'ඉතිහාසය' නොදැන අත නොගැසිය යුතු විෂයයකි...!

By පිටස්තරයා-2

මවිසින් 'මේ සිංහලයන්ගේ ආරම්භය ගැන නම් නොවේ...' යන මාතෘකාව යටතේ ලියන ලද ලිපිය තුළින් මතු කරන ලද 'නෝ ෆ්‍රේම් සහෘදයා' ගේ ලිපියේ විසංවාදයන්ට නෝ ෆ්‍රේම් විසින් පිළිතුරු සපයා තිබෙනවා. මේ ලිපියෙන් මා සාකච්ඡා කරන්නේ ඒකී පිළිතුරු ලිපියෙන් මතුවන කරුණු හා විසංවාදයන් පිළිබඳවයි. මේ ලිපිය තුළ දුඹුරු පැහැයෙන් දක්වා ඇත්තේ ඔහුගේ ලිපියෙන් උපුටා ගත් ප්‍රකාශයන් ය. ඔහුගේ ලිපිය කියැවීමට මෙතැනින් යන්න.

ඔබේ පිළිතුරු ලිපියට ස්තූතියි.

ඔබ එහි කියා තිබෙනවා "නිර් – රාමු, පිටස්තරයා තරම් මේ සබැඳිව උගතෙක් නොවේ. හේ මේ අධ්‍යයනය කරන්නේ විනෝදාස්වාදී කටයුත්තක් ලෙසය." කියා.

මෙසේ ඔබ අතගසා ඇති විෂය පිළිබඳ ඔබට එතරම් උගත් කමක් නැති බව පිළිගැනීමට තරම් නිහතමානීවී ම ද මා මහත්සේ අගය කරනවා. එසේ ම ඕනෑ ම අයෙකුට තමන් කැමති විනෝදාස්වාද කටයුත්තක යෙදීමට ඇති අයිතිය මා පිළිගනුයේ ඒ විනෝදාශ්වාද ක්‍රියාව තවත් පුද්ගලයෙකුට හෝ පිරිසකට හානි දායක එකක් නොවන ප්‍රමාණයටය. විනෝදයට ඉතිහාසය විශයයට අයත්වන දේ ලිවීම, විනෝදයට කැරම් ගැසීම වැනි එකක් නොවේ. විශේෂයෙන් ම ඒ ලිවීම විවිධ ජාතීන්, ආගමික කණ්ඩායම් සම්බන්ධ සාකච්ඡාවන් වනවිට තත්ත්වය බෙහෙවින් ම බරපතලය.

"‘සිංහලයන් පැවත එන්නේ ද්‍රවිඩ මූලයකින්’ ය කියා කීම තුළ නැවත වතාවක් සිංහලයන් ලෙස හැඳිවෙන ජන කොටසේ බිහිවීම සීමිත සංස්කෘතික යුගයකට සීමා කෙරෙන නිසා ලෙස පිටස්තරයා කරන ප්‍රකාශය ඔහු ද්‍රවිඩ, දමිළ හා ද්‍රවිඩියානු යන පදයන් පටලවා ගැනීමෙන් ඇති කරගත් අවුලෙකැයි සිතේ."

මා කිසි ම පටලවා ගැනීමක් කර නෑ. ඔබ නැවත මා ලියා ඇති දේ කියවන්න. ඒ වගේ ම චතුරට පිළිතුරු ලෙස ලියා ඇති සටහන ද කියවන්න. මං අදහස් කරන දේ පැහැදිලි වෙයි.

මා නොකළ පටලවා ගැනීමක් ලිහන්නට ගොස් ඔබ නම් පටලවා ගැනීමක් කර තිබෙනවා. ඒ "දමිල / ද්‍රවිඩ යනු භාෂාවකි. එය වහරන අප රටේ උතුරු කරයේ හා තමිල්නාඩුවේ ජනයාය. ද්‍රවිඩියානු යනු භාෂා කුලකයකි." ලෙස ලිවීමෙන්. මේ කියමනට අනුව දමිළ හා ද්‍රවිඩ යන පද දෙකෙන් ම කියැවෙන්නෙ එක භාෂාවක් පිළිබඳව ය. නෝ ෆ්‍රේම්, මෙය ලංකාවේ වැඩි උගත්කමක් නැති අව්‍යක්ත මිනිසුන් කරන වරදකි. එනම් දෙමළ කතා කරන ජනයා ද්‍රවිඩ ලෙස හැඳින්වීම. "ද්‍රවිඩ" යනු භාෂා පවුලකි. එයට අයත් භාෂා ඔබ නිවැරදිව කියා තිබෙනවා. ඒත් ඒ ගොඩට නැවත ද්‍රවිඩ කියා භාෂාවක් ඇතුලත්වන්නේ නෑ. 'ද්‍රවිඩ' කියන නාම පදය නාම විශේෂණයක් ලෙස භාවිතා කෙරෙන විට නම් 'ද්‍රවිඩියන්' කියා යෙදෙනවා. ඒ නිසා ද්‍රවිඩ, ද්‍රවිඩියානු යනු දෙකක් නොවෙයි. එකමයි. එහෙත් දෙමළ හා ද්‍රවිඩ යනු පැහැදිලිව ම දෙකක්.

"“දෙවැනි වැදගත් කරුණු දෙකක් ලෙස මා දකින්නේ ‘ඒ හැර සිහළ බස නෑකම් දකවන්නේ කන්නඩ, මලයාලම් හා බෙංගාලි බසටය කියා පෙරමුණේ රාල කරන ප්‍රකාශය” ලෙස පිටස්තරයා නැවත සඳහනක් කරයි. අඳෝමැයි! මවිසින් පටලවා නොගත යුතුයි කියූ සංකල්පයන් පිටස්තරයා පටලවා ගෙන සලාදයක් බවට පත් කර ගෙන ඇත. සිහල අකුරු හා සිහල බස යන්න වෙන වෙනම පාරාමිතීන් ලෙස සලකන මෙන් මම ඉල්ලා සිටියෙමි. නමුත් පිටසතරයා ඒ සියල්ල පටලවාගෙන ඇත."

නෝ ෆ්‍රේම්, ඔබේ ලිපියේ කොතැනක වත් එබඳු ඉල්ලීමක් නෑ. ඒ හැර මා උපුටා දක්වා ඇත්තේ ඔබේ ලිපියේ තිබූ වාක්‍යයක්. නමුත් දැන් නම් ඔබ එම වාක්‍යය වෙනස් කර තිබෙනවා පහත ආකාරයට. එනම් 'ඒ හැර සිහළ බස නෑකම් දකවන්නේ පාළි, සකු හා බෙංගාලි ආදී බස් වලට වන අතර සිහල අකුරු නෑකම් දවන්නේ කන්නඩ හා මලයාලම් වැන්හි අකුරු වලටය..' ලෙස. නමුත් ඔබේ මුල් ලිපියේ පිටපතක් මා ලඟ තිබෙනවා. එහි ඔබ ලියා ඇත්තේ 'ඒ හැර සිහළ බස නෑකම් දකවන්නේ කන්නඩ, මලයාලම් හා බෙංගාලි බසටය. දමිළ බස සමග ඇති සමීප තාවය ඉතා අඩු බව උක්ත අකාරාදි දෙස බැලීමෙන් වටහා ගත හැකි වනු ඇත' යනුවෙනි. ඒ අනුව ඔබ අකාරාදිය උදාහරණ ලෙස දක්වමින් කතා කරන්නේ භාෂාව ගැන මිස අක්ෂර ගැන නොවේ. ඔබ වාක්‍ය වෙනස් කරමින් ඉතා දක්ෂ ලෙස මා කළ අභියෝග දෙකෙන් ම මගහැර ගොස් තිබෙනවා. මා ඉදිරිපත් කළ අභියෝග මේවායි.

1. මෙබඳු තත්ත්වයක් යටතේ සිංහලය බෙංගාලි බසට වැඩි නෑකම් දක්වන්නේ යැයි පෙරමුණේ රාල පවසන්නේ අලුත්ම පර්යේෂණ මත පිහිටා විය යුතුයි කියා හිතනවා. ඔබේ නිගමනයට පාදක වූ ඒ අළුත් මූලශ්‍රයන් දක්වන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා.

