණ්ඩාගාරික (බඩගරික), ඇමති (අමත) හා විවිධ අධ්‍යක්ෂ (අදෙක) තණතුරු දැරූ එවක සමායේ ඉතා ඉහල තත්ත්වයක් හෙබවූවන්. 'රජ' යන තත්ත්වය හෙබවූවන්ට පසුව සමාජයේ සිටි ඉහල ම ප්‍රභූ ජනපිරිස ලෙස පෙනෙන්නේ 'පරුමක' තත්ත්වය හෙබවූවන්. පරණවිතානට අනුව මොවුන් "උතුරු ඉන්දියාවේ සිට පැමිණ ලංකාවේ මුල් ජනාවාස ඉදිකරගත් ආර්යයන්ගේ නායකයන්ගෙන් පැවත එන්නන් විය හැකි අතර.. පරුමක යන පදය සංස්කෘත භාෂාවේ 'ප්‍රමුඛ' යන්නේ ද පාලි භාෂාවෙන් 'පමුඛ' හෝ "පාමොක්ඛ' ලෙස යෙදෙන පදයේ ද පැරණි සිංහල රූපයයි." (ibid, p. lxxiv).
පෙරකී ලෙණ් ලිපි 374න් 8ක් තනා පූජාකොට ඇත්තේ කාන්තාවන්. ඒ අය තම තත්ත්ව නාමය ලෙස 'පරුමක' යන්නෙහි ස්ත්‍රී ලිංග පදය ලෙස යොදා ඇත්තේ " පරුමකළ" හෝ 'පරුමකළි' යන්නයි. පරණවිතාන මහතා කියන ආකාරයට 'පරුමක' යන්න ඉන්දු ආර්ය භාෂා මූලයකින් එනම් 'ප්‍රමුඛ/පාමොක්ඛ' යනපදවලින් ආරම්භ වීනම් එහි ස්ත්‍රී ලිංග පදය 'පරුමකළ' ලෙස සැකසෙන්නේ කෙසේ දැයි විස්තර කළ යුතුයි. නමුත් ඔහු එය විස්තර කර හෝ එය ප්‍රශ්නයක් ලෙස සලකා නැත. මාගේ භාෂා දැනීම අනුව ඉන්දු ආර්ය භාෂා මූලයකට සම්බන්ධ කිසි භාෂාවක පුරුෂ ලිංග නාම පදයක් ස්ත්‍රී ලිංගයට හැරවීමේදී එහි මුල් රූපයේ අගට 'ළ' කාරයක් එක්කරනු ලබන්නේ නෑ. මේ ගැටළුව මා පළමුවෙන් ම හඳුණාගත් මොහොතේ එය කීර්තිමත් වාග්විද්‍යා මහාචාර්යවර්යෙකු වූ ඩබ්. එස්. කරුණාතිළක වෙත යොමු කළා. පැය කිහිපයක් තිස්සේ කරන ලද හැදෑරීම් වලින් පසු එතුමා පහත මූලික අදහස් කීපය ඉදිරිපත් කළා.
1. 'පරුමක' යන්න ඉන්දු ආර්ය මූලයකින් ඇරඹි පුරුෂවාචී නාමපදයක් නම් එහි ස්ත්‍රී ලිංග නාම පදය විය යුත්තේ 'පරුමකී' හෝ ඊට කිට්‍ටු පදයක්.
2. පරුමක' යන්න ඉන්දු ආර්ය මූලයකින් හටගත්තේ වී නම් එහි ස්ත්‍රී ලිංග පදය කිසි ලෙසකින්වත් 'පරුමකළ' ලෙස හෝ ඊට සමාන රූපයකින් පිහිටන්නේ නෑ.
3. සකු මූලයකින් 'පරුමක' යන්න ඇරඹුණාට වඩා දෙමළ 'පෙරුමකන්' යන්නෙන් එය ඇරඹුණා යැයි සිතීම වඩා තර්කානුකූලබව. ඒ සකු 'ප්‍රමුඛ' යන්න තුන්හතර දෙනෙකු අතර සිටිනා ප්‍රමුඛ/කැපී පෙනෙන පුද්ගලයෙකු සම්බන්ධයෙන් වුව යෙදිය හැකි පදයක් වන අතර එය අත්‍ය්‍යන්තයෙන්ම සමාජයක ප්‍රභූත්වයක් ප්‍රකාශ නොකරන බැවිණි. එහෙත් දෙමළ 'පෙරුමකන්' යනු නිසැකවම කිසියම් සමාජයක ජීවත්වන 'සම්භාවනීය' 'ප්‍රභූ පුද්ගලයෙකු අදහස් වන බැවිණි. පෙර දැක් වූ සෙල්ලිපි 374 තුළ ප්‍රකාෂවන්නේ ඒ ඒ සෙල්ලිපි ලැබුණු ප්‍රදේශ වල ඒ ඒ කාලවල ජීවත් වූ රජුන්ට පසුව සිටි සම්භාවනීයම පිරිස වන බැවින් අර්ථය වසයෙන් සැලකීමේ දී 'පරුමක' දෙමළ 'පෙරුමකන්' යන්නෙන් ඇති වූ පදයක් ලෙස සැලකීම වඩාත් යෝග්‍ය බව.
4. දෙමළ 'පෙරුමකන්' යන්නෙහි ස්ත්‍රී ලිංග පදය වන්නේ 'පෙරුමකළ්' (මෙය ලියන්නේ 'පෙරුමකළ්' කියා වුවත් උච්ඡාරණය කෙරෙන්නේ 'පෙරුමැහැළ්' කියායි) ය. එය වංශවත් කාන්තාව, ආර්යාව වැනි තේරුමක් ගෙනදේ. පරුමකළ/ළි යන ස්ත්‍රී ලිංග පදය සඳහා 'ළ' කාරයක් පැමිණීම සිදු වූ ආකාරය මෙයින් විසඳේ. එනම් දෙමළ බසෙහි ඇති 'පෙරුමකළ්' යන්නෙන් 'පරුමකළ/ළි' යන පද සකස් වී ඇති බවයි.
ඒ අනුව එතුමා නිගමනය කළේ පෙර කී පරුමක යන්න දෙමළ පෙරුමකන් යන්නෙන් ආරම්භ වූවක් බවයි. (මෙයින් නොබෝ කලකට පසු දැන ගන්නට ලැබුණු පරිදි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා මහාචර්ය සුදර්ශන් සෙනෙවිරත්න ද තවත් උගතුන් කිහිප දෙනෙක් ද මේ අදහසම තම පර්යේෂණ ලිපි වලින් ඉදිරිපත් කර තිබෙනවා)
මේ කරුණ ඉතා වැදගත් වන්නේ අපට ලිඛිත සාධක මත ඉතිහාසය ගොඩනැංවීමට පළමුවෙන් ම අවස්ථාව ලැබෙන ක්‍රි පූ. 3-2 සියවස තරම් කාලයේ සිටම සිංහල දෙමළ සම්බන්ධතාවල තොරතුරු හෙළිවන බැවිනි. එවන් සහ සම්බන්ධයක් සංස්කෘතික ආභාෂයක් එවක නොවී නම් සහ එකී සම්බන්ධතාවයේ ස්වරූපය උසස්, ගෞරවණීය එකක් නොවී නම් පෙර කී දෙමළ මූලයක් සහිත පදයක් එවක සමාජයේ සිටි ප්‍රභූන් තම තත්ත්වය ප්‍රකාෂ කිරීම සඳහා භාවිතා කරන්නේ නෑ.
මේ සහසම්බන්ධය තවදුරටත් තහවුරු වෙනවා ක්‍රි ව පළමු වැනි සියවසට අයත් සේ දාතම තීරණය කරන ලද කූටකණ්ණතිස්ස රහුගේ රජගල පර්වත ලිපියෙන්. එහි එකී රජුව හඳුන්වා ඇත්තේ "...දෙවනපිය මහරඣහ මරුමකණකහ පුටකණ ගමනි අබයහ..." ලෙසින්. (Inscriptions of Ceylon, Vol. II, Part I, 1983, pp. 2-4). මෙහි "මරුමකණක" යනු දෙමළ "මරුමකණ්'' යන පදයයි. අර්ථය මුණුබුරා යන්නයි. ඇත්තවශයෙන් ම අදත් අපි සිංහලයේ භාවිතා කරන මුණුබුරා යන පදය මෙකී දෙමළ 'මරුමකණ්' යන්නෙන් මිස ඉන්දු ආර්ය මූලයකින් ආරම්භ වූවක් නොවන අතර එය සිංහල භාෂාවට පැමින ඇත්තේ ක්‍රි ව පළමු සියවසටත් පෙර කාලයක දී බව ඉහත සාධකයෙන් පේනවා.
