'පිටස්තරයා' සහ පිටස්තරයාගේ 'ලොකය්යා'
දවසක් නවාතැනට යනකොට පිටස්තරයට ගෙදරින් හදිසි පණිවිඩයක් ඇවිත් තිබුන.
"හදිස්සියක් කියල වහාම එන්න කිව්ව" නවාතැනේ මාම පණිවිඩේ කිව්වා.
මේ වෙනකොට පිටස්තරය හිටියෙ විශ්වවිද්යාලේ දෙවෙනි වසරෙ ඉගෙන ගනිමින්. පහුවදා පාන්දර කොළඹින් අම්පාරට යන බස් එකෙන් පිටස්තරය ගෙදර යන්න පිටත් උනා. බස් එකෙන් බහිනකොට හවස 5 ට ඇති. ඉතිරි කි. මී. 5 පුරුදු විදියට පයින් ම යන්න පටන් ගත්ත.
ගමේ මිනිස්සු පිටස්තරය දැක්කම ප්‍රතිචාර දැක්කුවෙ වෙනදට වඩා වෙනස් විදියකට. සමහරු ඔහු දැක්කම හුනස්නෙන් නැගිට්ට. සමහරු නොදැනීම වගේ අඩි කීපයක් ඉදිරියට ආවා. හැමෝම ඔහුට ඉතාම කරුණාවෙන් වචනයක් හෝ කතා කළා.
"පුතේ"
"නැන්දේ... ගෙදරින් එන්න කියල පණිවිඩයක් එවල තිබුන"
"හොඳයි පුතේ, ඉක්මණින් යන්න"
'ඇයි ඉක්මණින් යන්න කියන්නෙ' පිටස්තරය කල්පනා කළා.
තව ටික දුරක් යනකොට පිටස්තරය දැක්ක පාර අයිනේ යමක් කරමින් හිටිය ගමේ තරුණ යාළුවෝ පිරිස.
"කොහොම ද?" පිටස්තරය ඇහුව.
ඒත් කවුරුවත් උත්තර දුන්නේ නෑ. ඒ වෙනුවට හැම දෙනාම හෙමිහෙමින් පිටස්තරය ළඟට ආවා. මඳ අඳුරෙ වුණත් ඔවුන්ගෙ මුහුණුවල ඇති ශෝකී පෙනුම පිටස්තරය දැක්කා. ඔවුන්ගේ අත්වල යමක් තිබුනා.
"සුදුකොඩි...!"
'හදිස්සියක් කියල වහාම එන්න කිව්ව'... 'ගමේ අයගෙ කරුණාව...' යාලුවන්ගේ ශෝකී මූණු...' 'සුදුකොඩි...'
පෙර දා හවස නවාතැනට පැමින මුහුණ සෝදන අතර යාන්තමින් ඇසුනු රූපවාහිනී ප්‍රවෘත්තියක් එකවරම පිටස්තරයාගේ සිහියට ආවා.
'අද උදෑසන මාර්ග සෝදිසියක නියැලී සිටි භටපිරිසක් වෙත එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයකින් මහඔය පොලිස් ස්ථානයට අයත් පොලිස් භටයින් 13 දෙනෙකු සහ පුලුකුණාව ගුවන් හමුදා කඳවුරට අයත් ගුවන් භටයින් 10 දෙනෙකු මියගොස් ඇත'.
'' ලොකය්ය....."
එකවරම පිටස්තරයාගේ මුවින් පිටවුනා.
කලින් කතාකරගත්තාක් මෙන් තරුණ පිරිස පාවෙමින් මෙන් නිවස දෙසට යන පිටස්තරයා සමඟ කිසිත් නොදොඩාම ගමන් කරන්න පටන් ගත්ත.
එක අතකින් සීට් එක කිහිලිගන්නගෙන අනිත් අතින් හැඬල් ඒක අල්ලගෙන බාර් ඒකට යටින් කකුල දමා බය්සිකල් පදින්න පුරුදුවෙන පිටස්තරයා පිටිපස්සෙන් දුවගෙන එන ලොකය්යගේ කටහඬ...
"... පදිනකොට ඉස්සරහ රෝදේ දිහා බලාගෙන යන්න එපා. පාර දිහා බලන්න"
"මගේ උසේ හැටියට පේන්නෙ රෝදෙ තමයි... හ්ම්"
පොඩිකාලෙත් පිටස්තරය පණ්ඩිතයි.
ලොකය්ය හිනාවුනා.
පිටස්තරය පහේ ශිෂ්යත්ව විභාගෙට සූදාන්ම් වෙන කාලේ වෙනකොට ලොකය්ය හිටියෙ ගෙදර නෙවෙයි. නෑදැ ගෙදරක නතරවෙලා උහන මහාවිද්යාලයේ උසස්පෙළ හදාරමින්. මේ අතර පිටස්තරයගෙ නමට තැපෑලෙන් පොතක් ආවා. දවස් ගාණක් යනතුරු පිටස්තරය කළේ පොතේ සුවඳ බලන එක. ඒකෙ පිටකවරයේ ලියැවිලා තිබුණු දේවල් තවමත් පිටස්තරයට මතකයි.
'5 ශිෂ්යත්ව අත්වැළ, ලස්සන ප්‍රකාශකයෝ, වැල්ලම්පිටිය, මිළ රු. 15යි'
"මේං මගේ සිස්සත්තෙ පොත.." "ලොකය්ය එව්වේ..." "තැපෑලෙන්..."
පිටස්තරය ඒක හැමෝටම පෙන්නුව.