2. අනෙක් අතට සිංහල භාෂාව කන්නඩ, මලයාලම් භාෂාවලට නෑකම් දක්වන බව කීවත් අක්ෂර සටහනට අමතරව කිසිම භාෂාමය උදාහරණයක් පෙරමුණේ රාල දක්වා නෑ. එවනි උදාහරන ඇත්නම් ඔබගේ කීම වඩාත් ශක්තිමත් වෙන්නට තිබුණා. ඉදිරියේ දී එබඳු භාෂාමය සාධක මගින් තම මතය ශක්තිමත්ව ඉදිරිපත් කරාවි කියල හිතනවා.

මේ ආකාරයට ඔබ මුලින් කී කියමන වෙනස් කරමින් තමන් වෙත එළඹි අභියෝගය මග හැර ගිය පළමු අවස්ථාව මෙය නොවෙයි. මාගේ මහාවංසය සම්බන්ධ ලිපිය ගැන ඉතාම විකෘති අර්ථ කථනයක් දෙමින් ඔබ ලියූ ලිපිය සම්බන්ධ සංවාදයේ දී ඔබ මේ ආකාරයටම මහාවංසයේ ඇති යමක් ගැන කිය සිටියා. එකී කරුන සඳහන් වී තිබෙන තැන කියන්නැයි කී විට ඔබ කළේ මේ ආකාරයටම මුල් වාක්‍ය සංශෝධනය කොට ප්‍රශ්නයෙන් මග හැර යාමයි.

"නමුත් පිටස්තරයා තදින්ම ඉල්ලා සිටින බැවින්, සිහල, දමිල, කන්නඩ, මලයාලම් හා තෙලිඟු අකුරු වල සබැඳියාව දක්වන පහත අඩවිය ඉදිරිපත් කරමි."

මා ඔබට කියා සිටියේ අක්ෂර විකාෂය හුදෙක් නූතන මුද්‍රණ අකුරු මත නිර්ණය කිරීම අශාස්ත්‍රීය බව හා ඒ ඒ යුගවල ඒ ඒ අකුරුවල විකාශය සැලකිල්ලට ගෙන එය කළ යුතු බවත් ය. එසේ කරන ලද පර්යේෂණ කිහිපයක් ද මා සඳහන් කළා. නමුත් ඔබ නැවත එකී ඔබගේ ප්‍රකාෂයන් තහවුරු කිරීමට ඉදිරිපත් කරන්නේ එතරම් ගැඹුරු නොවන අක්ෂර විකාශය පිළිබඳ දළ අදසක් ලබාගත හැකි වෙබ් අඩවියකින් ලබා ගත් සටහණක්.

"මේ සටහනෙන් ග්‍රන්ථ අකුරෙන් සිහල, දමිළ, කන්නඩ ආදී අකුරු විබෙදෙන අයුර දකවා ඇත."
සහෝදරයා, මේ කියමණත් වැරදියි. පල්ලව ග්‍රන්ථාක්ෂරවල බලපෑම සිංහල අක්ෂර වලට ලැබෙන්නේ ක්‍රි ව 7 වැනි සියවසේ දී පමණ. ඒ කාලයට අයත් සෙල්ලිපිවල මේ බලපෑම දැකිය හැකි අතර එතෙක් සිංහල අක්ෂර මාලාවේ නොතිබුණු ඇතැම් අකුරු කිහිපයක් පමණක් පල්ලව ග්‍රන්ථ අකුරුවලින් කෙලින් ම ලබා ගෙන තිබෙනවා. (මේ ගැන උදාහරණ දෙමින් පී ඊ ඊ ප්‍රනාන්දු අචාර්යවරයා සාකච්ඡාකර තිබුණා. එහි යොමුව පෙර ලිපියේ ලබා දී ඇති) එහෙත් ඒ වනවිටත් බ්‍රාහ්මී අකෂරයන්ගෙන් ඇරඹී විකාෂය වී තිබූ අකුරු ඉදිරියටත් භාවිතාවීම දැකිය හැකියි. ඒ නිසා 'ග්‍රන්ථ අකුරුවලින් සිංහල අකුරු විබේදනය වී ඇත' යැයි කීම ද අශාස්ත්‍රීයයි.

"සිහල අකුරු වල විසෙස් විකසනය මේ සටහනේ දවනවාට වඩා මදක් පැරණි අතර එය ක්‍රි.පූ. සය වන සියවසේ සිහිගිරි කුරුටු ගී දක්වාවත් දිව යයි." මෙතනත් වැරදිලානේ නෝ ෆ්‍රේම්. සීගිරි ගී අයත් ක්‍රිස්තු පූර්ව යුගයට නොව ක්‍රිස්තු වර්ෂ යුගයටයි. එය ඔබ අතින් වූ අතපසු වීමක් සේ සැලකුවත් සීගිරි ගී එක් සියවසකට සීමා කරන්න බෑ. ඒවා අඩු තරමේ වසර තුන්සියයක් තරම් කාල පරාසයකට අයත්.

බුදුදහම පාලියෙන් දේශනා කළේය යන නෝ ෆ්‍රේම්ගේ අදහස ගැන ඊට වෙනස් අදහසක් එකී විෂය පිළිබඳ ප්‍රාමාණික උගතෙකු උපුටා දක්වමින් මා පෙන්වූයේ අප අතර පතුරවා ඇති තවත් අධිපති මතවාදයක් ඛණ්ඩනය කිරීමටයි. එනම් "බුදුන් වහන්සේ පාලියෙන් ධර්මය දේශන කළේ ය. ඒ නිර්මළ දහම අපට ලැබුනේ ය. ඒ නිසා අප සතුව ඇත්තේ නිර්මල ම බුදු දහමයි කියා පතුරවන 'මහා සත්‍යය' එසේ නොවන බව පෙන්වා දීමටයි. පාලියෙන් බුදුන් ධර්මය දේශනා නො කළා සේම උන්වහන්සේ ධර්මය ලියා තැබුවේත් නෑ. අද අප සතුව ඇති ත්‍රිපිඨකයේ සූත්‍ර වල ඇත්තේ ආනන්ද තෙරුන් විසින් අසා දැන ගත් සූත්‍ර ප්‍රමාණය පමණයි. ඒ නිසා ඒතැනින් ම යම් ඉගැන්වීම් ප්‍රමාණයක් ගිලිහෙනවා. ආනන්ද තෙරුන් පළමු සංගායනාවේදී අන් භික්ෂූන්ට විස්තර කළ ධර්මය ද නැවත වරින්වර ක්‍රි පූ තුන් වැනි සියවස තෙක් වත් සංස්කරණය වූ බව පැහැදිලියි. එසේ ත්‍රිපිඨකයට කිසිවක් අලුතෙන් එක්කළ නොහැකි දැඩි තත්ත්වයක් වී නම් අභිධර්ම පිඨකය කියා යමක් සංග්‍රහ කොට බුදුන් දෙවියන්ට දේශනා කළ ධර්මය යැයි නම් කරමින් ත්‍රිපිඨකයට ඇතුලත් කරන්න බෑ. මේ අදහස මගේ ලිපියට ඇතුලත් කිරීම අදාල වන්නේ මා නිගමණ ඡේදයෙන්ද දක්වා ඇති පරිදි 'මහා සත්‍යයන්' නැති බවත් සංකීර්ණ ලෙස යමක් ලෙස බැලීය යුතු බව පෙන්වා දීම මාගේ අරමුණ වූනිසයි. 'බුදුන් වහන්සේ පාලියෙන් ධර්මය දේශන කළේ ය' කියා ඔබ කරන ප්‍රකාශය ද සංකීර්ණ නොවූ අවසන් මහසත්‍යයක් පිළිගන්නා චින්තනයට සේවය කරන නිසයි.

"පිටස්තරයා පරුමක යන පදය අල්වා ගෙන එය දෙමළ පදයෙකැයි පවසයි. එය දෙමළ පදයක් නොව “ද්‍රවිඩියානු” පදයක් වන්නට ඇති ඉඩකඩ වැඩිය. මන්ද ක්‍රි.පූ. තුන්වන සියවසේ පරුමක පදය වත්මන් දෙමළෙදි වර නැගෙන අයුර දැක්වීම, පිටස්තරයාම ඉදිරිපත් කල නියමයට ඔහුම පටහැණිව යාමක් වන නිසාය."
මෙ කී පදය දෙමළ භාෂාවේ එන වචනයක් වන ආකාරයත් එය වත්මන් දෙමළ භාෂාවේ යෙදෙන ආකාරය සැලකිල්ලට ගෙන පරුමක යන්නට අර්ථ කථන සපයා නැති ආකාරයත් දැන ගැනීමට මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න ගේ ලිපිය සොයාගෙන කියවන්න. මේ මොහොතේ මට හරියට ම එම ලිපියේ යොමුව ලබා ගැනීම අපහසුයි. එහෙත් ඔබ ලංකාවේ සිටින නිසා පහසුවෙන් ම එය සොයා ගත හැකියි සංස්කෘතික ත්‍රිකෝණ කාර්යාලයට කතා කිරීමෙන්. එතුමා එහි අධ්‍යක්ෂකවරයායි.