මා මෙහි දක්වා ඇත්තේ දාතම තීරණය කරන ලද සෙල්ලිපිවලින් ලැබෙන සාධක ඔස්සේ සිංහල දෙමළ යහපත් සම්භන්ධතාවල ඉතිහාසය කොතරම් ඈතකට දිවෙනවා ද යන්නයි. මේ සම්බන්ධය තවදුරටත් සෙල්ලිපි ආශ්‍රයෙන්ම තහවුරු කළ හැකියි. පාලකයා හැඳින්වීම සඳහා භාවිතා වූ "මහරජ" යන්න ක්‍රමයෙන් සෙල්ලිපිවලින් බැහැරව ගොස් ඒ වෙනුවට "මපුර්මුකා" 'මපුරුම්' වැනි පද භාවිතයට පැමිණීම ක්‍රි ව 4-5 සියවස්වල සිට දක්නා ලැබෙනවා. 8, 9, 10 සියවස් වන විට මේ තත්ත්වය ප්‍රබලවම දැකිය හැකියි. ඒ හැර ලංකාවේ ප්‍රාදේශීය පාලනයට සහ සම්බන්ධ වූ නිළධාරී තණතුරු නාමයන් විශාල ප්‍රමාණයක් ද දෙමළ සම්භවයක් ඇති ඒවා බව අත්තාණි කණු ලෙස හැඳින්වෙන ටැම්ලිපි සාධකවලින් පෙනෙනවා. (මේ සඳහා බලන්න: Inscriptions of Ceylon, Vol. V, Part I and II).
මේ හැර සිංහල භාෂාව තුළ අද දක්නා ලැබෙන දෙමළ ආභාෂය ඇති වචන කිසිවක් මෙකී සිංහල දෙමළ සම්බන්ධයට සාධක ලෙස ඉදිරිපත් නොකරන්නේ එකී වචන සිංහල බසට ඇතුලත් වූ කාලය නිෂ්චිත ලෙස ප්‍රකාෂ කිරීමට සාධක නොමැති නිසයි. නමුත් එබඳු විශාල වචන ප්‍රමාණයක් අපි සියළුදෙනාම අද වෙද්දීත් භාවිතා කරන බව පමණක් මම මෙහි සඳහන් කරනවා. ඒ අනුව පෙරමුණේ රාල යෝජනා කරන ප්‍රමාණයට වඩා සිංහල දෙමළ සම්බන්ධය ප්‍රබල හ දැඩි බව පෙනෙන අතර එය ඉතා ඈත අතීතයක් හා සහ සම්බන්ධ වන බවද තහවුරු වෙනවා.
මා මේ ඉදිරිපත් කර ඇති ආකාරයටම සිංහල භාෂාව/ සංස්කෘතිය කණ්ණඩ හා මලයාලම් භාෂා/සංස්කෘතීන්ගෙන් පෝෂණය ලබා ඇති ආකාරය සාධක සහිතව පෙරමුණේ රාල විසින් ඉදිරිපත් කරාවි කියා බලාපොරොත්තු වෙනවා. එය එතුමා වෙත කරන අභියෝගයක් නොවන අතර මා එම ඉල්ලීම කරන්නේ මා ද ඇතුළු මේ කියවන හැමගේ ම දැනුම් පරාසය පුළුල් කර ගැනීමටත් අද සිංහල කියා හඳුන්වන අපගේ සංස්කෘතික පෝෂණයේ ව්‍යාපතිය පිළිබඳ දැනුම ඉන් තව දුරටත් පුළුල්වන නිසාත්.
මා මුලින් ම පෙන්වා දුන් පරිදි මාගේ කිසිම උනන්දුවක් නෑ සිංහලයන්ගේ ආරම්භය මොකක් ද කියා හොයා බලන්න. එහෙම නම් මේ සමස්ථ ලිපියේ ම අරමුණ කුමක් ද? මෙහි අරමුණ මා මෙතෙක් බ්ලොග් අඩවිය තුළ ලියූ ලිපි හැම එකකින් ම වාගේ මතු කිරීමට උත්සාහ කළ මූලික තර්කයන් තවදුරටත් ඉදිරියට ගෙන යාමයි.
එනම්:
1. ඉතා සංකීර්ණ තත්ත්වයන් හා විවිධ 'සත්‍යයන්' පවතිද්දී 'එක් තනි හේතුවක්' හා එක් 'මහ සත්‍යයක්' අප සියල්ලන් තුළ ස්තාපිත කිරීමට ඇති නැමියාව පෙන්වා දීම සහ ඒ තුළින් මතුවන චින්තනයේ ඇති වරද පෙන්වා දීම. එසේ වූ 'මහා සත්‍යයක්' පිළිබඳ අදහස හා 'එක් මහ හේතුවක්' පිළිබඳ අදහස මිත්‍යාවක් බව පෙන්වා දීම. මේ අදහස මම මීට පෙර ඉදිරිපත් කළා 'පිටස්තරයා හා පිටස්තරයාගේ ලොකයියා' නම් ලිපියට ලියූ කොමෙන්ට්ස්වල හා 'පිටස්තරයාගෙ පිළිතුරුයි මේ' යන ලිපියේ අවසාන හරියේ දී. සිංහලයන්ගේ ආරම්භය සම්බන්ධයෙන් ඉදිරිපත්වන අදහස් තුළත් මේ 'මහ සත්‍යය' හා 'මහා හේතුව' පදනම් කරගත් චින්තනය දකින්න පුළුවනි.
අදත් පාසැල්වල උගන්වන ලංකා ඉතිහාසය පාඩම් මාලාව ආරම්භ වන්නේ 'ලංකාව ආර්ය ජනාවාසයක්වීම' නම් පාඩමෙන්. එහි දී උගන්වනවා 'උතුරු ඉන්දියාවට ක්‍රි පූ 1500 ත් 1000ත් අතර කාලයේ ස්ටෙප්ස් තණබිම් ප්‍රදේශවල සිට සංක්‍රමණය වූ 'ආර්ය' නමින් හැඳින්වෙන සුවිශේෂ ජන පිරිසක් එහි ශිෂ්ටාචාරය බිහි කිරීම හා එකී ජන පිරිස්වලින් පැවත එන්නන් ක්‍රි පූ 600 දී පමණ ලංකාවට පැමිණ කලාඔය, මල්වතු ඔය, මහවැලි ගඟ, කිරිඳි ඔය ආදී ගංගා ආශ්‍රය කරගෙන 'මුල්ම ජනාවාස' ඉදිකර ගැනීම ගැන. මේ 'මහ කතාවට' අනුව මානව වර්ගයක් ලෙස මේ පාඩම ඉගෙන ගන්නා සිංහල දරුවා අයත් වන්නේ උතුරු ඉන්දියානු මානව වර්ගයකට. ඔහු දකුණු ඉන්දියානු සම්භවයක් සහිත මානවයන්ගෙන් සපුරා වෙනස්. ඔවුන් සමඟ කිසි සම්බන්ධයක් නෑ. එහෙයින්ම තම රටේ ම වෙසෙන දකුණු ඉන්දියානු සම්භවයක් සහිත 'දෙමළ' ශිෂ්‍යයා තමන්ගෙන් ජානමය වසයෙන් ම හරිම වෙනස් අමුත්තෙක්, 'පිටස්තරයෙක්'.
මේ පාඩම්වලට අනුව සිංහල භාෂාව ඉන්දු ආර්ය භාෂා පවුලට අයත් එකක් වීම පෙර කී සිංහලයන් 'උතුරු ඉන්දීය සම්භවයක් සහිත ආර්ය මූලයකින් පැවත එනවා' ය යන අදහස තහවුරු කරන්නක්. ඒ ඉගැන්වීම තුළ අවුරුදු දහසක් පමණ කාලයක් තිස්සේ භාෂාවක් සාමාන්‍ය ජනයා අතර පවතින විට එය විවිධ මානව වර්ගයන් අතර පැතිරෙනවාය යන සංකීර්ණ සත්‍යය වත් අවුරුදු දාහක් දෙදාහක් කිසිම මානව වර්ගයක් අමිශ්‍ර ශුද්ධ මානව වර්ගයක් ලෙස නොපවතිනවාය යන සංකීර්ණ සත්‍යයවත් පාසැල් දරුවන්ට කියා දෙන්නේ නෑ.
මාගේ විචාරයට ලක් වූ පෙරමුණේ රාලගේ ලිපිය මෙයින් මදක් වෙනස්. ඔහු ලාංකීයයන් පෙර දැක් වූ ආකාරයේ උතුරු ඉන්දීය මානව වර්ගයකින් පැවත එනවාය යන්න පිළිගන්නේ නෑ. ඒ වෙනුවට ඔවුන් දකුණු ඉන්දීය මානව වර්ගයකට අයත් ය යන්න පිළිගන්නවා. මෙය ඉතා දියුණු ආස්තානයක් ලෙස මා සලකනවා.