ලොකය්ය උසස් පෙළ සමත් උනත් විශ්වවිද්යාලේ යන්න තරම් ලකුණු තිබුනෙ නෑ. ඒ ගැන ලොකය්යාගෙන් ඇහුවම එයා කිව්වේ "උගන්නන්න ගුරුවරු හිටියේ නෑ බං. දුස්කර සේවෙට කියල පත්කරල එවන ගුරුවරු කොහොම හරි ඉක්මණින් මාරුවක් හදාගෙන ගම්වලට යනවා. සමහර විශය කොටස් කරන්න ගුරුවරු හිටියෙම නෑ" කියායි.
ඒත් පිටස්තරයගෙ ගමේ උසස් පෙළ ඉගෙනගත් අය වුනත් හිටියෙ ටික දෙනයි. ලොකය්ය රස්සාවලට ගොඩාක් ඉල්ලුම් පත්තර දැම්ම. ඒත් ඒකක්වත් හරිගියෙ නෑ. වාණිජ විශයයන් හදාරල තිබුනු ලොකය්ය ගමේ ඉස්කොලෙ අවුරුද්දක්ම ස්වේච්ඡා ගුරුවරයෙක් හැටියට වැඩ කළා. ස්වේච්ඡා ගුරුවරුන් ඉස්ථිර කරනව කියන ආරචිය ආ දවසේ ලොකය්ය හිටියෙ හරි සංතොසෙන්. ඒත් ඒ තණතුරට පත්වුනේ කිසිදාක ස්වේච්ඡා ගුරුවරයෙක් හැටියට අපේ ඉස්කෝලෙ වැඩ නොකරපු අමුත්තෙක්.
"ඒකා මන්ත්රී තුමාගෙ එකෙක්ලු"
ගමේ සමහරු කිව්ව.
"නෑ.. ඔව්වා බොරු කතා. එතුමා ඔව්වා දන්නෙ වත් නෑ. විදුහල්පතියා පගාවක් අරගෙනලු ඔය වැඩේ කරල තියෙන්නේ..."
මන්ත්‍රීතුමාගේ පක්ෂෙ මොනිස්සු කිව්වා.
ලොකය්යා හමුදාවෙ රස්සාවට ගිය දවස තාම පිටස්තරයට මතකයි.
"දේසපාලකයගේ ලියුමක් නැතුව අපිට යන්න පුලුවන් එකම රස්සාව මෙච්චරනෙ බං"
"ප්‍රභාකරන්ට පිංසිද්දවෙන්න ඕන අපිට එහෙම චාන්ස් එකක් අරං දුන්නට"
පිටස්තරයගෙ ඔලුව අතගාමින් ලොකය්ය එහෙම කිව්වා.
උසස්පෙළ පළමු වසරෙ ඉගෙනගන්න කාලෙ දවසක් පිටස්තරය ලොකය්ය බලන්න කඳවුරට ගියා.
"ලොකය්යේ, මම හිතාගෙන ඉන්නෙ එක අවුරුද්දෙන් උසස්පෙළ ලියන්න ප්‍රයිවෙට් දාලා"
"පුලුවන් ද ඒක කරන්න?"
"ඔව්, පුලුවන්" පිටස්තරය ස්ථිර ලෙස කිව්ව.
"මට රුපියල් එකසිය අසූවක් දෙන්න"
"ඇය් එකසිය අසූවක්?"
"විභාග ගාස්තුව එකසිය අසූවයි"
පිටස්තරයට ඕන කළේ ලොකය්යට සැල්කිල්ලක් හැටියට විභාග ගාස්තුව එයාගෙන් ගන්න.
ඊට වැඩියෙන් සල්ලි දෙන්න හැදුවත් පිටස්තරයා ගත්තේ හරියටම රුපියල් එකසිය අසූවයි.
විභාග ප්‍රතිඵල ආ දා ලොකය්ය ඇඬුව ටෙලිපෝන් එකෙන්.
"මම දැනගෙන හිටිය උඹ කාටවත් ඔලුව පාත්කරන්න වෙන්නෙ නැති තැනකට එනව කියල"
"හා එහෙනං... කවුරුත් නමස්කාරෙ කියමු පංසිල් සමාදන් වෙන්න"
ලොකු හාමුදුරුවන්ගෙ හඬින් පිටස්තරය කල්පනා ලොකෙන් අවදි උනා.
උන්වහන්සේ ලොකය්යා ආදර්ශමත් තරුණයෙක් හැටියටත් දහම් පාසැලේ කලක් සේවය කළ ගුරුවරයෙක් හැටියටත් තම අනුසාසනාවේ දී අගය කළා. උන්වහන්සෙ ලොකය්යා ගමේ කොල්ලන් එක්ක එකතුවී පංසල් වත්තේ කුරුම්බා බී අසුවූ අවස්ථා ගැන සඳහන් නොකිරීම ගැන පිටස්තරයා ලොකුහාමුදුරුවන්ට හිතින් ඉස්තුති කළා.
ඊළඟ අනුසාසනාව පැවරුනේ 'දේසප්රේමී සිංහල භික්ෂු' සංවිධානයක ප්රාදෙසීය සංවිධායක භික්ෂූන් වහන්සේ කෙනෙකුට. පටන්ගැන්මේ සිටම වේගවත් දේසනාවක් කළ උන්වහන්සේ බටහිර බලවේග මේ රට බෙදීමට කුමන්ත්රණය කරන බවත් එසේ බෙදීමට උත්සාහ කරන්නේ රට දුරුවල කොට ඔවුන්ගේ වුවමනාවන් ඉටුකරගැනීමට බවත් දේසනා කළා.. ඒ නිසා දිවිහිමියෙන් ඒකීය රාජ්ජය රැකගතයුතු බව උන්වහන්සෙ තව දුරටත් වදාලා.