අනෙක් අතට එය “ද්‍රවිඩියානු” පදයක් වන්නට ඇති ඉඩකඩ වැඩිය කියා නිහඬ නොවී එය ද්‍රවිඩියානු පදයක් වන ආකාරය පැහැදිලි කරන්න. ඉතිහාසය යනු හිතළු ප්‍රකාශ කරන්නට තිබෙන අවකාෂයක් නොවෙයි. අනෙක් අතට එය දෙමළ පදයක් ලෙස පෙනෙනවා නම් එසේ පිළිගත්තා ම ඇති වරද මොකක් ද? ඇයි ඔය තරම් බය? යුද්දය ඉතා ම බරපතල ලෙස ක්‍රියාත්මක වෙද්දීත් ලංකාවේ දෙමළ අයගේත් දකුණු ඉන්දීය දෙමළ අයගේත්, පළාතේ මුස්ලිම් ජනයාගේත් බරපතල සහභාගීත්වය ඇතිව කුරුණෑගල ඉදිවෙමින් පවත්නා දැවැන්ත බුදු පිළිමයක් සම්බන්ධ මේ ලිපිය කියවන්න. නිසැකවම අනාගතයේ ජීවත්වන ඔබ වැනි පුද්ගලයන් මේ ඉතිහාසය මකා දමනවා ඇති. මේ පිළිමය 'නිර්මළ සිංහල බෞද්ධයන්ම' ඉදි කළා මිස කිසි ම 'පරදෙමළෙක්' හෝ 'තම්බියෙක්' එයට හවුල් නැති බව කියනවා ඇත. එය එසේ නොවේ යැයි කීමට උත්සාහ කරන වුන්ට මට එල්ල කරන චෝදනා ම එදාටත් එල්ල කරනවා ඇත.

"නමුත් පරුමක ද්‍රවිඩියානු වීම තුලින් සිහල බසම ද්‍රවිඩියානු යයි කීමට පිටස්තරයා ලඳ බොලඳ උත්සාහයක් ගන්නේදෝ යයි සැකයක් මතුවේ"
ඔබ දෙමළ භාෂාවෙන් සිංහලය ලබා ඇති අභාෂය අඩු බව කියා හිටියා. මම කළේ එය එසේ නොවන බවට සාධක ඉදිරිපත් කිරීමයි. නමුත් මම පැහැදිලිව ම සිංහල භාෂාව ඉන්දු ආර්ය භාෂා මූලයෙන් ඇරඹි එකක් බවත් දෙමළ බස ද්‍රවිඩ භාෂා මූලයෙන් ඇති වූවක් බවත් කියා තිබෙනවා. ඔබත් මා එසේ ප්‍රකාශ කර ඇති බව පිලිගන්නා අතරයි නැවත ඉහත ආකාරයේ නොමේරූ සැකයක් මතු කරන්නේ. මෙය මට අලුත් නෑ. මා මහා වංසයට හිමි තැන ගැන ලියූ ලිපියේ දකුණු ඉන්දියාවේ හා ලංකාවේ ද අතීතයේ එකම ආගමික තත්ත්වයක් පැවති බවත් එවක සිටි සිංහල හා දෙමළ භික්ෂූන් කිසි වෙනසක් නැතිව කටයුතු කරන්න ඇති කියාත් කී විට මා ලංකාවේ දෙමළ භික්ෂූන් සිටියා යැයි කියමින් දෙමළ නිජබිම තහවුරු කරන්නේ යැයි මට අද මෙන්ම චෝදනා එල්ල කළ හැටි ඔබට මතක ඇති.

නෝ ෆ්‍රේම්, අපි මීට වඩා මේ සාකච්ඡාව උසස් තලයකට ගෙන යමු. :) එසේ ඇතිවන උසස් සංවාදයකින් නිසැකව ම මා ද කියවන අන් අයද පෝෂණයක් ලබනවා ඇති. ඒත් මේ මට්ටමේ වාදවලින් සිදුවන්නේ අපි හැමෝ ම පිරිහෙන එකයි.

"පුරාණතම “පූර්ව-සිහල” ලේඛණය පුරාණතම “පූර්ව-දමිළ” ලේඛණයට වඩා සියවසක්වත් පැරැනිය. එනිසා ලංකාවේ භාවිත වූ බස මෙහි පැමිණියේ ක්‍රි.පූ. 5 වන සියවසටත් එපිටින් වීමට බොහෝ ඉඩ ඇත." මේ ප්‍රකාශය ද ක්‍රම විරෝධීයි. අනුරාධපුරයෙන් ලැබී ඇත්තේ බ්‍රාහ්මී අක්ෂර තුනක් පමණක් සහිත මැටි බඳුන් කැබැල්ලකි. එය වචනයක මුල හෝ මැද හෝ අග කොටස දැයි තීරණය කළ නොහැකි ය. එහෙයින් ඒ අකුරු තුන පූර්ව සිංහල කියා හෝ පූර්ව දෙමළ කියා හෝ නම් කළ නොහැකි යි. ප්‍රකාශ කළ හැක්කේ ක්‍රි පූ 5-6 සියවස් තරම ඈත කාලයේ ලංකාවේ ලිවීම දැනසිටි බව හා එසේ ලිවීම කළේ බ්‍රාහ්මී අක්ෂර වලින් බව පමණි. මා නැවතත් කියන්නේ ඉතිහාස විෂය තුළ කළ හැක්කේ මූලාශ්‍රය වලින හෙළිවන තොරතුරු වලට සීමාවෙමින් කරුණු සාකච්ඡා කිරීම මිස හිතළු ප්‍රකාෂ කිරිම නොවන බවයි.

ඒ හැර ඔබ කිසිම පිළිගත හැකි මූලාශ්‍රයක්, පිළිගත හැකි කිසිම උගතෙකුගේ කෘතියක් හෝ පර්යේෂණ ලිපියක් තම මත ඉදිරිපත් කිරීමේ දී භාවිතා කර නැති වගත් පෙන්වා දෙන්න කැමතියි.

මා ඉගෙන ගන්නා සමයේ 'ඉතිහාසකරණය හා ක්‍රමවිද්‍යාව' (Historiography and Methodology) පාඨමාලාව ඉගැන් වූ මහාචාර්යවරයා තම පළමු දේශනය අරඹමින් කී කරුණු කිහිපයක් මා මෙහි සඳහන් කරන්නේ එය මේ සාකච්ඡාවට ඉතාම අදාල වන බැවිනි.

"ඉතිහාසය විෂයයක් ලෙස ලෙස හදාරන ඔබ හිතන්න පුළුවන් ඉතිහාසය කියන්නේත් මෙම ආයතනය තුළ උගන්වන අන්විෂයන් වැනිම තවත් විෂයයක් කියා. නමුත් මා කියනවා එය එසේ නොව සුවිශේෂ විෂයයක් කියා.