නමුත් ඔහුට අනුව සිංහල ජාතිය දෙමළ භාෂාවෙන් ලබපු ආභාෂය ඉතාම අල්පයි. ඒ වෙනුවට ආභාෂය ලබා ඇත්තේ කණණඩ, මලයාලම් හා බෙංගාලි භාෂාවලින්. මෙයත් මා සලකන්නේ මා මුලින් පෙන්වා දුන් එක් මහ කතාවක්' එක් 'මහ හේතුවක්' ඉදිරිපත් කරන චින්තනයේ ම දිගුවක් ලෙසට. තව දුරටත් සිංහලයන් උතුරු ඉන්දීය මානව වර්ගයකට අයත් නොවේ යැයි පිලිගන්නා අතරම නැවත වරක් දෙමළාගෙන් වෙනස් වූ මානව වර්ග සමග, සංස්කෘතීන් සමඟ සම්බන්ධ බව කියා පෑම. මේ පෙන්වා දුන් අදහස්වල කැපී පෙනෙන කරුණක් වන්නේ සිංහලයා දෙමළාගෙන් නම් වෙනස්ය යන්න තහවුරු කිරීමයි. මා විසින් ලියන ලද ඉහත ලිපිය තුළ පෙන්වා දුන්නේ ඒය එසේ නොවන් බවයි. එහෙත් සිංහලයන්/ සිංහල භාෂාව/සංස්කෘතිය කණ්ණඩ හෝ මලයාලම් හෝ බෙංගාලි භාෂා සංස්කෘතිවලින් ද පෝෂණය ලබා තිබෙනවා යැයි පිළිගැනීමට මගේ කිසි අකමැත්තක් නෑ. ඒ මම තනි හෙතුවක් හෝ තනි සත්‍යයක් පිළි නොගන්නා නිසා. නමුත් එකී අදහස සාධක සහිතව පෙන්වා දිය යුතුයි.
1.1 ඇයි අප 'තනි සත්‍යයක් ගැන, 'තනි හේතුවක්' ගැන කියන චින්තනයට එරෙහි වියයුතු?
1.1.1 ඒ එය කරුණු වසයෙන්ම වැරදි නිසා
1.1.2 එය මිනිසුන් ජාතීන් වසයෙන්, ආගම් වසයෙන්, කුළ වසයෙන් හා ප්‍රදේස වසයෙන් බෙදා වෙන් කිරීමට හේතුවන නිසා. ඒසේ බෙදා වෙන් කිරීමට අවශ්‍ය චින්තනය සමාජයක් තුළ පැවතීම/ පවත්වාගෙන යාම බලය පිළිබඳ හීන මවන/ මේ වෙද්දීත් බලය ලබාගෙන සිටින නායකයින්ට තම පැවැත්ම තහවුරු කර ගැනීමට සරු පසක් නිර්මාණය කරන නිසා. (මේ ගැන කියවන්න ජනිත්)
1.1.3 එයින් ප්‍රශ්න සංකීර්ණව තේරුම් නොගන්නා ජන සමාජයක් බිහිවන නිසා. ඒබඳු ජනසමාජයක් නිතරම එක් 'මහ හේතුවක්' පෙන්වා රැවටිය හැකි නිසා. උදා: ලංකාවේ සියළු ප්‍රශ්නවලට හේතුව එල් ටී ටී ඊ ත්‍රස්තවාදයයි. මෙතැන 'මහ හේතුව' එල් ටී ටී ඊ ත්‍රස්තවාදයයි. දැන් එකී මහ හේතුව නැති නිසා ප්‍රශ්න ඔක්කෝම ඉවරයි කියා හිතන්න පුළුවන් ද කියා එතකොට කෙනෙක් අසාවි. එයට ලැබෙන පිළිතුර නම් "මොන පිස්සු ද? ඇයි අර බටහිර ජාතීන් ඉන්නේ". ව්මල් වීරවංස රඟ පෑ විකට රංගනය තේරුම් ගත යුත්තේත් එකී රංගනයේ අවසන් ජවනිකාවතුළ රටේ විධායක ජනාධිපතිවරයා අදාල රංග ශිල්පියා ඉදිරියේ දනගසා 'කට පැන් වත් කිරීමත්' තේරුම්ගතයුත්තේ මේ සන්ධර්භය තුළයි. ඇත්තවශයෙන්ම ජනාධිපති තුමා වීරවංස ලඟ දනගැසිය යුතුයි. මක්නිසාද 'අළුත් මහ හේතුවක්' තනා දීමට ඔහු කළ මෙහෙය අගය කිරීමට පමණක් නොව එම ගොඩනැංවීමට තමන් ද දායක වීම වැදගත්වන බැවිනි.
2. 'ඉතිහාස විශයය' යනු මූලාශ්‍රය මත පදනම් වෙමින් සාකච්ඡා කළ යුතු විශයයක් විනා හිතළු ඉදිරිපත් කළ හැකි විශයයක් නොවේ ය යන කරුණ පෙන්වා දීම මේ ලිපියේ තව අරමුණක්. මා සිංහල දෙමළ සම්බන්ධය සාකච්ඡා කළේ මූලාශ්‍රයයන් පදනම් කරගෙන පමණයි. (සිංහල අක්ෂර හෝඩිය එහි මුල් ම කාලයේ සිට ම දෙමළ අක්ෂරවලින් සම විසමවන ආකාරය පී.ඊ.ඊ. ප්‍රනාන්දු මහතාගේ ලිපියේ සාධක ගෙනහැර දක්වමින් සාකච්ඡා කර තිබුණත් ඒ කිසිවක් මාගේ ලිපියෙහි දී ඉදිරිපත් නොකළේ අදාල සාධක මේ මොහොතේ මා ලඟ නැති බැවිනි). පෙරමුණේ රාල ඉදිරිපත් කරන අදහස් ද සාධක සහිතව ඉදිරිපත් කරන්නට යැයි මා ඉල්ලා සිටින්නේ ඒ නිසයි.
පෙරමුණේ රාල තම ලිපිය අවසන් කරන්නේ මෙසේ ය. "දකුණු ඉන්දියනුවා යනු දමිළයා යයි ඌණනය කර නිජ බිම් සංකල්පය ඔප්පු කර ගැනමට දත කන පිරිසක්ද මේ හරහා අනාගතයේ බිහි වනු ඇත. ඔවුන්ගේ මනෝ රාජික නිජ බිම ඔප්පු කර ගැන්මටත්, දමිළයා යනු මෙරට මුල් පදිංචිකරුවාය යන මතය සමාජ ගත කිරීමටත් මේ කරුණු විකෘත කරමින් ඔවුන් උත්සාහ දරණු ඇත. අප අන්න ඒ වෑයම පරාජය කළ යුතුය."
මම මෙහි දී ද යම් ප්‍රමාණයකට ඔහුගෙන් වෙනස්ය. ඓතිහාසික සාධක මගින් හෙළිවන කරුණු කිසිත් පක්ෂපාතීත්ත්වයකින් තොරව හැකි තරම් මධ්‍යස්ථව ඉදිරිපත් කිරීම ඉතිහාසඥයාගේ කාර්යය ලෙස මම සළකමි. ඔහුට නූතන රාජ්‍යයට හෝ එහි රාජ්‍ය ආකෘතියට, රාජ්‍ය කරවන කල්ලි කණඩායම් වලට, ආගමික හෝ භාෂාව පදනම් කරගත් ජාතීන්ට පක්ෂ ඉතිහාසයක් වුවමනාවෙන් ම ලියන්නට වත් එකී ආයතන හා කල්ලි කණ්ඩායම් වලට අභියෝගයක් විය හැකි තොරතුරු සඟවන්නට වත් අයිතියක් ඔහුට නැත. ඒ නිසා ඉතිහාසය ලිවීම යනු කළින්ම ගත් තීන්දුවක සිට ලියන යමක් නොවේ. ඒ අනුව නිජ බිමක් තිබුණා යැයි කලින්ම සිතාගෙන ගොඩනගන තර්ක ද එය බිඳ දැමීම ම ඉලක්ක කරගෙන ගොතන ගෙතීම් ද ඉතිහාසය නොවේ. අනෙක් අතට කිසියම් තැනක 'මනෝ රාජික නිජබිමක්' පිළිබඳ තර්කයන් ගොඩනැගේ නම් එය බිඳ දැමීම කළ හැකි වන්නේ ද ඉතිහාස ක්‍රම වේදයන් පිළිබඳව ද මූලාශ්‍රයන් පිළිබඳ ව ද මනා අවබෝධයක් ඇති ඉතිහාස විශය පිළිබඳ පුහුණුවක් ඇති අයටමයි. එසේ නොමැති අය ඒ වැඩය බාර ගැනීමෙන් බෙදීම් ද වෛරය ද පෝෂණය වනවාට එහා යමක් සිදු නොවෙනවා ඇත යන්න මාගේ පිළිගැනීමයි.