පැදුරේ ඇණතියගෙන හිටි පිටස්තරයාට මේ බන තේරුනේ නෑ.
"රට බෙදන්නෙ නැතිව කරගන්න බැරි මොන වැඩේ කරගන්නද ඒ අය රට බෙදන්න හදන්නෙ? නෑ මං අහන්නේ බහුජාතික සමාගම් ඇවිල්ල මේ රටේ මොනවද අය්තිකරගෙන නැත්තෙ? ඒව කළේ රට බෙදලයැ? ගාණක් දුන්න වැඩේ කරගත්ත. අනෙක් අතට එක තැනකින් රට පාලනය වෙනකොට මුලු රටේම සම්පත් ගැන ඩීල් එක කතා කරන්න ඕන සෙන්ට්රල් පාලනයත් එක්ක විතරයි. බෙදුවම රීජනල් පාලකයන්ටත් දොලපිදේනි දෙන්න ඕන නේ. එතකොට වැඩේ අමාරුවෙන්නෙ ඔය කියන බටහිර ජාතීන්ට ම නේ. ඇයි ඉතින් වැඩේ අමාරු කරගන්නේ මෙච්චර ලේසියට කරගන්න පුළුවන්කම තියෙද්දි..?"
පිටස්තරය දස අතේ කල්පනා කළා.
"පිංවතුනි, මේ තරුණ මහතා අපි ඔබ වගේම හොඳින් ජීවත් වෙන්න පුලුවන්කම තියෙද්දි තමන්ගේ වටිනා තරුණ ජීවිතය රට දැය බුද්ධාගම බේරා ගැනීම සඳහා පූජා කළා".
මුන්වහන්සෙට අමු කැවිල ද කොහෙද? ලොකය්ය ට්‍රයි කරපු එක රස්සාවක් හරි ඒකට ලැබුන නම් ඒකා තාමත් අපි අතර ජීවත් වෙනව. නොදන්න දේවල් කතා නොකර හිටියනම් ඉවරය්නෙ'. පිටස්තරය කල්පනා කළා.
අනෙක් අතට ස්වේච්ඡා ගුරුපත්වීම ඒකට ලැබුන නම් කොච්චර සතුටින් ඒකා ජීවත් වෙන්න තිබුණ ද? ඒ රස්සාවට ඒකා කොච්චර ආස කළාද? කතා කරනව නම් ඒ වෙච්ච අසාදාරනේ නෙව කියණ්ඩ ඕන. බැරිනම් කටපියාගෙන ඉන්ඩ ඕන.
අනික යුද්ධ කරල කොහොම ද බුද්ධාගම බේරගන්නේ? යුද්දෙ ඇතිවෙනකොට ම බුද්ධාගම ඉවරනෙ. බුද්ධාගම බේරගන්න නං කරන්න ඕන යුද්ද ඇතිවෙන එක වළක්වන එකයි. ඒවට පෝර දාන එක නෙවෙයි.
පිටස්තරයගේ ලේ රත්වෙන්න ගත්ත.
"පිංවත් අපි සියලුදෙනා ම හිතට ගන්න ඕන මේක සිංහලයන්ගෙ රට, විජය කුමාරයගෙ ඉඳල අද දක්වා ම මේක අය්ති සිංහලයන්ට"
එතකොට උපතින් ම දෙමළ ගෑනියෙක් වෙච්ච මගේ ආච්චි අම්මගෙ රට මොකක් ද? * දකුණු ඉන්දියාව ද? අනික ඔයකියන විජය කුවේණිව එළවලා ඊළඟට බැන්දෙ මදුරාපුරෙන් ගෙන්නගත්තු දෙමළ ගෑනියක්ලු නේ. ඒ වැඩේට විතර ද දෙමළු හොඳ?
බුදුහාමුදුරුවො හාමුදුරුවරුන්ට කිව්වෙ එකපාරෙ දෙන්නෙක් නොගොහින් පොදුමිනිසුන්ගේ යහපතට ක්‍රියාරන්න කියල නේ. එකජාතියකට සේවය කරන්න කියල බුදුහාමුදුරුවො කිව්ව ද? එහෙව් එකේ හාමුදුරුවො කොහොමද සිංහල ජාතිය වෙනුවෙන් විතරක් පෙනී හිටින්නෙ?
අනෙක ඒකීය රාජ්ජයයි බුද්ධාගමය් අතර තියෙන සම්බන්දෙ මොකක් ද? ඒකීය රාජ්ජෙ නැතිව බුද්ධාගම පවතින්නෙ නැත්නම් බුද්ද කාලෙම ඒක විනාස වෙන්න තිබුනා නේ.
ලොකය්යට අපහාසයක් වෙන නිසා මම ඉවසනව. නැත්නම් කියල දෙනව උන්දැට..
“පිංවතුනි, දුටුගැමුණු රජ්ජුරුවන්ගේ කාලේ ඉඳල අපේ ජාතිය ආගම රැකුනේ මෙවන් වීර යෝධ පුතුන්ගේ ලෙයින්. අපි මේ තරුණ මහතා නැවත නැවතත් අප අතර ඉපදේවා, එසේ ඉපිද දස මහ යෝදයෙකු සේ රට ජතිය බුද්දාගම අරක්ෂා කොට අවසාන්යේ මයිත්‍රී බුදුන් දැක නිවන් දකීවා කියලා සාදු කියල ප්‍රාර්ථනා කරමු."
පිටස්තරයගෙ රතුකට්ට පැන්න.