එය සුවිශේෂ වන්නේ අන්විෂයයන් ඒ ඒ විෂය පිළිබඳ උගතුන්ට සීමාවන විෂයයක් වන අතර ඉතිහාසය එසේ නොවීම නිසයි. උදාහරණයකට ශල්‍ය කර්මයක් කළයුත්තේ කෙසේ ද කියා සාකච්ඡා කරන්නේ ඒ පිළිබඳ පුහුණුවක් ඇති ශල්‍ය වෛද්‍යවරුන්. සමාන්‍ය වඩුබාස්ලා හෝ පූජකවරුන් හෝ වෙනයම් පුරවැසියෙක් ඒ කටයුත්තට අත ගසන්නේ නෑ. ඇයි ඒ? ඒ අප සියළු දෙනාම පිළිගන්නා නිසා ඒ විෂයට අතගැසිය යුත්තේ ඒ ගැන නිසි පුහුණුවක් ඇති අය විසින් කියා. පාලම් හැදීම ගැන ගත්තත් වෙනත් කිසියම් වෘත්තියක් ගැන ගත්තත් තත්ත්වය මෙය ම යි. දර්ශනය, ආර්ථික විද්‍යාව වැනි විශයයන් ගත්තත් තත්ත්වය මෙය ම යි. ඒ ගැන උගත් කමක්, ඒ ඒ විෂයයේ ක්‍රමවෙදයන්, සීමාවන් දන්නා අය මිස අන් අය ඒවාට අතගසන්නේ නෑ. නමුත් 'ඉතිහාසය' එහෙම නෙවෙයි. හැමදෙනාම හිතා සිටින්නේ 'ඉතිහාසය' යනු හාමුදුරුවන්ටත් පූජකවරුන්ටත්, දෙශපාලකයාටත් පදික වේදිකාවේ වෙළෙන්දාටත් කිසි පූර්ව ඉගෙනීමක් පුහුණුවක් නොමැතිව අතගැසිය හැකි විෂයයක් කියායි. මෙය ලංකාවට පමණක් විශේෂ වන්නක් නොවේ. නමුත් ලංකාවේ තත්ත්වය අන් රටවලින් සුවිශේෂයි. ඒ අන් රටවල 'මහාවංසය' වැනි සැලකිල්ලෙන් 'කාලානුක්‍රමය' (Chronology) ගැන සැලකිල්ලකින් දේශපාලන සිදුවීම් හෝ වෙනයම් ආයතනයකට අදාල සිද්ධි වාර්ථා කරමින් ලියන ලද පොත් අඩුයි. ඒ නිසා ඉතිහාසඥයාට තම ක්‍රම වේදයන්ට සීමාවෙමින් තම කටයුතු කිරීම පහසුයි. නමුත් ලංකාවේ මහාවංසය කියා පොතක් ඇති නිසා තත්ත්වය තවත් සංකීර්ණ වෙනවා. ඒ මහාවංසය යනු ඉතිහාසයයි කියා බහුතරයක් සිතන නිසායි. ඒ සිතීමට අනුව ඉතිහාසය යනු අතීතයේ ජීවත් වූ භික්ෂූන්වහන්සේ නමක් කුටියක සිට ලියා සම්පූර්ණ කර ඇති දෙයක්. අපට අද කරන්නට තිබෙන්නේ එකී භික්ෂූන් වහන්සේ ලියා ඇත්තේ කුමක් දැයි අදාල පොත පෙරලා බලා ඉතිහාසය දැන ගැනීමයි. හරියටම අල්-කුරාණය හෝ බයිබලය බලා අදාල ආගමික ඉගැන්වීම් විස්තර කරනවා වැනියි. මේ නිසා මා ඔබට කියනවා ඔබ අද සිට ඉගෙනගන්න යන්නේ මේ රටේ සියළුම දෙනා දන්නවා යැයි සිතාගෙන සිටින විෂයයක් කියා.

තවත් ආකාරයකට අද සිට ඔබ ඉගෙන ගන්නට යන විෂය අන්විෂයයන්ගෙන් වෙනස් වෙනවා. ඒ මෙහෙමයි.
ඔබ හිතන්න ශල්‍යවෛද්‍යවරයෙකු විසින් කළ යුතු ශල්‍යකර්මයක් වඩු බාසුන්නැහේ කෙනෙක් කරනවා කියා. රෝගියෙකු අල්වා වඩු බංකුව මත බාවා කියත් නියන් ආදිය පාවිච්චිකොට ශල්‍යකර්මයක් කළා කියා හිතන්න. නිසැකව ම රෝගියා මියයාවි. ඒත් ඔහුට එකවරකට වඩා මේ ක්‍රියාව කරන්න බෑ. මිනිසුන් එයට එරෙහි වෙනවා ඇති. ඔහුව නීතිය ඉදිරියට පමුණුවනවා ඇති. දඩුවම් ද ලබා දෙනවා ඇති. පාලම් හැදීම ගැන ශාස්ත්‍රානූකූල දැනුමක් නැති කෙනෙක් පාලමක් තැනීම නිසා එය කඩා වැටීමෙන් වැඩිම වුනොත් 50ක් 60 මිය යනවා ඇත. එහෙත් දිගින් දිගට ඔහුට මේ වැ‍රැද්ද කරන්නට ඉඩ ලැබෙන්නේ නැත. නීතිය මගින් සමාජය මගින් ඔහුගේ ක්‍රියාව නවත්වනවා ඇත. ඒත් ඉතිහාස විෂය සම්බන්ධ තත්ත්වය එසේ නොවේ. ඉතිහාස විෂයයේ ක්‍රමවේදයන් ද එහි සීමාවන් ද එම විෂයට අතගසන්නකු තුළ තිබිය යුතු හික්මීම හා සංයමය ද නැති කෙනෙකු එම විෂයය ලිවීම, දේශනා කිරීම නිසා මිය යා හැකි සංක්‍යාව වඩුබාසුන්නැහේ කෙනෙක් ශල්‍යකර්මයක් කිරීම නිසා මිය යාහැකි ප්‍රමාණය මෙන් සුළු ප‍ටු නොවේ. සමහර විට මෙකී ක්‍රියාව නිසා ඉතා සහෝදරත්වයෙන් සිටි ජාතීන් දෙකක්, ආගමිකයන් දෙකොටසක් කිසිදා එක් නොකළ හැකි සේ භේද භින්න වෙන්න පුලුවන්. එයින් ම ඔවුන් මරාගන්න තත්ත්වයට පත්වෙන්න පුළුවන්. සමහර විට මේ මරා ගැනීම පරම්පරා ගණනාවක් ඉදිරියට යනවා ඇත. මරා ගැනීම දෙපසම වෙහෙසට පත් වීම නිසා නැවැත් වුවත් කිසිදා ඔවුන් මුලින් සිටි සමගි සම්පන්න තත්ත්වයට පත් නොවෙනවා ඇත. ඒ අනුවත් ඔබට පෙනෙනවා ඇති ඉතිහාසය යනු අන් සියළු විෂයයන්ගෙන් සුවිශේෂ විෂයයක් වන බව.

තව දුරටත් ඔබ දැනගත යුතු දෙයක් තිබෙනවා. ඒ ශල්‍යකර්ම කිරීම ගැන පුහුණුවක් නැති අයෙකු ඒ කටයුත්තේ නියැළුනොත් ඔහුට දඩුවම් ලැබෙනු ඇති බව මා කිව්වා. එක් මිනිසෙකු දෙදෙනෙකු මියයන තත්ත්වයක දී ඒ ආකාරයට නීතිය ක්‍රියාත්මක වේ නම් පරම්පරා කීහිපයක ගේ මරණය ඇති කිරීමට හවුල් වන්නෙකුට ඊට වඩා දඩුවම් හිමි නොවන්නේ දැයි ඔබ අසාවි. මට දිය හැකි පිළිතුර නම් නැත යන්නයි. එවැනි අයට දඩුවම් නො ලැබෙනවා පමණක් නොව ඔහු විසින් උත්කර්ෂයට නගන ජාතියට, භාෂාවට, ආගමට, කුලයට අයත් ජන පිරිස් අතර ඔහු වීරයෙකු බවට පත්වේ. එබඳු ජනයාට ඔහු දේශප්‍රේමියෙකි. ජාතිප්‍රේමියෙකි. එකී පුද්ගලයාට ද ඔහුගේ දරු මුණුපුරන්ට ද ඉතා හොඳ ජීවිතයක් ගතකොට ගෞරවනීය ලෙස මියයාමට ඔහුගේ පෙර කී ඉතිහාසය ලිවීම ම හේතු වේ. මේ අර්ථයෙන් ද ඔබ ඉගෙනගන්නට යන ඉතිහාසය නම් විෂය අන් විෂයන්ගෙන් වෙනස් වේ.