දෙවනුව මා වඩාත් උනන්දු වන්නේ බෙදී වෙන්වන තත්ත්යට අවශ්‍ය සාධක වර්ධනය වීමට පෙර එකී සාධකයන් අහෝසි කිරීමට කටයුතු කිරීම පිළිබඳව වන අතර බෙදී වෙන්වන තත්ත්වයට අදාල සාධක වර්ධනය වන්තෙක් සිට ඒවා පරාජය කිරීම පිළිබඳව නොවේ. පංති කාමර තුළ සිටම සිංහල හා දෙමළ දරුවන් බෙදා වෙන්කිරීම සඳහා උපස්ථම්භකවන ඉතිහාසයක් ඉගැන්වීම මෙතරම් බරපතල කරුණක් ලෙස මා පෙන්වා දෙන්නේ එබැවිනි. සිංහල දෙමළ සහෝදරත්වයේ නාමයෙන් කරන පුංචි ඉල්ලීමක් යන ලිපියෙන් ද එයට ලියූ කොමෙන්ට්ස් තුළින් ද මා උත්සාහ කළේත් ඒ දේමයි.
හිතුවාට වඩා ලිපිය දිග වීම ගැන කණගාටුයි.
පහුගිය මාස දෙකක විතර කාලයක් නිහඬව සිටිය දී වරින් වර පැමින අළුතින් යමක් ලියා ඇත්දැයි බලා ගිය හැමට ද ඉස්තූතියි.


24 Comments
August 18, 2010 5:57 AM
පිටස්තරයා ට බාධා කල කාර්‍යබහුලත්වය මේ වන විට මයියා ට මාරු වී ඇත්තේය.
එනමුත් මේ ලිපියේ මයියා ගේ එක් සිත ගත් තැනක් වනුයේ ඉන්දු ආර්‍ය භාශා කුලකය හා ද්‍රවිඩ භාශාව එකිනෙක වෙනස් ය යන පිටස්තරයා ඉදිරිපත් කර ඇති කරුණයි. මෙය මෙසේ නොවන බවට ඉන්දීය උගතුන් කීප දෙනෙක් ගේ මත මයියා ට ඇස ගැටී තියෙනවා. ඒ පිලිබද ව ම්තු කොමෙන්ටුවකින් මෙම ලිපිය හා සම්භ්නදවීමට මයියා උත්සහ කරනවා..තවද ඇමෙරිකානුවන් මෙම ආර්‍ය කතාවන් වලට එක එක එල්ලේ විරුද්ධ මත ගේන එනවා මයියා දැක තිබෙනවා..
මයියා මේ ආර්‍ය කතාව ගැන ලියන්න කලින් උත්සහ කරලා තියෙනවා
http://maiyyagelokaya.blogspot.com/2010/07/blog-post_25.html
කෙසේ වුවත් මේම සOවාද හා ලිපි වලදී බොහො විවිද අදහස් ඇති අය සOයමයකින් ත්මන්ගේ අදහස් ඉදිරිපත් කල ඇති ආකාරය හරිම අපුරුයි නේද පිටස්තරයා..
August 18, 2010 10:05 AM
ස්තූතියි මයියා. මම ඔබ ලියා ඇති ලිපියත් කියෙව්වා. කොතරම් කාර්ය බහුල කාලයක් පහු කරමින් හිටියත් මම ඔබෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේ කියන විවේචනය ඉදිරිපත් කරන ඉන්දීය හා ඇමරිකානු උගතුන් කව්ද කියාත් ඔවුන් ලියා ඇති පොත්පත් හා ලිපි මොනවා ද කියාත් අදාල භාෂා මූලයන් ගැන ඔවුන් ඉදිරිපත් කරන මූලික විවේචන මොනවා ද කියාත් මතක තිබෙන ආකාරයට දක්වන හැටියට.
August 18, 2010 10:24 AM
පෙරමුණේ රාළගේ ලිපි ගැන කලබල විය යුතු නැහැ. ඔහුට ඇත්තේ දේශපාලන න්‍යාය පත්‍රයක් මිසක අධ්‍යාපනික කුහුලක් (academic curiosity) නෙවෙයි. තමන්ගේ දේශපාලනමය අරමුණු තකා සැබෑතතු වෙනස් කිරීම ඔහු වැන්නන්ගේ සාමාන්‍ය සිරිත.
- Taboo
August 18, 2010 3:38 PM
"For anyone who seriously wishes to pursue the topic of north-south division in India, I recommend K. D. Sethna's The Problem of Aryan Origins (New Delhi: Aditya Prakashan, 1980 and 1992). Sethna (also known as Amal Kiran) is a distinguished disciple of the teachings of Sri Aurobindo. Also recommended is Francis Gautier's Rewriting Indian History (New Delhi, Vikas, 1996).
August 19, 2010 10:04 AM
@ taboosubjects
:), මම විවෘතව ඉන්නවා. පෙරමුණේ රාලගේ වැඩක් තමන් ඉදිරිපත් කළ අදහස් සසාධකව ශාස්ත්‍රීය ලෙස තහවුරු කර පෙන්වීම. ඒ මගින් ටැබූ ඔහු සම්බන්ධයෙන් කියා ඇති දේත් ඇත්ත නොවන බව ඔප්පු කළ හැකියි.
@ maiyyagelokaya
ස්තූතියි මයියා තොරතුරු වලට. මම ඔබ දක්වා ඇති පොත් කියවා නෑ. සොයාගෙන කියවන්න උත්සාහ කරනවා. ඒ හැර ඉතිහාස මහාචාර්ය රොමිලා තාපාර්ගේ The Aryan; Recasting Construct කෘතිය ද තවත් එබඳු ප්‍රාමාණික ඉතිහාසඥයින් හතර දෙනෙකුගේ සහභාගීත්වයෙන් ලියැවුණු India: Historical Beginnings and the Concept of the Aryan කෘතිය ද තෝමස් ආර් ට්‍රෞට්මාන් ගේ Aryans and British India කෘතිය ද මා කියවා තිබෙනවා. ඒ හැම දෙනා ම 'ආර්ය' කියන මානව වර්ගයක් පිළිබඳ අදහස විවේචනයට ලක්කර ඇති මුත් එනමින් වර්ග කර ඇති භාෂා මූලය ප්‍රතික්ෂේප කර නෑ.
ඒ හැර මේ ආකාරයට ලෝකයේ පවත්නා භාෂා සම්බන්ධයෙන් පොදු න්‍යායික තත්ත්වයක් ගොඩනංවා ඒ යටතේ කරන අධ්‍යනයන් අයත් වන්නේ වාග්විද්‍යා විෂය ක්ෂේත්‍රයටයි. එම විෂය්ක්ෂේත්‍රය තුළ අදටත් මේ 'භාෂා පවුල්' පිළිබන්ධ අදහස පිළිගැනෙනවා. මෙකී විෂයයේ නූතන යුගයේ දැවන්තයා වන්නේ නෝම් චොම්ස්කි. ඔහු ජීවත් වන්නේත් ඇමරිකාවේ. ඔහු අතින් වත් මෙකී 'භාෂා පවුල්' පිළිබන්ධ අදහස විවේචනයට ලක් ව නෑ.මම ඔබ කියා ඇති අදහස මා සිටින සරසවියේ වාග්විද්‍යා විෂය යටතේ ආචාරය උපාධිය හදාරන මිත්‍රයෙකු සමගත් කතා කළා. ඔහු කියා සිටියේත් ඉන්දු යුරෝපිය/ඉන්දු ආර්ය භාෂා මූලය පිළිබඳ අදහස අදටත් වලංගු බව සහ ද්‍රවිඩ භාෂා මූලය එයින් වෙනස් වන බවයි. ඒත් තව දුරටත් මේ ගැන සොයන්නම්.
August 19, 2010 8:48 PM
i do agree with some of your ideas. but i have many many argumants as well.
there is a close resemblance between languages like kannada and sinhala language. i do not know these languages but those who do know proclaim so. what i have noticed is that many tamil nounds end with consonents and many kannada nouns end with vowels which makes it much similar to sinhala.
as u said there are different sorts of differenciations than race. one such from ancient india goes as; a country is identified with its ruler's dynasty.
we have learnt as historical facts that all south indian dynasties have interacted with Lanka, not only the cholas who spoke tamil. the pandyan dynasty in particular through marriage ties even came to power in lanka. and in colonial times some of the areas which we call tamil areas today were called 'malabar' settlements.
and as we study ancient sinhala scrypt we see how it has evolved. many express different ideas about it but it is said that many different writing styles of various dynasties of southern india have effected sinhala scrypt (such as ikshuvaksu).
but i do not say that tamil has not had effect on sinhala. it most definitely has.
but personally i believe that if chola or any other dynasty has effectred sihala scrypt, then it is also very likely that sinhala has effected indian scrypt too. especially since that when the water levels were lower in the indian ocean and the shape of the island was different sri lanka was a much larger country which was capable of making such an effect. furthermore, lanka had developed some unique language features that had no effect from any other dynasty or whatever.
also note that the letters found from anuradhapura are probably not the earliest writing in lanka..places like ibbankatuwa has fragments of writing..