"යකෝ මේ පරය කියන්නෙ මගේ ලොකය්ය ඉපදෙන හැම ආත්මෙම මේ පාහරයො වෙනුවෙන් අකාලෙ මැරෙන්න ඕන කියලනෙ."
නැගී සිටි පිටස්තරයා ලොකය්යාගේ මිනිය වළදැමීමට සූදානම් කරතිබූ සොහොන් කණත්ත දිහාට වේගයෙන් ගමන් කළා.
තැන තැන බුලත්විට හපමින් ද නොයෙක් ඕපාදූප කතා කරමින් ද ගෙමිදුලේ ඇන තියගෙන හුන් ගැමියන් මොකකට දෝ එකවරම සාදු නාදයක් පැවැත්තුවා.
ලොකය්යාවෙනුවෙන් වෙන් වූ වළෙහි පතුළ දෙස බොඳ වූ දෑසින් බලා සිටි පිටස්තරයාට දුරුවල හඬකින් මෙහෙම කියනවා ඇහුනා.
"රෝදේ දිහා බලාගෙන යන්න එපා. පාර දිහා බලාගෙන යන්න..."
එතෙක් ආයාසයෙන් හිරකරගෙන හිටි බැමි බිඳගෙන වේදනාව දෝරේ ගලා ගියා.
අලුත් වළෙන් ගොඩ දැමූ පස්මත පිටස්තරයා දනින් වැටුනා.
(මේ ලිපිය කවදා කියෙව්වත් කමක් නෑ. පළ කරල තියෙන දිනය ගැන නොසලකා ඔබට යමක් ලියන්න හිතෙනවානම් ලියන්න. මෙතැන් සිට මා ගොඩනැගීමට උත්සාහ කරන සංවාදයෙහි න්යායික හා තාර්කික පදනම පිහිටා ඇත්තේ මේ ලිපියේයි).
* 'පිටස්තරයාගේ ආගමනය' ලිපිය කියවන්න


28 Comments
March 16, 2010 9:55 AM
ඇඩෙනව සහෝදරයා.........
"විභාග ගාස්තුව එකසිය අසූවයි"
පිටස්තරයට ඕන කළේ ලොකය්යට සැල්කිල්ලක් හැටියට විභාග ගාස්තුව එයාගෙන් ගන්න.
ඊට වැඩියෙන් සල්ලි දෙන්න හැදුවත් පිටස්තරයා ගත්තේ හරියටම රුපියල් එකසිය අසූවයි.
මම මේ ටිකට හරිම කැමතියි
"රෝදේ දිහා බලාගෙන යන්න එපා. පාර දිහා බලාගෙන යන්න..." අපි හැමදාම රෝදෙ දිහා විතරයි බලාගෙන යන්නෙ
March 16, 2010 12:00 PM
film එකක් වගේ. ලස්සනට කතාව පෙලගස්සල තියෙනව. keep it up මචං
March 16, 2010 4:16 PM
ස්තූතියි දෙන්නටම, මේක මගේ කතාව උනත් මේක අපි වැඩි දෙනෙකු ගේ කතාව හැටියටයි මම දකින්නෙ. මම උත්සාහ කරන්නෙ අපි වටේ සිදුවෙන දේවල් මාධ්ය හරහා අපිට හිතන්න කියල කියා දෙන ක්‍රමයට ම පිලිනොගෙන ඇත්තට ම සිදුවන විදිහ දකින්න. ඔයාලගේ කොමෙන්ට්ස් මට ශක්තියක්.. :)
March 16, 2010 6:29 PM
ඇස් දෙකට කඳුලක් නැගෙන ලිපියක් දකින්න ලැබෙන්නෙ බොහොම කලාතුරකින් පිටස්තරයෝ. ඇත්ත හෝ නැතා මිනිස්සුන්ට නැවතිලා ආපහු හිතන්න පුලුවන් විදියේ ලිපියක් ලියන්න පුලුවන්නම් අපි සාර්ථකයි. ඔබේ මේ ලිපිය ඒ වගේ සාර්ථක එකක්,
March 16, 2010 8:43 PM
මේ අත්දෑකීම දුකක් උනත්, උඹේ ලොක්කයියගේ වචන අමතක කරන්න එපා....
"මම දැන්ගෙන හිටිය උඹ කාටවත් ඔලුව පාත්කරන්න වෙන්නෙ නැති තැනකට එනව කියල"
March 16, 2010 9:13 PM
සංතෝසයි තරිඳු, ඔයා මගේ බ්ලොග් එකට ආ එකට. ඇත්ත, මමම කියන එක හරි නෑ මම කියන දේ ඇත්ත කියල. ඒත් මම අදහස් කරන්නේ මතු තලයේ ප්‍රසිද්ධියේ කියන දේත් සත්යවශයෙන් සිදුවෙන දේත් අතර තියෙන බරපතල වෙනස. අපි හිතන්න ඕන කොය්විදිහට ද කියල තීරණය කරන අය ලොකුකතාවක් හැම තැනදිම කියනවා. ටිකක් කල්යනකොට අපිත් ඒකම කියන්නගන්නව හරියට ඒක අපේ අදහසක් වගේ. එක සහෝදරියක් කවියක ලියා තිබුනා 'පොඩිහාමුදුරුවො බිම බලාගෙන බවුන්වඩනවද, නිවන් යන්න පාර හොයනවද වගේ දේවල්. මේ අදහස් ඒ සහොදරීට උඩින් දාපු
March 16, 2010 9:32 PM
දේවල්. ඒත් ඒ සහොදරී හිතන්නේ එයාගෙම අදහසක් ලියනව කියල. ඇත්ත තත්වෙ දන්න ඔයා වලංකඩේට පැන්න ....... [ :) ] වගේ ඔයාගේ බ්ලොග් එකේ ලියනව ' සහොදරී, පොඩිහාමුදුරුවො ඒ කරන්නේ තමන්ට අහිමි කරපු ළමා ලෝකය ගැන ළතැවෙන එක මිස බවුන් වඩන එක නෙවෙයි කියල. මේකය් මම අදහස් කරන සත්යය. ඔයා පොඩිහාමුදුරුවන්ගේ ජීවිතේ ඇතුළින් දකිනව වගේ 'පිටස්තරය' 'ලොකය්යගේ' ජීවිතේ ඇතුළෙන් දකිනව. 'ලොකය්යට' උ/පෙ හොඳට පාස් කරන්න බැරි උනෙ එයා අදස්ස නිසා නෙවෙයි. උගන්නන්න ගුරුවරු අඩුකම නිසා. එයාට වුනු හැම අසාදාරණයක්ම වහල දානව 'දෙමළව' පෙන්නල. එහෙම නැත්නම් අපිට කිසිසම්බන්දයක් නැති අතීත කතාවක් කියල. තරිඳු.., මේ ලියපු කතාවෙ චරිත ඇත්ත ඒව.