තව වැදගත් කාරණයක් තමයි වෙනත් විෂයයක අලුතින් අදහසක් ඉදිරිපත් කිරීම උසස් දෙයක් ලෙස සැලකීම. ආර්ථික විද්‍යාවේ එතෙක් පිළිගෙන ඇති මූල ධර්මයක් වැරදි බව පෙන්වා දුන්නහොත් එකී වරද පෙන්වා දුන් කෙනා අදාල විෂයයේ වර්ධනයට මහත් සේවයක් කළ අයෙකු සේ සලකා සම්භාවනාවට ලක්කිරීම සිදු වේ. එතැන් සිට ඔහු විසින් හඳුන්වා දුන් නව අර්ථකතනය සාකච්ඡාවට ගැනීම සිදු වේ. නමුත් ඉතිහාසය විෂයයේදී එය එසේ නොවෙයි. අලුතින් ඉදිරිපත් කෙරෙන අදහස එතෙක් පිලිගෙන තිබෙන සම්මත මතවාදය ප්‍රශ්න කරනවා නම් එකී මතවාදය පිළිගත හැකි සාක්ෂි මත පිහිටා පිළිගත් ක්‍රමවේද අනුව ඉදිරිපත් කර තිබෙනවා ද කියා වත් නො බලාම එය බරපතල ලෙස විවේචනයට ලක්කෙරෙනවා. ආර්ථික විද්‍යාව ගැන නව අදහස් පෑ කෙනාට ලැබෙන සැලකිල්ල මෙකී ඉතිහාසඥයාට ලැබෙන්නේ නෑ. එහි දී එල්ල වන ප්‍රධාන චෝදනාවක් වන්නේ 'ඉතිහාසය විකෘති කරනවාය යන්න'. යමක් විකෘති කළ හැක්කේ කලින්ම ප්‍රකෘති දෙයක් තිබුනොත් පමණයි. උදාහරණයකට ආර්ථික විද්‍යාව කාටවත් විකෘති කළ හැකි ද? එහෙම ප්‍රශ්නයක් මතුවන්නේ නෑ. හේතුව ආර්ථික විද්‍යාවට එසේ කළින්ම සකස් කොට 'මෙයයි ප්‍රකෘති තත්ත්වය' කියා තීරණය කරන ලද ස්වරූපයක් නැති නිසා. නමුත් ඉතිහසය එසේ නොවෙයි. වැඩි දෙනාගේ අදහස කලින්ම ලියන ලද අංගසම්පූර්ණ ඉතිහාසයක් ඇති බවයි. ඒ පිළිගත් ඉතිහාසය ප්‍රකෘති ඉතිහාසය බවයි. එයට පටහැනි අදහස් පළ නොකළයුතු බවයි. මෙයත් ඉතිහාසය විෂයට පමණක් අදාලවන සුවිශේෂ තත්ත්වයකි.

තවත් දෙයක් ඔබ දැනගත යුතුයි. ඒ අන් සියළු විෂයයන් ඔබ ඉගෙන ගන්නේ අමුතු තමන්ගේ කමක් නැතිව. ආර්ථික විද්‍යාව ආර්ථික විද්‍යාව විනා අපේ ආර්ථික විද්‍යාව නොවේ. එහෙත් ඉතිහාසය එසේ නොවේ. එය 'අපේ ඉතිහාසය' වේ. අපේ රට , අපේ ගම, අපේ ගෙදර, අපේ අම්මා මෙන් ඉතිහාසය 'අපේ ඉතිහාසය' වේ. අපේ කමක් සහිතව යමක් බලන්නට පටන් ගත් තැන ම අපගේ අපක්ෂපාතීත්ත්වය අවසන් වන බව ඔබට වැටහෙනවා ඇත.

ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා මෙකී කාරනා ඉතා දැඩිව හිත්හි තබාගෙන ඉතා වගකීම් සහගත ව ඔබ මේ විෂයය හැදෑරීම හා ඉදිරියේ දී මේ විෂයයට අදාල දේ ලියන කියන එක කරනවා ඇති කියා.

හොඳින් මතක තියා ගන්න. ඉතිහාසඥයා යනු විනිසුරු අසුනට නගින විනිසුරෙකු වැනියි. ඔහු තුළ කලින් ම ගත් තීන්දු නැත. ඔහු වෙත එළැඹෙන සාක්ෂි ඉතාම අපක්ෂපාතව විමසා බලා ඒ සාක්ෂිවලින් එළැඹිය හැකි නිගමනයකට එළැඹෙනවා මිස තමන්ට උවමණා තීන්දු දීමට ඔහුට අයිතියක් නැත. එසේ සාක්ෂි පරික්ෂා කිරීමේ දී තම ආගම, ජාතිය, කුළය වැනි පුද්ගලික කාරණා ඔහුට අදාල නොවේ. ඔහු සාක්ෂි මත පිහිටා ගන්නා තීන්දු ඊළඟ මොහොතක සොයා ගන්නා නව ශාක්ෂි මත වෙනස්විය හැකි බව ඉතාම තදින් ඔහු සිත්හි තබාගත යුතුයි. අනෙක් අතට සාමාන්‍ය විනිසුරෙකුටත් වඩා ඔහු සුවිශේෂ බව තව දුරටත් ඔහු දැඩිව මතක තබා ගත යුතුයි. ඒ අන් සාමාන්‍ය විනිසුරෙකුට මෙන් ඔහුට පහසුවෙන් අවශ්‍ය සියළු සාක්ෂි කැඳවිය නොහැකි නිසා. ලැබෙන සුළු සාධක මත පමණක් පදනම් ව තම විනිශ්චය ඉදිරිපත් කළ යුතු නිසා. ඒ අර්ථයෙන් ඉතිහාසඥයාගේ කාර්යයය වඩා බැරෑරුම්. ඒ නිසාම ඔහු අවසන් නොවෙනස්වන තීන්දුවලට එලැඹීමෙන් වැලකිය යුතුයි. අවසන් වෙනස් නොකළ හැකි ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිය යුතුයි.මක් නිසා ද ඊලඟ මොහොතේ සොයා ගන්නා දෙයකින් ඔහුගේ මුල් මතය සපුරා වෙනස් විය හැකි බැවිනි."

නෝ ෆ්‍රේම්, ඔබ මුලින් ම කියා තිබුණා ඔබට ඉතිහාස විෂය ගැන උසස් ඉගෙනීමක් නෑ කියා. ඉහත දක්වා ඇති දේශනයේ උපුටා දැක්වීමට ද අනුව ඔබට වැටහෙනවා ඇති එබඳු ඉගෙනීමක්, පුහුනුවක් නොමැතිව අත නොගැසිය යුතු විෂයයකට ඔබ අතගසා ඇති බව. දෙවැනි භයානක කරුණ වන්නේ ඔබ මේ විෂයයට අදාල දේ ලියන්නේ විනෝදාශ්වාදයට වීම. එය බෝම්බයක් සමග සෙල්ලම් කිරීම වැනියි. තුන්වැනි වැදගත් කාරණය සිංහල දෙමළ සමගියට අදාල දෑ ඔබගේ උනන්දු විෂයය ක්ශේත්‍රය නොවන අතර අතීතයේ කිසිම දෙමළ සහසම්බන්ධයක් නොමැති සිංහල ජාතියක් පිළිබඳ කතා කිරීම ඔබගේ උනන්දු විෂයක්ශේත්‍රය වීම. ඔබේ උනන්දුව හුදෙක් ඉතිහාසය කතාකිරීම පමණ නම් ඔබට 'පරුමක' යන්න දෙමළ බසින් ඇවිත් අතැයි කී විට අමුතුවෙන් කලබල වෙන්න දෙයක් නෑ. ඒක ඒ ආකාරයට කරුණු වශයෙන් පෙනෙනවා නම් එසේ පිළිගත්තා කියා කිසිදෙයක් වෙන්නේ නෑ.

නෝෆ්‍රේම්, මම හිතනවා ඔබ යම් උගත් කමක් ඇති කෙනෙක් කියා. ඉතිහාස විෂය ගැන උගත්කමක් නැති වුණත්. එසේ උගත් කමක් ඇති අපි ඉතා වගකීම් සහිතව කටයුතු කළ යුතුයි. අපි යමක් කියනවා නම් ඉතා සැලකිල්ලෙන් ඒ කියන දේ නිවැරදි දැයි සොයා බලා කිය යුතුයි. විශේෂයෙන්ම වෙනත් ජාතීන්, ආගමික කණ්ඩායම් සම්බන්ධ ප්‍රකාශයක් නම් අපි කරන්නේ අපි වඩාත් සැලකිළිමත් වියයුතුයි. වගකීම් සහගත විය යුතුයි. එවැනි සංවේදී කාරණාවලදී අන්තර්ජාලය කොහෙත්ම විශ්වාසදායී මූලශ්‍රයක් නොවෙයි. ඒ සම්බන්ධ ප්‍රාමාණික උගතුන්ගේ අදහස් මොනවා ද යන්නයි අපි සොයා බැලිය යුත්තේ. ඔබ කතා කර ඇති විෂයයක්ෂේත්‍රයට අදාල එබඳු උගතුන් ගණනාවකගේම නම් ද එවන් ප්‍රාමාණික ලේඛණවල යොමු ද මාගේ මුල් ලිපියේ අවශ්‍ය තැන්වල දක්වා තිබෙනවා. ඒවා පරිහරණය කළහොත් මෙතෙක් අන්තර්ජාල තොරතුරු මත ඔබ කතා කළ දෑ ගැන ඔබට වඩාත් ඉහල හා ගැඹුරු දැනුමක් ලබා ගත හැකියි. අප කියන දෑ වල නිවැරදි භාවය ගැන අප සැලකිලිමත් වියයුතු තව කාරණයක් අපේ ලිපි ඉගෙන ගන්නා ශිෂ්‍යයින් ද කියවීම. අපි වැ‍රැද්දුවිත් ඔවුනුත් වැරදියට ඉගෙන ගන්නවා ඇති.