August 19, 2010 8:49 PM
arya kiyana adahasa kalin sitama indiyawe thibila thiyena bava atthak. eth ekath varna kiyana varga kireemata yatath venava.
aryagamanaya pasale novei vishva vidyalayeth ithihasata uganvanava. namuth ehi mul adahasa venas vela athi.
kohoma vunath arya adahasa prasiddha karanna parama vinggartha sangamayath havul vuna. americava arya adahasata viruddha veemata hethuva nam devana loka yuddhayay. owun yuddheta ekathu vune nathi nam ovun kese e gana kiyanna thibunada kavuda danne.
August 20, 2010 5:46 AM
@ hss
ඔබ ඉදිරිපත් කරන අදහස් වැදගත්.
//there is a close resemblance between languages like kannada and sinhala language. i do not know these languages but those who do know proclaim so. what i have noticed is that many tamil nounds end with consonents and many kannada nouns end with vowels which makes it much similar to sinhala.//
මේ ඔබ ඉදිරිපත් කරන අදහස ද ඇතුළුව සිංහල භාෂාව කණ්ණඩ හා මලයාලම් භාෂාවලින් පෝෂණය ලබා ඇති ආකාරය පෙරමුණේ රාළ ඉතා ශක්තිමත් සාධක මත පදනම් වෙමින් අපව දැනුවත් කරාවි කියා හිතන නිසා ඒ ගැන මා කිසිම අදහසක් ප්‍රකාශ කරන්න උත්සාහ කරන්නේ නෑ.
//if chola or any other dynasty has effectred sihala scrypt, then it is also very likely that sinhala has effected indian scrypt too//
ඇත්තටම මේක වෙන්න පුළුවන් දෙයක්. විශේෂයෙන්ම දකුණු ඉන්දියාවේ හා ලංකාවේ පොදු ආගමික තත්ත්වයන් අතීතයේ පැවතීමත් ඒ මතම ඇති වූ සංස්කෘතික සබඳතා දැඩිව පවතින්නට ඇති නිසාත්, ලංකාව ත්‍රිපිඨකය හා අටුවා ආරක්ෂා වූ රක්ෂාස්ථානයක් ලෙස කීර්තියක් ඉසිළූ බව පෙනෙන නිසාත් මේ ආකාරයේ බල පෑමක් සිදු වී නැතැයි කියන්න බෑ. මීට අමතරව වෙළෙඳාම වැනි ලෞකික සබඳතාත් ඉතා දැඩිව මේ කලාපයන් හා පවතින්නට ඇති බැවිනුත් මේ කලාපයන් හා දේශපාලන අරගල පැවති කාලය සාමකාමී සම්බන්ධතා පැවති කාලයට සාපේක්ෂව ඉතාම කෙටි විය හැකි බැවිනුත් මෙය හොඳටම සිදුවෙන්න පුළුවන් දෙයක්.
//especially since that when the water levels were lower in the indian ocean and the shape of the island was different sri lanka was a much larger country which was capable of making such an effect//
මේ කාරණය නම් ටිකක් පැටළිලි සහිතයි. පෘථිවි ගෝලය නූතනයේ පවත්නා මට්ටමට උනුසුම් වීම සිදුවුණා සේ සැලකෙන්නේ මෙයින් වසර 12000-10000 කට පමණ පෙර කාලයේ. එතැනින් ඇරඹෙන කාලය හොලෝසීන සමය ලෙස සැලකෙනවා. එකී උනුසුම් කාලය ඇරඹුනාට පසු නැවත මුහුදු මට්ටම පහල ගිය බවක් ප්‍රකාශ වෙන්නේ නෑ.
දැනට ලෝකයේ ලිවීම පිළිබඳ පැරණිම සාධක අයත් වන්නේ ක්‍රි පූ 3100 පමණ. ඒ මෙසපොතේමියාවේ 'උරුක්' නගරයෙන් හමු වූ මැටි පුවරු.
මුහුදු මට්ටම පහල බැස තිබූ කාලයේ ලාංකාව ලෙස සලකන භූ කලාපයේ ලිවීම භාවිතාවන්නට ඇතැයි කීමෙන් ක්‍රි පූ 12000-10000 කාලයට පෙරත් ලංකාවේ අය ලිවීම දැන සිටියා කියා ඇඟවෙනවා. නමුත් එවැනි අදහසකට සාක්ෂි නෑ.
Contd..
August 20, 2010 5:47 AM
Contd..
//also note that the letters found from anuradhapura are probably not the earliest writing in lanka//
මේ කියමන සමග මම සම්පූර්ණයෙන්ම එකඟ අතර මෙය ලංකාවට පමණක් නොව දකුණු ඉන්දියාවෙන් සොයාගෙන ඇති පැරණි ලේඛණ සම්බන්ධයෙන් ද අදාලයි. ඒ නිසා දාතම තීරණය කරන ලද පැරණි තම ලේඛන මත අපට යැපෙන්නට සිදුවෙනවා නැවත කිසියම් තැනකින් පිලිගත හැකි සාධක මත මීට වඩා පැරණි කාලයකට අයත් ලිවීම සම්බන්ධ සාධක සොයාගන්නා තෙක්.
//.places like ibbankatuwa has fragments of writing.//
ඉබ්බන්කටුවෙන් හමුවී සාධක පිළිගත හැකි ක්‍රමයකට දාතම තීරණය කර නැත්නම් උපකල්පනවලට නොයා සිටීමට මා වඩා කැමතියි. මෙවැනි උපකල්පන ඇතැම් සිංහලයන් අතර මෙන්ම ඇතැම් දෙමළ අය අතරත් පවතිනවා. දකුණු ඉන්දියානුවන් තුළත් පවතිනවා.
//aryagamanaya pasale novei vishva vidyalayeth ithihasata uganvanava. namuth ehi mul adahasa venas vela athi.//
මේක ඇත්ත. නමුත් ඔබ හිතන තරම් ලොකු වෙනසක් වෙලා නැති බව විශ්වාසයෙන් යුතුව කියනවා. මම ආර්ය සංකල්පය ගැන පෙන්වා දෙන්නේ භාෂාවේ පවත්නා පොදු ආරම්භය සැලකිල්ලට ගෙන වෙනම ආර්ය කියා මානව වර්ගයක් පිලිබඳ අදහසක් ඉන්ග්‍රීසින් විසින් පෙන්වා දීමේ වරද සහ එම වරද අප අතර භේදභින්නතා ඇතිවීමට එක් හේතුවක් ලෙස බලපෑ බව. එනිසාම පාසැල අධ්‍යාපනය තුල මේ කරුණ නිවැරදි කළයුතු බව. නමුත් මයියා හා පෙරමුණේ රාළ පෙන්වා දෙන කරුණු ඊට වඩා ප්‍රබලයි. මයියා ජානමය පරීක්ෂණයන් ඔස්සේ සිංහල දෙමළ අපි ඉතා සමාන බව පෙන්වා දෙනවා. පෙරමුණේ රාළ මිගාර නමින් ලියන වෛද්‍යවරයා උපුටා දක්වමින් කියනවා 'තැලසීමියාව, හිමොග්ලොබින් වල ජානගත රෝග හා ඇතැම් රුධිර සෛල රෝග වලට හේතු වන ජාන විකෘතීන් පරීක්ෂා කිරීමේදී අප වඩාත් ලං වනුයේ දකුණු ඉන්දියානුවන්ට බව සොයා ගෙන ඇත කියා හා ඒ අනුව අප ජානමය වසයෙන් නෑකම් දක්වන්නේ දකුණු ඉන්දියානුන්ට බව. තව ද ලාංකික දමිළ ජනයා වඩාත් සමානකම් දක්වන්නේ සිහලුන්ට බව ඔහුගේ දහසයි. මේ දැනුම ඇයි අපේ පාසැල් දරුවන්ට නොදෙන්නේ කියන එකයි මම නගන ප්‍රශ්නය. මෙවන් හොඳින් තහවුරු වූ සමානතා තිබිය දී ඒව දරුවන්ට කියා නොදී ඉන්ග්‍රීසින් ඇති කළ භාෂාව මත පදනම්ව ගොඩනගන ලද මිථ්‍යාවක් තව දුරටත් දරුවන්ට උගන්වමින් අපේ දරුවන් තව දුරටත් බෙදාතබන්නේ ඇයි? බලය බෙදනව ද, නිජබිමක් තිබුණ ද, දේශපාලන විස්ඳුමක් කියා දෙයක් අවශ්‍ය ද, මේව දෙවැනි තත්ත්වයේ ප්‍රශ්න. දෙපසම ළමයින් කුඩා කල දීම දැනගන්නවානම් ඔවුන් දෙපිරිස අතීත ඥාතීන් කියා ප්‍රශ්නය විසඳාගන්න කොයි තරම් පහසු වෙයි ද? මේවායි මගේ ප්‍රශ්න.
ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට.
August 21, 2010 8:57 PM
හිතවත් පිටස්තරයා,
ටික කලකට පස්සේ ඔබගේ නව ලිපියක් කියවන්න ලැබුණු එක ගැන හුඟක් සතුටුය්.
ලිපිය ගැන මට කියන්න තිබෙන්නේ "විශිෂ්ටය්" කියලය් :)
මිනිසුන් බෙදා වෙනකොට තමන්ගේ පටු අරමුණු ඉටු කර ගන්න තනන මිනිසුන් සිටින ලොවක තමන්ගේ වටිනා කාලය ශ්රමය මිඩංගු කරමින් ඔබ මේ කරන විශිෂ්ට සේවය හුඟාක් වටිනවා. මේ ලිපියේ අඩංගු කරුණු ශාස්ත්රීය ලේඛනයක පල කරන මෙන් ඔබෙන් මම කාරුණිකව ඉල්ලා සිටිනවා.
වාග් විද්යාරව හෝ ඉතිහාසය ගැන මට ඇත්තේ නවකයකුගේ දැනුම පමණක් වුනත් ඔබ ඉදිරිපත් කරන කරුණු තර්කානුකුල සහ ශාස්ත්රීයය බව මට වැටහෙනවා.
contd.
August 21, 2010 9:03 PM
සිංහලයාගේ හෝ දමිලයාගේ හෝ නිශ්චිත ඇරඹුම සෙවීම නිෂ්ඵල සහ කල නොහැකි දෙයක් බවට මම සම්පුර්ණයෙන් එකඟ වෙනවා. ඇත්තෙන්ම "මුලින් අවේ කව්ද?" කියන තරඟයට දෙපාර්ශවයෙන්ම ඉදිරිපත් කරන කරුණු නිෂඵල බවය් මට නම් වැටහෙන්නේ.
අපි තමය මුලින් අවේ කියන තර්කය. අපි තමය වැඩිපුර ශිෂ්ට; අපිට තමය් වැඩිපුර බුද්ධිමත්; අපි තමය් ආර්යයෝ; අපි තමය් ශිස්ටචාරය ගොඩනැගුවේ වගේ අපිව උසස් කරගෙන සතුටු වෙන්න පුළුවන් තර්ක කුලකයේ එකක්.
“ඒ අනුව නිජ බිමක් තිබුණා යැයි කලින්ම සිතාගෙන ගොඩනගන තර්ක ද එය බිඳ දැමීම ම ඉලක්ක කරගෙන ගොතන ගෙතීම් ද ඉතිහාසය නොවේ. අනෙක් අතට කිසියම් තැනක 'මනෝ රාජික නිජබිමක්' පිළිබඳ තර්කයන් ගොඩනැගේ නම් එය බිඳ දැමීම කළ හැකි වන්නේ ද ඉතිහාස ක්ර ම වේදයන් පිළිබඳව ද මූලාශ්රතයන් පිළිබඳ ව ද මනා අවබෝධයක් ඇති ඉතිහාස විශය පිළිබඳ පුහුණුවක් ඇති අයටමයි.”
අවාසනාවකට බොහෝවිට සිදුවන්නේ ඒ වෙනුවට තම තමන්ගේ හිතළු ඉදිරපත් කිරීම පමනය්. මේ තර්ක බොහොමයක් පදනම් වන්නේ සත්යටය සෙවීමට ගන්න වැයමක් ලෙස නොවන අතර අපේ කණ්ඩායම අනිත් කණ්ඩායමට වඩා උසස් බව පෙන්වීමට ගන්න උත්සහයක් ලෙස පමනය්.
මේ අදහස් ඉදිරිපත් කිරීම පටන් ගන්නේ එයින් වාසියක් ගන්න පුළුවන් කපටි දේශපාලඥයන්, අවධානයට ආස කරන උගතුන් වගේ අය. උසස් කියල කියවෙන කණ්ඩායමේ අයට මේ අදහස් හරිම ආකෂනීයය්. ඉතින් මේ අදහස් ජනප්රිකය කරවන්න හරිම ලේසිය්. ඒ නිසා එයින් ප්රයයෝජන ගන්න ඉන්න අයට හරි පහසුය්.
contd
August 21, 2010 9:05 PM
මේ ක්රයාවලියේ ඊළඟ පියවර අපේ මේ උසස් විශිෂ්ට කණ්ඩායමට තර්ජනයක් ලෙස අනිත් කණ්ඩායම හඳුන්වදීමය්. මේගැන මගේ Us vs Them ලිපියෙන් මම දීර්ඝ ලෙස විස්තර කලා.
පාසල් පෙළපොත් වලට පවා මේ තහවුරු නොකළ සහ යල් පන ගිය මත ඇතුල් කිරීමෙන් සිදු වන හානිය කොතරම් බරපතලද?
සංවිධානය තමන්ගේ පාලනයක් පවත්වාගෙන යන විට පාසල් වල ළමුන්ට මේ වගේම ඒක ද්රවිය (unipolar) ඉතිහාසයක් ඉගැන්වුවා. ඉතින් ඒ පාසල්වල උගත් ළමුන්ගේ වැටහීම තම කණ්ඩායම (දෙමල) ඉතා උසස් සහ විශිට ජාතිය බවත් පිටස්තර කණ්ඩායම (සිංහල ජාතිය) තමන්ට තර්ජනයක් බවත්. මේ චින්තනයම -වෙනස සිංහල සහ දෙමල යන වචන දෙක වීම කිරීම පමනය්!- දකුණේ පාසල් වල ළමුන් (අපත් ඇතුළුව) අත්වින්දා, අත්විඳිනවා!මේ නිසා සිංහල සහ දෙමල කණ්ඩායම් දෙකේම මිනිසුන් අපමණ දුක වේදනා වින්ද තිබෙනවා.
යථාර්තය වන්නේ ඔබ ඉතා පැහැදිලිව විස්තර කර ඇති පරිදි - ඒක මහා කතාවක් නොමැති බවමය්!
ආකර්ශනීය මත වල වැරදි පෙන්වා දෙමින් පිටස්තරය ලියන ලිපි මම නැවතත් අගය කරනවා!
August 22, 2010 10:28 PM
ඔබගේ මතය මොකක්ද? ඔබ කියන්නේ සිංහලයින් ද්‍රවිඩයන්ගෙන් පැවත එනවද?නැත්නම් මුල් කාලයේ ආර්යන්ගෙන් පැවත ඇවිත් පසුව ද්‍රවිඩ ආදී වෙනත් ජාතින් සමග මිශ්‍ර වෙලා දැන් තියෙන සිංහල ජාතිය හැදුනා කියන එකද?
August 23, 2010 10:53 PM
මගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ ගැටළුවක් නිසා ප්‍රතිචාර දක්වන්න පමා වුණා. හෙට හවස වන විට නිසැකවම නැවත මම ලියනවා. සිදු වූ ප්‍රමාදය ගැන කණගාටුයි.
August 27, 2010 10:47 AM
This comment has been removed by the author.
August 27, 2010 11:01 AM
This comment has been removed by the author.
August 27, 2010 11:07 AM
හැම දනාටම කණගාටුව ප්‍රකාශ කරනවා සිදු වුණු පමාව ගැන. නොහිතූ බාදා කීපයක් නිසා බ්ලොග් එකෙන් ඈත්වෙලා ඉන්න වුණා.
@ජනිත්ච්ක්
ඔයා පෙන්නා දෙන කරුණු එක්ක මම සම්පූරණයෙන්ම එකඟයි. මුලින් ම කව්ද ආවේ කියල හොයන්නෙ ම තමන් අයිති කණ්ඩායම ඔසවා තැබීමේ හංග ගත්ත අරමුණක් සහිතව. තමන් අයිති කණ්ඩායම ඔසවා තැබීම හරහා ඇත්තවශයෙන් ම ඔසවා තබා ගන්නේ තමන්ව මයි. නමුත් ඒක අපිට ප්‍රකටව පේන්නේ නෑ.