March 16, 2010 9:39 PM
තෑන්ක්ස් Hash, අවසන් හුස්ම ටික පිටකරනකම් මං ඒ වෙනුවෙන් පෙනී ඉන්නව.
March 17, 2010 4:17 PM
මේ බ්ලොග් එකමුල් වරට කියෙව්වෙ අද.
මා සෑහෙන කලක් න්‍යායාත්මකව කතා කළ දෑ මේ සහෝදරයා අතිශය ලගන්නා සුළු බසකින් ඉදිරිපත් කර තිබීම සතුටින් අගය කරනවා.
පොළොවේ හැපී යථාර්තය තේරුම් ගත් ඔබ වැන්නෙකු ගැන මට ඇතිවන්නේ ආඩම්බරයක්.
gtalk ID - bumuthurunu
ශාන් - බුමුතුරුණු
March 17, 2010 4:19 PM
කලාතුරෙකින් ඇස ගැටෙන ආකාරයේ ඉතාම සංවේදී අර්ථවත් පෝස්ටයක්. පුද්ගලික අත්දැකීම පොදු අත්දැකීමක් කර ඇති ආකාරය අපූරුයි.
මානිවත්ත අභික්ඛම්ම...නොනැවත ඉදිරියට යන්න.
රෝදේ දිහා බලාගෙන යන්න එපා. පාර දිහා බලාගෙන යන්න...
March 18, 2010 5:00 AM
ස්තූතිය් සහොදරවරු දෙන්නටම. මම ඊළඟ පෝස්ට් එකට සහොදරවරුන්ගේ අදහස් එකතු කරන්නම්. මට දැනුනු දේ ඒ ලෙස ම දැනුනු තවත් අය හමු උනාම් සතුටුයි. මම හිතනවා එහෙම අය තැන තැන තනිවෙලා ඉන්නවා. ඒ අයට හඬක් නෑ.
March 18, 2010 11:22 AM
ane . . meka mama ada baluwe. . . mage as walin kandulu ena eka natara kara ganna baha pitastarayo . . mama dan inne office eke. . .shih . . ay mama meka adama baluwe. . ituru tika passe welawaka balanawa. ..
March 18, 2010 12:31 PM
සංවේදී සටහනක්.
මේ 'ලොක්කයියා' ගේ කතාව පමණක්ම නෙමෙයි. මේක තමයි 'රණවිරුවන්' නමින් ලේබල් කොට විකුණනු ලැබූ ජීවිත වල බහුතර ඇත්ත. යුද්දය සහ එයට ගොදුරුවීම අනිවාර්ය්‍යක් බවට පත්කල යුගයක ගරු ගාම්භීර ලෙස පෙනෙන නුමුත් ඇතුලතින් හිස් මතවාද හරහා වසා දැමුනු යතාර්තය තමයි මේ.
තව දෙයක්, මේ ලියපු සටහනම මීට අවුරුද්දකට පෙර ලිව්ව නම් ලැබෙන ප්‍රතිචාර මොනවා වෙන්න තිබුනද??
--
>රෝදේ දිහා බලාගෙන යන්න එපා. පාර දිහා බලාගෙන යන්න...<
like it.
March 18, 2010 6:23 PM
ඉස්තූතියි දුකාට සහ කසුන්ට. මේ අදහස් නොයෙක් තැන මම කතාකළා ලැබෙන හැම අවස්තාවකම. ඒ හින්ද මට හොඳ ඔලුවක් හා පපුවක් ඇති යාලුවො ප්‍රමාණයකුත් ලැබුණා. ඒත් නැගල යන කතාබවට පත් වුනේ ලොකය්යාගේ මළගෙදර කතාකළ දේසප්‍රේමී භික්ෂුවගෙ ජාතියෙ කතා. අන්තිමට මම නිහඬවෙලා හිටියා කතාකරල වැඩක් නෑ කියලා හිතලා. මේ අතරෙයි එකයාලුවෙක් මට බ්ලොග් එක අඳුන්නලා දීලා හිතේ තියාගෙන ඉන්න ඒවා ලියන්න කිව්වේ. කොහේ හරි ඉන්න මේව තේරෙන මිනිස්සු ඒවා කියවාවි කියල. ඒක නොවෙන්න මට දුකාව වත් කසුන්ව වත් අනිත් හමුවුනු අයවත් මුනගැහෙන්නේ නෑ.