අපි ලියන දෑවලින් බොහෝ දෙනා පෝෂණය ලබනවා. ඇතැම් දෙනා අප වීරයින් කියාත් හිතනවා. ඔබ ලියා ඇති ලිපියේ එන කරුණුවල විසංවාදී තැන් පෙන්වා දුන් පමණින් මහත් සේ කෝපයට පත්ව මාගේ වයෝවෘද්ධ මව ගැන සිහිකොට අසභ්‍ය වචනයෙන් මට බැන වැදුණේ නිසැකව ම ඔබව වීරයෙක් හැටියට සලකන කෙනෙක්. ඔබ කියනා දෑ නිසැක ව ම සත්‍යයයි කියා විශ්වාස කරන කෙනෙක්. නමුත් නෝ ෆ්‍රේම්, ඔබ මොන විදියට මා ලියා ඇති දෑ විසංවාදයට, විවේචනයට ලක්කළත් මා ලියන දෑ උසස්යැයි සිතන කිසිම කෙනෙක් ඔබට ඒ ආකාරයට පහත් ලෙස බැන වදීන්නේ නෑ. එය මට ඉස්ථිර ලෙස ම කිය හැකියි. ඒ මා ලියන දෑ උසස් යැයි සලකන පිරිසේ සංස්කෘතික මට්ටම වෙනස් බව හොඳට ම මා දන්නා නිසා. නමුත් අප වෙසෙන රට වඩා උසස් රටක් බවට පත් කරන්නට උවමනා නම් ඇත්තවශයෙන්ම සිතන විදිහ වෙනස් කළ යුත්තේ මා ලියන දෑ උසස්යැයි සලකන පිරිසේ නොවෙයි. ඔබ ලියන දෑ උසස් යැයි දැඩිව ගෙන ඇති පිරිසේයි. සිංහලයන් වූ ඔබටත් මටත් මහත් නින්දාවක් ඇති කරමින් 1983 ජුලි විනාශය කරමින් අහිංසක දෙමළ ජනයා කිසිත් පැකිළීමක් නැතිව පණපිටින් පුළුස්සා දැමුවේත්, ඔවුන්ගේ දේපළ මංකොල්ල කෑවේත් දෙමළ ජනයා අපගේ පරම හතුරන්ය යන අදහසේ සිට කටයුතු කරන මට බැන වැදුණු ජාතියේ අඩු සංස්කෘතික මට්ටමක් පිළිඹිබු කරන නොහික්මුණු සිංහලයින්. සිංහල දෙමළ සහ සම්බන්ධයක් අතීතයේ තිබුණා යැයි අසන්නට වත් අකමැති පිරිස්. හෙට දවස හොඳ අතට හරවන්න නම් අප වෙනස් කළයුත්තේ එබඳු නොහික්මුණු මිනිසුන් සිතන විදිහයි. ඔවුන් මට වඩා ලඟ ඔබටයි. ඔවුන් වීරයෙකු ලෙස සලකන්නේ මාව නොව ඔබවයි. ඔවුන් වඩා හික්මුනු සංයමයක් ඇති පිරිසක් බවට පත්කළ හැකිනම් ඒ හැකියාව ඇත්තේ මට නොව ඔබටයි. අප ලද අධ්‍යාපනය, බුදුදහමින් ඔබත් මමත් ලද පෝෂණය, අප කතා කරන දයාව, මෛත්‍රිය වැනි අදහස් වඩාත් අර්ථවත් වනවා ඇත්තේ එබඳු පිරිස් වෙනස් කිරීමට අපකරන දායකත්වය මත.

මේ ලිපිය තුළ මොන ආකාරයකට හෝ ඔබේ හිත් රිදෙන යමක් ලියැවී ඇතිනම් ඒ ගැන මහත් සේ කණගා‍ටුවෙන අතර එසේ හිත් රිදවීමට හෝ ඔබව අපහසුවකට පත්කිරීමේ කිසිත් වුවමනාවක් මට නැති බවත් කියා හිටිනවා. මා නිතර කියන දෙයක් අපගේ පෙර පරම්පරා වගකීම් සහගතව දුරදක්නා නුවණින් කටයුතු කළානම් 71 මියගිය තරුණ ජීවිත ද 87-90 අතර මියගිය තරුණ පිරිස ද 83 පමණ සිට 2009 තෙක් මියගිය හමුදා පොලිස් හ එල් ටී ටී ඊ ලෙස නම් කරන ලද තරුණ පිරිස ද මිය යන්නේ නෑ. ඒ ජීවිත ටික ‍රැකගන්න පුළුවන් වුණා නම් කොතරම් අගේ ද? නෝ ෆ්‍රේම්, අපි ලියන කියන දෑ ඉතා වගකීම් සහගත විය යුත්තේ මෙවන් පරිසරයකයි. මා නැවතත් කියනවා හෙට දවස ඔබේ දරුවන්ටත් සතුටින් ජීවත්විය හැකි රටක් බවට මේ රට පත් කළ යුතුනම් හික්මැවියයුතු පිරිස වඩා සමීප ඔබටයි. ඔබ ඔවුන් ව යහපත් අතකට වෙනස් කිරීමේ කාර්යයට ඔබේ උගත්කම ලිවීමේ හැකියාව නුදුරු දිනෙක ම භාවිතා කිරීම අරඹනවා ඇතැයි විශ්වාසය පළ කරමින් නවතිනවා.

Reactions:

19 Comments

වචනයේ පරිසමාප්ත අර්ථයෙන් විශිෂ්ට පිලිතුරකි.ඔබ උපුටා ඇති මහාචාර්යවරයා කලා යැයි පැවසෙන දේශනය - කල්තියා එලඹි පූර්ව නිගමන වල එල්‍බ ගෙන නොව,හදාරන විෂයට අවංකව එම විෂය හැදෑරිය යුතුයි යන හරය - ඉතිහාසයට පමනක් නොව නීතිය කලාව සාහිත්‍යය වැනි බොහෝ ශාස්ත්‍රීය හැදෑරිම් සදහා වලංගු කරුනකි.

අපුරුයි. අපිට පාසලෙ දි ඉතිහාසය විෂයක් ලෙස ඉගැන්නුවෙ නැහැ. ඉගෙන ගත්තත් ඉගෙන ගත්තෙ 6 වසරෙ දි මොහොන් ජොදාරො, හරප්පා, හොවැංහො, නයිල් ඔය ගංඟා කිපයත් එක්ක ඇති වුනු දෙවල් ගැන. නමුත් ඉතිහාස විෂයට මම හරි ආසයි. දැන් නම් දවසකට ලිපිය දෙක කියවනවා. හොද මුලාශ්‍ර ටිකක් ලබා දෙන්න මෙ අඩවිය හරහා. මිනිසෙකුගෙ දැනුම , උගත්කම වැඩි වෙන්න වැඩි වෙන්න සමාජයට දැක්වන ආදරය, කරුණාව වැඩිවෙනවා එක ඔයාගෙ ලිපිය තුලින් මම දකිනවා. ලිපි වල මුල ඉදන්ම මම බලාගෙන හිටියත් මුකුත් අදහසක් දුන්නෙ නැත්තෙ, මම මෙ සම්භන්දව ඉගෙන ගෙන නැහැනෙ කියන හෙතුවටයි. කොහොම උනත් අපි කස්ටිය මෙවා ගැන මෙහෙම හරි කතා කරන එක වටිනවා.