" උසස් කියල කියවෙන කණ්ඩායමේ අයට මේ අදහස් හරිම ආකෂනීයය්. ඉතින් මේ අදහස් ජනප්රිකය කරවන්න හරිම ලේසිය්. ඒ නිසා එයින් ප්රයයෝජන ගන්න ඉන්න අයට හරි පහසුය්."
ජනිත, මම මෙතන දී උපුටා දක්වනවා මම ඉතාම ගරු කරන උගතෙකු වූ මහාචාර්ය වල්පොළ රාහුල හාමුදුරුවෝ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස 1981 උපාධි උත්සවය අමතා කළ කතාවෙන් කොටසක්.
"... ඔබ හොදින් නැවත සිතා බැලුවහොත් පෙනේවි පුද්ගලයෙකු අහඹු ලෙස ලෝකයේ කිසියම් තැනක උත්පත්තිය ලබන බව. මිනිසෙකු හෝ ගැහැණියක එසේ ඉපදුණු විට ඒ සමඟ ඔවුන්ට කිසියම් රටක්, ජාතියක්, ආගමක්, දේශපාලන දර්ශනයක් හෝ මතවාදයක්, භාෂාවක්, සමාජ කණ්ඩායමක් හෝ කුලයක් උරුම වේ. අනෙක් ඒවාට වඩා ඒවා හොඳ නිසා ඔවුන් ඒවා තෝරා ගත්තා නොවේ. හුදු අහම්බයක් නිසා තමාට උරුම වූ මේවා පිළිබඳව ඇලෙන ඔහු ඒවා තමාට ඉතාම සුදුසු යයි හැඟුන නිසා තෝරාගත් බවක් අන්‍යන්ට පෙන්වන්නට කටයුතු කරයි. ඔහු ඒවා සමඟ වෙන් කළ නොහැකි ලෙස සම්බන්ධ වන අතර ඒවා තුළ සිය සතුට, විමුක්තිය හා සරණ සොයයි. ඒවා ඉවත් කළ විට කිසිම වටිනාකමක් නැති හිස් බවක්, අසරණ බවක්, ඔහුට දැනේ. ඒ නිසාම ආරක්ෂා වනු පිණිස, ආවරණය වනු පිණිස, වෙනකක් තබා තමා වැදගත් බව හඟවනු පිණිස, ඒවා උත්කෘෂ්ඨත්වයට නංවන්නට ඉහලට ඔසවා තබන්නට, වන්දනා මාන කිරීමට, ඔහු උනන්දු වෙයි. කිසියම් කෙනෙකු සභාවක නැගිට ” මා ශේර්ෂ්ඨයි විශිෂ්ඨයි උතුම්යයි” කියමින් තමන් වර්ණනා කෙරෙයි නම් ඒ පුද්ගලයා නිරනුමානයෙන්ම සභාවේ සාධාරණ උපහාසයට ලක්වනු ඇත. එභෙත් ඔහු තමාගේ ජාතිය, වර්ගය හෝ ආගම උසස් යයි ( එයද තමන් උත්කෘෂ්ඨත්වයට පත් කර ගැනීමේ අනියම් මගකි) කියා සිටින්නේ නම් ජාතිපේ‍්‍රමියෙකු ලෙස හෝ දේශපේ‍්‍රමියෙකු ලෙස හෝ වෙනත් පූජනීය කෙනෙකු ලෙස එම සභාවේ සිටින සිය ජාතියට, ආගමට හෝ වර්ගයට අයත් ජනතාව ගෙන් බුහුමන් ලබනවා ඇත. මෙවැනි දේශකයින්ගේ තම පටු බව හා ලඝු බව දේශපේ‍්‍රමයේ හෝ ජාතිපේ‍්‍රමයේ සළු පිළියෙන් කදිමට වසා ගෙන ඇත."
(උපුටා ගත්තේ බියෝන්ඩ් ෆ්‍රේම් සහෘදයාගේ බ්ලොග් අඩවියෙන් http://beyondframe.wordpress.com/2008/11/27/%E0%B7%80%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD-%E0%B6%BB%E0%B7%8F%E0%B7%84%E0%B7%94%E0%B6%BD-%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9C%E0%B7%9A-%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92/)
ඊලඟට සිද්ධවන දේ තමයි මෙසේ ඔසවා තබාගත් තමා හා තමා අයිති කණ්ඩායම තමන්ට අභියෝගයක් සේ දකින කණ්ඩායමෙන් හරිම වෙනස් කියා කියා පෑම. ද්‍රවිඩයාට ප්‍රතිපක්ෂ 'ආර්යයා' ගැන අදහස මෙතරම් ආකර්ෂණීය වන්නේ මේ නිසයි. 'අපි' 'උන්ගෙන්' වෙනස් කියා කියන්න ඒය කදිම සොයා ගැනීමක්. මෙතන තියෙන ලොකුම විහිළුව තමයි එක වටයක දී තමාගේ 'අනෙකා' ලෙස බටහිර ජාතීන් පෙන්වා දෙන ගමන් ම තවත් වටයක දී තමා ගේ 'අනෙකා' ලෙස නම්කළ යුතු 'දෙමළා' තමාගෙන් තම කණ්ඩායමෙන් වෙන්කොට දැක්වීමට භාවිතා කෙරෙන්නේ මුලින් තමාගේ 'අනෙකා'ලෙස හඳුන්වා දුන් 'බටහිර ජාතීන්'විසින් ගොඩනංවා දුන් සංකල්පයක් ම වීම. මෙහිදී අදාල පුද්ගලයන්ට මෙය විසංවාදයක් ලෙස පෙනෙන්නේ නෑ. ඇත්තටම මේ සංවාදය තුළ තාර්කික පදනම් අවශ්‍ය නෑ. අවශ්‍ය කරන්නේ මොකක් පාවිච්චි කර හෝ අනෙකා තමාගෙන්/ තම කණ්ඩායමෙන් වෙනස් කියා කියා පෑම පමණයි.
තවදුරටත් උතුරු ඉන්දියාවට සම්බන්ධ 'ආර්යයෙකු' ලෙස පෙනී සිටීමට බැරි තරම් සාධක ප්‍රබලව නැගී එනවිට කළ හැකි දේ තමයි 'නෑ අපි උතුරු ඉන්දියානු මානව වර්ගවලට නොව දකුණු ඉන්දියානු මානව වර්ගවලටයි කිට්‍ටු කියා පිළිගැනීම. පෙරමුණේ රාළගේ ලිපියේ මෙය දැකිය හැකියි. නමුත් ඊළඟ පියවරේ දී කරන්නේ 'අපි දකුණු ඉන්දියානුවාට කිට්‍ටුයි කියන එකෙන් අදහස් වන්නේ අපි දෙමළා හැර අන් දකුණු ඉන්දියානුන්ට කිට්‍ටු බව මිස දෙමළාට කිට්‍ටු බව නොවේ යැයි කියා පෑම. වෙනත් ලෙසකට අපි දෙමළාට හැර ලෝකයේ කවර ජාතියකට සහ සම්බන්ධ වුනත් කමක් නෑ. ඒත් දෙමළා ගෙන්නම් වෙනස්ය කියා කියා පෑම. පෙරමුණේ රාළගේ ලිපිය මේ කියන ගොඩට වැටෙන්නේ නෑ කියා පෙන්වීම ඔහුගේ වැඩක්. නමුත් තවමත් ඔහු නිහඬයි.
August 27, 2010 11:09 AM
Cntd.
"මේ ක්රයාවලියේ ඊළඟ පියවර අපේ මේ උසස් විශිෂ්ට කණ්ඩායමට තර්ජනයක් ලෙස අනිත් කණ්ඩායම හඳුන්වදීමය්. මේගැන මගේ Uස් ව්ස් ථෙම් ලිපියෙන් මම දීර්ඝ ලෙස විස්තර කලා"
මේ ඔබේ කියමනත් එක්ක ඉහත ක්‍රියාවලිය හරියටම ගැලපෙනවා. එය දෙපැත්තේ ම වෙසෙන අන්තවාදීන්ගේ ක්‍රියා සමඟ මොනවට ගැලපෙනවා.
ඉතිහාස විශයයේ ක්‍රමවේදයන් සම්බන්ධ පුහුණුවක් නැතිව එම විෂයයට අතගැසීමේ ඇති භයානක කම ගැන ඉදිරියේ දී ලියන්න බලාපොරොත්තු වෙනවා.
-ස්තූතියි ජනිත ඔයාගේ අදහස් වලට
August 27, 2010 4:09 PM
@ chatura
චතුර, ඔබේ ප්‍රශ්නය නිවැරදි නෑ කියල මට කියන්න වෙනවා. ඒ ප්‍රශ්නය වැරදි නම් මොන උත්තරය දුන්නත එය වැරදි වන නිසා.