March 18, 2010 10:37 PM
හැඟීම් වලින් සත්‍යය යටපත් කරන්නට බැහැ. ලොක්කයියා ගේ මරණය හරහා බලය බෙදන්නට ඕනෑය, මේක අප හැමගේම රටය යන කරුන මතු කිරීමට උත්සාහ කරනවා. නමුත් ඔය කරුණු වලින් කතා කළ හැක්කේ ඔය කරුණු පිළි ගන්න අයෙක් සමග පමණයි. මම පදවිය නගරේ ඉපදිච්ච කෙනෙක්. අපව මරන්නට ආපු කොටි, හා උන්ව සාධාරණීකරණය කල දේශපාලන කොටින්ට අපි මූණ දුන්නේ ඔය වගේ දේශප්‍රේමි හාමුදුරු වරු හින්ද තමයි. මම වයස 10 දී පදවියෙන් පිට වුනා අපට ගිණි බින්දිද්දී අපි හැංග්ණ්නේ ඔය දේශප්‍රේමී හමුදුරුවන්ගෙ පන්සලේම තමයි. මම එහෙම ගෙවුවේ වසර 10යි. ඒත් හාමුදුරුවෝ අවුරුදු 30ක් කොටි උණ්ඩ එක්ක හැංගි මුත්තන් කලා. එහෙම එකෙනෙක් "මේ සිංහල අපගෙ රටයි" කියන කොට ඉහ මොළ රත් වෙන එකෙක් ඉන්නවා නම් ඌ මහම මූසලයෙක් කියල මට නම් හිතෙන්නෙ. ඔබතුමාලා විශ්ව විද්‍යාලෙ අකුරු කරද්දි ඔබතුමාලගෙ පවුල් රැක ගත්තෙ හාමුදුරුවො විශ්වාස කරලා ගමේ නතර වුනු මිනිස්සුම තමයි.
බලය බෙදපු දවසක ඔය සහෝදර දෙමළ ජාතිකයෝම තමන්ගේ මහ එවුන්ගේ කීම් අසා ගෙන පිටස්තරයාගේ පවුල පන්නා දමන විදිය පිටස්තරයාට තේරෙන්නේ නැත. බලය බෙදන්නට ඕනේ මිනිස්සුන්ටය. සිංහලයන් ගම්බිම් වලින් එළවන්න හදන දෙමළ දේසපාලුවන්ට නම් නෙවෙයි. මම කියන්නේ බොරු වගේ නම් පකිස්තානෙයි ඉන්දියාවයි බෙදුවම වෙච්ච වාර්ගික සුද්ධ කිරීම ගැන පොතක් කියවල බලන්න. පිටස්තරයට ඔදැනෙන්න ඒත් ඊසාන දිග ලංකාවේ රළු පොළොව එක්ක හැපිච්ච, මහවැලි පිටාර තැන්නේ ගංවතුර එක්ක හැප්පිච්ච, කැලෑ උණ ජය ගත්ත කෙනෙක් විදියට මට නම් ඒක තේරෙනවා.
March 20, 2010 2:04 PM
>ලොක්කයියා ගේ මරණය හරහා බලය බෙදන්නට ඕනෑය, මේක අප හැමගේම රටය යන කරුන මතු කිරීමට උත්සාහ කරනවා.<--No Frames
පිටස්තරයාගෙ සටහන මම නැවත නැවත කියෙව්වත්, මෙතැන 'බලය බෙදීමක්' ගැන කතාකෙරෙන්නේ කොතැනද කියල හොයාගන්න බැරි උනා. මානූෂික කතන්දරයක්, ඔලුවේ තිබෙන හීනමානී අදහස් වලට සාපේක්ෂව ගලපා බලන්නෙකුට මිස මෙම සටහන බලය බෙදීමක් ගැන කෙරෙන සටහනක් ලෙස වටහාගන්න හැකි වෙන්නේ නැහැ.
අනික, මේ රට, මෙහි ජීවත් වන 'අප හැමගේම රටය' කියන දේ අමුතුවෙන් මතුකරන්න තරම් දෙයක් නෙමෙයි. සත්‍යය එයම නිසා. බලලෝභි දේශපාලනයේ සහ උම්මත්තම මානසික ව්‍යාධීන්ගෙන් පෙලුනු/පෙලෙන මිනිසුන් විසින් වපුරපු දේවල් නිසා දශක ගණන් තිස්සේ එකිනෙකා ලේ හලාගත්තා, ඒත් අවසානයේ තවමත් ඉතිරිව සිටින්නන් පවා සිදුවූ දේ පිළිබඳව දකින්න උත්සහ කරන්නේ එකිනෙකාට පෞද්ගලික වෙන පටු සීමාවන් වල ඉඳගෙන නම් අනාගතය තව දුරටත් අඳුරු වීම අනිවාර්ය්‍යක්. අනෙකා වටහාගැනීමේ උවමනාවක් නැති, යථාර්ථයට වඩා-බුද්ධියට වඩා පටු හැඟීම් වලට ඉඩදෙන මිනිස්සු අහිනක් අතර 'ලොක්කයියා' හෝ යුද්ධය විසින් මරාදැමුණු දසදහස් ගණන් ජීවිත වලට සාධාරණයක් ඉටුවෙන එකක් නැහැ. මේ හැම එකාටම මරන්න මිස ජීවත්කරවන්න අවශ්‍යතාවයක් නැහැ.
හැමදේටම වඩා, -බලය, ආගම-ජාතිය, කුලය මේ ආදි හැමදෙයකටම- වඩා ප්‍රාතමිකම දේ වෙන්නෙ මනුෂ්‍යත්වය. මිනිස්සු ඒක වටහා නොගන්නා තාක්, මේ දේවල් වල වෙනසක් බලාපොරොත්තු වෙන්න බැහැ.