@ Ramachandra
රාමා, ඒ ආචාර්යවරයා කී තව වැදගත් කරුණක් මට මග හැරුණා. එය මම නැවත ලිපියට ඇතුල් කළා. ඒ කොටසත් බලන්න. මේ කියන ආචාර්ය වරයා තමන් ඉගැන්වූ දේ ඒ ආකාරයෙන් ම පිළිපැද්දා. ඔහු ඉතිහාසය විග්‍රහ කළේ ඉතාම සංයමයකින්. කවදාවත් කිසියම් ජාතියක්, ආගමක්, කුලයක්, පක්ෂයක් මතු කරලීමට තම විෂය දැනුම හෝ තණතුර භාවිතා කළේ නෑ. කිසිදු දේශපාලකයෙකුට පක්ෂපාතකම් පෑවේ නෑ. විශ්‍රාම ගන්නා දිනය දක්වාම වැඩ කළා. ඔබ දන්නවා විශ්වවිද්‍යාල ආචාරයවරයෙක් විශ්‍රාම ගත්තාට පසුවත් ඔහුගේ/ඇගේ සේවය තවදුරටත් ලබා ගන්නවා ඉගැන්වීම් කටයුතු සඳහා. නමුත් මේ කියන ආචාර්යවරයා එසේ නැවත සේවය කරන්න ආවේ නෑ. ටික කාලයකින් දැනගන්න ලැබුණා එතුමා ලංකාවෙන් පදිංචිය අතහැර ගිය බව. කළකිරීමකින් ගියාදැයි මම දන්නේ නෑ. ඒත් කරුණු දෙකක් මම දන්නවා. එක එතුමා කියාදෙන්න හැදූ දේ බොහෝ දෙනාට වැටහුණේ නෑ. දෙවැන්න එතුමා හිතන ආකාරයට හිතන මිනිසුන්ට ලංකාවේ ජීවත්වීම පහසු නෑ.

@ රවා

ස්තූතියි රවා. ලංකාවේ ඉතිහාසය විෂයය දෙස බලන විදිහ ගැන ලොකු ප්‍රශ්න තියෙනවා. ඒ දෙස බලන්නේ හරියට ඉඩමක අයිතිය භුක්තිය තහවුරු කිරීමට කරන අධ්‍යාසයක් හැටියට. රාජ්‍ය බලය දේශපාලන බලය භූමියේ හා සම්පත්වල අයිතිය තහවුරු කරගැනීම සඳහා කරන ඉගෙනීමක් හැටියට. එහෙම වුණු තත්ත්වයක නිදහස් ව එම විෂය හැදෑරීමක් වෙන්නේ නෑ. පාසැලේ දී ඒ විෂය හදාරන්න නොලැබුණු එක ගැන කණගා‍ටු වෙන්න එපා. එතනදි ඉගෙනගත්ත නම් ඔයා අද ඉන්න ඔයා නොවෙන්න ඉඩ තිබුණා. (ගංගාශ්‍රිත) පැරණි ශිෂටාචාර ගැන යමක් හදාරා තිබෙනවා නම් එය ඉතාම වටිනවා. වඩා පුළුල් ලෙස මානව ඉතිහාසය ගැන දෙස බැලීමට ඒ දැනුම උදව්වක් වන නිසා. ලෝකයේ අන් සමාජවල ඉතිහාසයන් ගැනත් චින්තන ඉතිහාසය හා විකාශයන් ගැනත් අවබොධයක් ඇතිව ලංකාවේ ඉතිහාසය දෙස බලන්න පුළුවනි නම් ආදානග්‍රාහී ලෙස අල්වා ගන්නේ නැතිව වඩා නිදහස්ව ඉතිහාසය දෙස බලන්න පුළුවන් වෙයි. ඔයා කියා ඇති පරිදි ම ඉඩ ලැබෙන ලෙස අපි මේ විෂයයන් ගැන කතා කරමු. ඔයා කර ඇති ඉල්ලීමට අදාලව වෙනස් ක්‍රමයක් ගැන මගේ අදහසක් තියෙනවා. ඉදිරියෙ දී දැනුම් දෙන්නම්.

Have no time to type in Sinhala. But seeing the two posts had to comment on these things. The thing that caught my eye was you saying " All these debates arise when one needs or searches for a single reason." I too think that this is the root for discussions like this. As I have stated earlier I believe the relativity even in history. That means history may be different for two different individuals depending on their perceptions and most importantly history is what one believes history is to be. Hope to write more on this soon. Till then BS.

"මේ ප්‍රකාශය ද ක්‍රම විරෝධීයි. අනුරාධපුරයෙන් ලැබී ඇත්තේ බ්‍රාහ්මී අක්ෂර තුනක් පමණක් සහිත මැටි බඳුන් කැබැල්ලකි. එය වචනයක මුල හෝ මැද හෝ අග කොටස දැයි තීරණය කළ නොහැකි ය. එහෙයින් ඒ අකුරු තුන පූර්ව සිංහල කියා හෝ පූර්ව දෙමළ කියා හෝ නම් කළ නොහැකි යි"

ඔබ ආයෙත් කරන්නේ කරුණු නොසලකා හැරීමක්. අනුරපුරෙන් හමුවූ වළං කැබැල්ලේ පවතින්නේ "දක්ෂිණ / ද්‍රවිඩ" බ්‍රාහ්මී අක්ෂර. මම මෙහිදී බස ගැන කතා කර නෑ. ක්‍රි.පූ. 5 - 6 සියවස් වල දක්ෂිණ බ්‍රාහ්මී වලින් ලියා ඇත්තේ කුමන බසද යන්න ඒ හැටි ප්‍රශ්නයෙක් නොවේ. වැදගත් දෙය වනුයේ දකුණු ඉන්දියාවට සමකාලීනව භාෂා ඒවායේ අකුරු ඊට නියමිත හැඩයන් ගන්නට පෙර ලියවුණු ඒවා විමයි. මෙකල අප රට වහරන ලද බස කුමක්ද යන්න සිතිය හැක්කේ අනුමානයෙන් පමණි. එනමුත් මිනිඳු හිමියන් වැනි උතුරු ඉන්දීයයෙක් දැන සිටි බස මෙරට ජනයා දැන සිටි බසට ලං වන්නට ඇත. මිහිඳු හිමියන් භාෂා පරිවර්තකයන් යොදා ගෙන දම් දෙසූ බව අප අසා නැත. (එහෙමත් වෙන්නට පුළුවන් යයි පිටස්තරයා මෙහිදී කියනු ඇත!). ක්‍රි.පූ. 5 - 6 සියවසේ සිට වසර 300 කින් මෙරට ජනය වහරන බස ද්‍රවිඩියනු එකක සිට ඉන්දු ආර්ය එකකට හදිසියේම පෙරළුණා යයි සිතීමද අපහසුය.
තවහ්ඩ "කට", "බඩ", "ඔලුව" ආදී වචන කිසිදු ඉන්දු ආර්ය හෝ ද්‍රවිඩියානු බාක දකින්නටද නැත. "ඇ", "ඈ" ස්වර සහිත වචනද එසේමය. මේ ස්වර අප ණයට ඉල්ලා ගත් ඒවා බවට සාධකධ නැත. එය මෙරට මුල් පදිංචි කරුවන් වහරන ලද බසෙහි වසර 2500 කට පසුව ඉතිරි වූ නටබුන් ලෙස සිතිය හැක.

ඔබේ අදහස් වලට එකහෙලා එකඟ වෙමි.

මම ඉතිහාසය විශයයක් ලෙස හදාරා නැත්තෙමි. රවා පැවසූලෙස පාසලෙහිදී
වසර කිහිපයක්, පැරණි ශිෂ්ඨාචාර පිලිබඳව හදාරා ඇත්තෙමි.මගේ ප්‍රියතම
විශයයක් හෙයින් හැකි සැමවිට ඒ පිලිබඳව කියවමි.

අද ඉතිහාසය විවරණය කෙරෙනුයේ, තම තමන්ගේ සහ තම නායකයන්ගේ
න්‍යාය පත්‍රයන් අනුව, තම මතවාදයන් හුවාදැක්වීමේ මෙවලමක් ලෙසය.

පිටස්තරයා සඳහන් කරණ මහාචාර්යවරයා පැවසූ පරිදි අන් රටවලින්
අප වෙනස්වන මූලික කාරණයක් නම් අපට ලිඛිත "ඉතිහාසයක්" පැවතීමයි.
අපට මූලිකවම වැරදුනු තැන වංශ කථාවක්ඉතිහාසය ලෙස සලකා කටයුතු කිරීමයි.

මහා වංශය අනුව ඉතිහාසය විවරණය කිරීම, යමෙක් උපන් වේලාව
අනුව පැවසූ අනාවැකි අනුව තම දිවිය සකස්කරගැනීමක් බඳුය.

හරවත් ලිපියට නැවතත් ඔබට ස්තුතියි, පිටස්තරයා.