මම පැහැදිලිවම කියා තිබෙනවා 'ආර්ය' කියා කිසිදු මානව වර්ගයක් හෝ ජන පිරිසක් නොමැති බව. ඒ නිසා ඔබේ ප්‍රශ්නයේ දෙවැනි කොටස එනම් "මුල් කාලයේ ආර්යන්ගෙන් පැවත ඇවිත් පසුව ද්‍රවිඩ ආදී වෙනත් ජාතින් සමග මිශ්‍ර වෙලා දැන් තියෙන සිංහල ජාතිය හැදුනා ද"යන්න නිවැරදි නොවන බව ඔබ පිළිගන්නවා ඇති.
මුල්කොටසින් අසා ඇති ප්‍රශ්නයටත් මම ලිපිය තුල පිළිතුරු දී තිබෙනවා. එනම් ද්‍රවිඩ යනු භාෂා පවුලක් බවත් එකී භාෂාව ගොඩ නැග ඒමට පෙරත් මානවයන් මෙහි ජීවත් වූ බව සහ මානව සංක්‍රමණයන් සිදු වූ බව. ඒ නිසා සිංහලයන් ආරම්භ වී ඇත්තේ ආර්යයන්ගෙන් යැයි කීම කොහොමත් වැරදි වන අතර ඔවුන් ඇති වූයේ ද්‍රවිඩයන්ගෙන් යැයි කීම ද නිවැරදි නොවන බව ඔබට වැටහෙනවා ඇති. උදාහරණයකට ගඟක් ආරම්භවන්නේ කවර තැනකින් ද කියා සෙවීම සඳහා ගඟ දිගේ ඉහලට යන්න. ක්‍රමයෙන් ගඟ පටුවන ආකාරයත් එය කුඩා අතු ගංගා එකතු වීමෙන් ගඟක් බවට පත්ව ඇති බවත් ඔබට වැටහේවි. ඒ කුඩා අතු ගංගා අතුරිනුත් සාපෙක්ෂව විශාල අතු ගංගා දිගේ ඉහලට යන්න අවසානයේ ගඟ ඇති වූ ප්‍රධාන වූ කිසිවක් ඇඟිල්ල දිගුකොට පෙන්වීමට තරම නැති බවත් එය බොහෝ ජල මූලාශ්‍රය වල එකතුවකින් තැනුනක් බවත් ඔබට පෙනේවි.
චතුර, මේ ඔබ සොයා ගත් දේ බුදු දහමින් අපිට කියා දුන්නු දේමයි. එනම් ඇඟිල්ල දිගුකොට පෙන්විය හැකි එක් 'මූල හේතුවක්' නෑ.හේතු සමුදායයක් එකතු වී ඵලයක් උපද්දනවා. එබඳු බොහෝ හේතූන්ගෙන් හටගන්නා ඵල අතර 'සිංහල ජාතියත්' එකක්. ඒ අනුව ම සිංහල ජාතියේ හෝ දෙමළ ජාතියේ ආරම්භයක් හොයන්න බෑ. මේ දිපිරිස ම එකිනෙකාගෙන් එක එක ප්‍රමාණවලට පොෂණය ලබා තිබෙනවා. ආවාහ විවාහ මගින් සම්මිශ්‍රනය වී තිබෙනවා.
බුදුදමින් විවිධ හේතු ගැන කතාකරන චින්තනයක් අපට උගන්වද්දී බුදු දහමේ ආරක්ෂාව (?) ගැන කරදර වෙන අයම ඇයි මෙතරම් එක් මූල හේතුවක් හොයන්න යන්නේ කියා ඔබට ප්‍රශ්නයක් ඇතිවෙනවා නම් එයට පිළිතුර මහාචාර්ය වල්පොළ රාහුල හාමුදුරුවෝ පැහැදිලි කර තිබෙනවා. ඉහත දක්වා ඇති සටහනෙහි මා එය උපුටා දක්වා තිබෙනාවා. ඒ හැර ජනිතගේ මේ ලිපියත් ඒ ප්‍රශ්නයට පිලිතුරු සපයනවා. (http://janithck.wordpress.com/2010/05/21/us-vs-them/)
ඒ පිළිතුරු දෙමළාගෙන් සපුරා වෙන් වූ සිහලයක් ගැන කතා කරන සිංහලයන් සම්බන්ධයෙන් මෙන් ම සිංහලයන්ගෙන් සපුරා වෙන් වූ දෙමළ ජාතියක් ගැන කතා කරන දෙමළ අයගේ චින්තනයට ද අදාලයි.
චතුර මම ආයෙත් ඔයාට ආරාධනා කරනවා ඉතාම සැලකිල්ලෙන් මගේ මුලු ලිපියමත් කොමෙන්ට්ස් ටිකත් කියවන්න කියා. මම ඒ තුළ උත්සාගෙන ඇත්තේ එසේ වූ ආරම්භයක් ගැන කතා කරන අය ඉදිරිපත් කරන අදහස් වල පවත්නා බරපතල විසංවාදයන් පෙන්වාදෙමින් එකී චින්තනයේ ඇති බරපතල වැරැදි පෙන්වා දීමයි.
ජාතියක ආරම්භයක් ගැන සොයන්න බැරි බවත් එසේ තිබියදී යම් යම් දෙනා තමන්ට වාසි දායක වූ ආරම්භයක් ගැන ඉතා දුර්වල සාධක මත පිහිටා කතා කරන බවත් එසේ කතා කරන්නේ කිසියම් සඟවාගත් අභිලාෂයක් ඇතිව බවත් වඩා ලංව බලන විට ඔබට පෙනේවි.
පිළිතුරු ලියන්න පමාවීම ගැන සමාව අයදිනවා.
August 28, 2010 8:40 AM
පිටස්තරයා -2,
මට මේ ලිපිය මග ඇරිලා අද තමා දැක්කේ. කරුණු කාරණා, මූලාශ්‍ර එක්ක තියෙන අගනා ලිපියක්. නොදන්න දේවල් ගොඩක් දැනගත්තා. ස්තූතියි.
August 28, 2010 1:35 PM
පිටස්තරයාණෙනි, උක්ත ලිපිය ලියා ඇත්තේ නිර් - රාමු නම් මගේ අඩවියේ සහූදර ලේකඛයාය. ඔබ මතු කරන කරුණු ගැන මට විශාල දැනුමක් නොමැත. ඔහු මේ දිනවල කාර්ය බහුල වී ඇත. නැවත පැමිණි විගස ඔබට පිළිතුරු දෙනු ඇත.
August 28, 2010 11:24 PM
බ්ලොග් කියවන විට ඉතා කලාතුරකින් ඇස ගැටෙන දුර්ලභ ගනයේ ශාස්ත්‍රීය ලිපියක්.පෙරමුනේ රාල විසින් මතුකරන නිජබිම තහවුරු කිරීමේ කතාවට ඔබ දී ඇති පිලිතුර විශිෂ්ට පිලිතුරක්.විෂය පිලිබද ඔබට යම් අධ්‍යයනයක් පවතින බව පෙනෙන නිසා මේ මාතෘකාවට අදාල නැති වුනත් ලංකාවේ දෙමල ජනාවාසකරනයේ ඉතිහාසය පිලිබද වෙනම ලිපියකින් හෝ කතා කරනවා නම් එය අගෙයි.
August 30, 2010 4:56 PM
@ තරිඳු
ස්තූතියි තරිඳු අගය කිරීමට.
@ peramunerala
මම 'සිහළුන්ගේ මුල කොතැන ද?' ලිපිය ලියා ඇත්තේ No Farame බව දැන හිටියේ නෑ. ඔබ විසින් නොලියූ ලිපියක් ඔබ විසින් ලියූ ලිපියක් ලෙස දෙතුන් අවස්ථාවක දීම සඳහන් කිරීමෙන් ඔබට සිදු වූ අපහසුව ගැන මාගේ බලවත් කණගාටුව මෙයින් ප්‍රකාෂ කර සිටිනවා.
@ Ramachandra
ස්තූතියි රාමචන්ද්‍ර. ඔබ කියා ඇති මාතෘකාව ගැන කතා කිරීමේ දී මතුවන ප්‍රධාන ප්‍රශ්නය මූලාශ්‍රය හිගකම. මූලාශ්‍රයවලින් හෙළිවන ප්‍රමාණය ට සීමාවෙමිනුයි අපට මේ මාතෘකාව ගැන කතා කළ හැක්කේ.
August 31, 2010 10:55 AM
මාගේ ලිපියට නෝ ෆ්‍රේම් සහෘදයා පිළිතුරු ලිපියක් ලියා තිබෙනවා. එහි ලිපිනය:
http://peramunerala.wordpress.com/2010/08/28
Post a Comment