--
"මේ සිංහල අපගෙ රටයි" කියන යෙදුම "මේ සිංහල අපගෙ (පමණක්) රටයි" ලෙස කියැවෙන ඕනෑම සන්දර්භයක් තුලදී මම ඔය කියන 'මහම මහ මූසලයා' වෙන්න හරි කැමැත්තෙන් ඉදිරිපත් වෙනවා.
'හැඟීම් වලට සත්‍ය යටපත් කරන්න බැහැ' ඒ වගේම සත්‍ය කියන්නේ මතුපිට හැඟීම් වලින් විතරක් වටහාගන්න පුලුවන් දෙයකුත් නොවේය කියන දේත් තේරුම් ගන්න පුලුවන් නම් වැදගත්.
March 20, 2010 5:34 PM
ඉස්තුතියි කසුන්, මගේ පුද්ගලික අත්දැකීම පිලිබ්ඳ කතාව තමන් විසින් වාසිය සඳහා පවත්වාගෙන යන 'මහකතාවට' අභියෝගයක් උනාම මාව මරා දමන්නට ජාතිවාදීනට ඕන. මිනිහෙක් මැරුවොත් ඒක ප්‍රශ්නයක් වෙනව. ඒනිසා මුලින් කළ යුත්තේ ලේබලයක් ඇලවීමයි. ඊට පස්සේ ඒක කවුරුත් ගනන් ගන්නේ නෑ. ඒ ලේබල් තමයි, 'ද්‍රෝහියා', 'රටපාවාදෙන්න', 'රටකඩන්න හදන එකා', 'සිංහල කොටියා', 'ත්‍රස්තවාදියා' වැනි දේ. ලොක්කය්යාගේ කතාව තුලින් ඔබලා අතර යුද්දය සම්බන්ධයෙන් මවා ඇති චිත්‍රය වෙනස් වන නිසයි කිසිම පදනමක් නැතිව මට 'බලය බෙදන්න හදනවාය' කියා චෝදනා කරන්නේ. එවිට නැවත ඔබලා මා දෙස බලන්නේ පෙර දැක්වූ ලේබල් හරහා. ඒ ලේබල්වලට නිශිචිත කලු අර්ථ කලින ම නිෂ්පාදන්ය කර ඇති බැවින්.
ඔයාලා වගේ අය ඉන්නව කියල දකින්න ලැබෙන ඒක ම මට ඇති.
March 20, 2010 6:39 PM
ජීවිතේ කවදාවත් හරිහමන් ආදරයක් ලැබුවෙ නැති කෙනෙක් කවදාවත් තවත් කෙනෙකුට ආදරය කරන්නෙත් නැහැ කෙනෙකුගෙ ආදරයක් තේරුම් ගන්නෙත් නැහැ. උන්ට කවදාවත් ආදරය කරන්න බැහැ. උන් බහුතරයක් හිතන්නෙ ආදරය කියන්නෙ සෙක්ස් හරි තණ්හාව හරි කියල.උන් ඒකයි මවුබිමත් තමන්ගෙ ගෑනි ( හෝ හොර ගෑනි ) මට්ටමටම දාල හිතන්නෙ.
පිටස්තරයගෙ අයිය කොහොම මිනිහෙක්ද කියන්න මා දන්නෙ නැහැ. නමුත් ඒ අයිය පිටස්තරය වගේ කෙනෙකුට ආදරය දීල තියෙනව. ඒ නිසයි පිටස්තරයට පුලුවන් වෙන්නෙ දෙමලවයි සින්හලයවයි කියන බෙදීම් වලින් වෙනස්ව හිතන්න.
පිටස්තරයගෙ අයියට නිවන් සුව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.....ඒ වගේම ලොකයිය පිටස්තරයගෙ හිතේ පැලකරපු ආදරේ රූස්ස ගහක් කරගෙන ජීවත් වෙන්න පිටස්තර්යට දීරඝායුෂ ප්‍රාර්ථනා කරනව.
March 20, 2010 10:54 PM
ඉස්තුතියි ඇටමැස්ස සහොදරය. මම උත්සාහ කරන්නෙ මගේ ලොක්කය්යව ජීවත් කරවන්න. එයාට වෙඩිතියපු කෙනා ගැන මට ඇත්තෙත් අනුකම්පාවක්. මගේ අය්යව මැරුවෙ 93 අවුරුද්දෙ. මේ වෙනකොට අය්යව මැරුව සෙබලා හෝ සෙබලියත් මැරුම් කාලා ඇති. මම කියන්නෙ මගෙ අය්යත් අය්යව මැරූ කෙනත් යන දෙදෙනාම තව්ත් ජීවත්ව සිටිය යුතුව තිබුණු අය. ඒ දෙදෙනාම ගොදුරු දෙක්ක පමණයි. ඔබේ ප්‍රාර්ථනාවට පිං.
May 1, 2010 11:31 AM
හිතවත් පිටස්තරයනෙනි, මට දැනෙන අයුරින් ඔබේ මේ ලිපිය ශ්‍රේෂ්ඨ කෘතියක් (Master piece) මිස වෙන කිසිවක් නොවේ. එය ශ්‍රේෂ්ඨ වන්නේ තම ජීවන අත්දැකීමක් ඉතා විශිෂ්ට ලෙසත්, වටහාගත හැකි ලෙසත් ඉදිරිපත් කර ඇති නිසාවෙන් පමණක් නොවෙය්. පවතින ප්‍රසිද්ධ සමාජ පිළිගැනීමට පටහැනිව යමින් තමාට ද්‍රෝහියා, පාවාදෙන්නා වැනි ලේබල අලවාගැනීමට සිදු වන බව දැන දැන තමා පිළිගන්න සත්‍යය ඉදිරිපත් කිරීමක් වෙන නිසා. මා ඔබ නොහඳුනන නමුත් මේ වෙනුවෙන් මා ඔබට ඉතාමත් ගරු කරනවා.
මට හිතෙන විදියට අපේ සමාජය තුල ඔබ ඉදිරිපත් කරන මේ යථාර්තය දැඩි ලෙස වසාදමලා. සමහරු මේ යථාර්තය නොදකින විදියට අන්ධ වෙලා. නමුත් බොහෝදෙනා යථාර්තය දකින නමුත් ඒගැන කතා කරන්න අකමතිය් බයය්. මොකද ඒ ගැන කතා කරන සියලුදෙනා ද්‍රෝහීන් ලෙස හඳුන්වන සමාජ සම්මතයක් අද ඇතිවෙලා තියන නිසා (මම මේක හඳුන්වන්නේ code of silence කියලා.). මේ යථාර්තය තේරුම් ගන්න මට බොහොම කාලයක් ගියා. ඒ වෙනුවෙන් කතා කරන්න හිත හදාගන්න මට තවත් කාලයක් ගියා. මගේ blog එකේ පල කරලා තියන Buddha Statue That is not Owned by Buddhists කියන ලිපිය ඒ හිත හදා ගැනීමේ ප්‍රතිපලයක්. මේ ආකාරයෙන් හිතන කතාකරන තවත් අය ඉන්නවා කියලා දැනගැනීම මට ලොකු සතුටක්.
May 20, 2010 11:54 AM
මම අදයි මෙක කියෙව්වේ ඇස් වලට කඳුළු ආවා.තේරෙන්නෙ නෑ මොනව කියන්නද කියලා
May 21, 2010 5:43 AM
@ janithck and හසී
Thanks friends.
May 21, 2010 10:24 AM
Great work brother. I do not know how I came to your blog. But I am happy I did came to your and was able to get to know you. Will be a regular visitor to your blog.
May 21, 2010 2:29 PM
@ Charity
It is encouraging. since I am busy with some other work these days I have hardly any time to write a new post. But once I am free in the end of July I ll start writing again. there are things to write... :)
be in touch.
December 19, 2010 1:23 PM
Janithck කීවාක් මෙන් මෙය ශ්‍රේෂ්ඨ කෘතියකි. මෙහා සමිබන්ධ කෙටිකතා කිහිපයක්ද මා ලියා ඇත. මෙය ඉතාම කාලීන සහ අත්‍යාවශ්‍ය සංවාදයකි. එය අනාගතයේ රට මුහුණ දීමට නියමිත ගැටලුවකින් රට සහ සියලු ජනතාව ගලවා ගැනීමට උපකාර වනු ඇත
December 19, 2010 2:26 PM
ස්තූතියි ජනක. ඔයා ලියා ඇති කෙටි කතා ගැන දැනගන්න කැමතියි.
December 20, 2010 6:05 PM
මම පිටස්තරයාගේ පොස්ට් එක දැක්කේ මුනුපොතේ දල තිබ්බ නිසා යාලුවෙක් ... මමත් ඉපදුනේ බදුල්ලේ, පිටස්තරය කියනවා වගේ දුෂ්කර ගම්මාන වල ජීවත් වෙන මිනුස්සුන්ට අපිට තරම් මහා ලොකු බලාපොරුත්තු නැහ. එත් මනුස්සකම කියන එක උපරිම තියෙන පිරිසක්. අවුරුද්දකට දෙකකට පාරක් යනවා. ඒ වගේ මිනිස්සු එක්ක අපිට ජීවත් වෙන්න නොලැබීමත් අපේ පවක් කියල හිතෙනවා. මොකද අපි දුවන මේ දිවිල්ල කවද කොහෙන් නතර වෙඉද කියන්න අපිවත් දන්නේ නෙහෙ. එත් ඒ මිනිස්සු අපිට වැඩ හරිම ශ්‍රේෂ්ටය් ... මම ගියාම ගෙදර එන්නේ හරිම දුකින්, අඑත්තටම එහෙම මිනිස්සු එක්ක ඉන්න කෙමතිය්....
පිටස්තරයාගේ කතාව හරිම සංවේදී , ගැඹුරු එකක් ....
අහම්බෙන් හෝ කියවන්න ලැබුණු ඉතා අර්ථවත්, ජීවිතේට ගන්න හුගක් දේවල් පිරුණු වටිනා කෘතියක් ...
aruna...
January 27, 2011 8:52 AM
දුක හිතෙන කතාවක් ඒත් ඈත්ත තමයි කියලා තියෙන්නෙ . මෙ රටෙ හෑම ජන කොට්ටාශයකම ජාතිවාදීන් ඉන්නවා. අපෙ ජාතියෙ කියලා වෙනසක් නෑ . මම දකින් විදියට නම් ලන්කාවෙ ප්‍රශ්නෙ නෑති කරන්නනම් එක්කො පලාත් සභාවලට බලය බෙදලා දෙන්න ඔනෙ . නෑත්නම් මෙ සින්හල මාද්ය ,දෙමල මාද්ය කියන පාසෑල් ක්‍රමය අත හෑරලා සින්ගප්පුරුවෙ වගෙ ක්‍රමයකට යන්න ඔනෙ හෑබඉ එකෙ ප්‍රතිපල එන්න තව අවුරුදු 30 විතර යයි . ලෙසිම ක්‍රමය තමයි බලය බෙදන එක වෙනත් විකල්පයක් නෑ.
Post a Comment