@ No Frames

ඔබේ ප්‍රකාෂය ඔබේ ලිපියේ එන්නේ මෙහෙමයි.
"පුරාණතම “පූර්ව-සිහල” ලේඛණය පුරාණතම “පූර්ව-දමිළ” ලේඛණයට වඩා සියවසක්වත් පැරැනිය."
මේ අනුව පූර්ව පූර්ව සිංහල අක්ෂර පූර්ව දෙමළ අක්ෂරවලට වඩා පැරණියි. ඊළඟට ඔබ කියනවා "එනිසා ලංකාවේ භාවිත වූ බස මෙහි පැමිණියේ ක්‍රි.පූ. 5 වන සියවසටත් එපිටින් වීමට බොහෝ ඉඩ ඇත" කියා. මෙහි 'එනිසා' යන්න යෙදීමෙන් ඔබ අදහස් කරන්නේ පූර්ව සිංහල අක්ෂර පූර්ව දෙමළ අක්ෂර වලට වඩා සියවසකින් පමණ පැරනි වීම නේ ද? පූර්ව සිංහල අක්ෂර ලෙස ඔබ හඳුන්වන්නේ අනුරාධපුරයෙන් හමු වූ මැටි කැබැල්ලේ වූ බ්‍රාහ්මී අක්ෂර කිහිපය. මේ අනුව ඔබ ගොඩනගන අදහස තනි වාක්‍යකින් මෙහෙම කියන්න පුළුවන්. එනම් "අනුරාධපුර ඇතුල්නුවරින් ලැබුණු මැටි කැබැල්ලේ ඇති අක්ෂර පුරාණතම පූර්ව සිංහල අක්ෂර ලෙස හැඳින්විය හැකි අතර ඒ සාධකය පදනම් කරගෙන ලංකාවේ භාවිතා වූ බස මෙහි පැමිණියේ ක්‍රි.පූ. 5 වන සියවසටත් එපිටින් වීමට බොහෝ ඉඩ ඇත කියා නිගමනය කළ හැක" කියා. මෙතැන මා මතු කරන ප්‍රශ්නය තමයි කොහොමද මේ අක්ෂර කීපය පදනම් කරගෙන කියන්නේ ලංකාවේ භාවිතා වූ බස මෙහි පැමිණියේ ක්‍රි.පූ. 5 වන සියවසටත් එපිටින් කියා. මෙතන ඔබ කතා කරන්නේ ලංකාවේ එතෙක් පැවති භාෂාවක් ගැන නොවේ. පිටතින් ආ එකක් ගැන. ඒ මොන භාෂාව ද? මේ අකුරු තුන පදනම් කරගෙන එබඳු උපකල්පනයක් කරන්නේ කොහොමද?

"එනමුත් මිනිඳු හිමියන් වැනි උතුරු ඉන්දීයයෙක් දැන සිටි බස මෙරට ජනයා දැන සිටි බසට ලං වන්නට ඇත. මිහිඳු හිමියන් භාෂා පරිවර්තකයන් යොදා ගෙන දම් දෙසූ බව අප අසා නැත." මේ උපකල්පනයට මමත් සෑහෙන්න පක්ෂයි. නමුත් නෝ ෆ්‍රේම් ප්‍රශ්නයක් තියෙනවා. කි.ව 410 විතර ඉන්දියාවටත් ලංකාවටත් පැමිණි ෆා හියන් භික්ෂුව වාර්තාකරනවා දකුණු ඉන්දීය ජනයා අතර විශ්වාසයක් තිබුනා කියා එම ප්‍රදේශයේ ද බුදු දහම ප්‍රචාරය කළේ මිහිදු හිමි කියා. නමුත් ලංකාවේ මෙන් දකුණු ඉන්දියාවේ පැවති බුදු දහම ගැන තොරතුරු හොයන්න එහි වාසය කළ අය විසින් ලියූ වාර්තා අදවන තෙක් ඉතිරිව නෑ. පසු කාලයේ ඇති වූ ආගමික වෙනස් කම් ඉදිරියේ බුදු දහම ඇදහූ අය ද ජෛන දහම ඇදහූවන් ද ඔවුන්ගේ පොතපත ද දරුණු ලෙස විනාශ කෙරුණු ආකාරය ගැන ඔබ අසා ඇතැයි හිතනවා. අදටත් දකුණු ඉන්දීය දෙමළ අය අතර උත්සවයක් තිබෙනවා. එහි ආරම්භය අතීතයේ කාලයක බෞද්ධයින් හා ජෛනයින් (ගිහි හා පැවිදි) ඒකරාශී කොට එක්තැනක දී ඝාතනය කිරීමයි. මා චෝල රාජ්‍ය කාලයට අයත් සෙල්ලිපි කියවා තිබෙනවා යම් යම් වැරදි වලට බෞද්ධ භික්ෂූන්ගේ පා බිඳ දැමූ ආකාරය වාර්තා කරන. (මෙහි දී මතක තබාගන්න මේ ආකාරයට බෞද්ධයිනව ඝාතනය කළේත්, බෞද්ධයින් හැටියට ඝාතනය වුනේත් දෙමළ අය මිස සිංහල අය නොවන බව). මේ ආගමික අසහන ශීලීත්වය නිසා දකුණු ඉන්දීය දෙමළ බෞද්ධයින් ගැන හෝ එහි බුදු දහම මිහිඳු හිමියන් විසින් පැතිරවීම ගැන කතා කරන්න අපට වෙනත් සාක්ෂි ඉතිරි වී නෑ. නමුත් මිනිසුන් අතරේ තිබුණු මේ විශ්වාසය අපිට නිකන්ම බැහැර කරන්නත් බෑ. දැන් මතුවන ප්‍රශ්නය තමයි නෝ ෆ්‍රේම්, මිහින්දු හිමි දකුණු ඉන්දියානු ප්‍රදේශවලත් බුදුදහම ප්‍රචරය කළා නම් එහිදී උන්වහන්සේ භාවිතා කළ භාෂාව මොකක් ද කියන එක. ඔයා හඳුන්වා දුන් සූත්‍රයටම අනුව උන්වහන්සේ දෙමළ බස හෝ/ද්‍රවිඩියානු බසක් දැන සිටියාද? එසේ නැත්නම් භාෂා පරිවර්තකයෙකු භාවිතා කළා ද? මේ අනුව ඔබට වැටහෙනවා ඇති මේ විෂය තුළ තිබෙන සීමා ගැන. ඒවා හිතන තරම්ම් සරල නෑ කියන එක ගැන.

Cntd..

තව දෙයක්. ඉස්සර පංතිවල පවා ඉගැන්නුවේ මිහිඳු හිමි ලේඛණ කලාව ද සාහිත්‍යයද ආගම ද අප රටට හඳුන්වා දුන් බවයි. ඒ කලයේ කවුරු හෝ කීවානම් මිහිඳු හිමි එන්නටත් පෙර ලංකාවේ ලිවීම දැන සිටියා කියා ඔහුට නිසැකව ම බරපතල විරෝධතාවයකට මුහුණ දෙන්න සිදු වෙනවා. නමුත් අනුරාධපුරයෙන් හමු වූ අක්ෂර සහිත මැටි බඳුන් කැබැල්ල නිසා පෙර කී අදහස දැන් වෙනස් වී ඇති අතර ඕනෑම කෙනෙකුට නිර්භයව ඒ අදහස ප්‍රකාෂ කළ හැකියි. ඔබට පෙනෙනවා නේද ඉතිහාසය යනු අළුත් සොයා ගැනීම් සමග වෙනස්වන දෙයක් බව. ඒ අනුව අපට අවසන් නිගමන දෙන්න බැරි බව. මම මේ ටි කීවේ “පූර්ව-සිහල” ලේඛණය පුරාණතම “පූර්ව-දමිළ” ලේඛණ ට වඩා සියවසක්වත් පැරැනිය කියා ඒ මත ඔබ ගොඩ නගන නිගමණ වලට අදාලවයි. දැනට ඉතා හොඳින් පුරාවිද්‍යා ප්‍රමිතීන්ට අනුව දාතම තීරණය කරන ලද කැණීම් තුනක් ම කෙරී ඇත්තේ ලංකාවේ අනුරාධපුරයේයි. පළමුවැන්න කළේ දැරණියගල විසින්, දෙවැන්න මට මතක නෑ. තුන්වැන්න කොනින්හැම් නම් ඉන්ග්‍රීසි ජාතිකයාගේ නායකත්වයෙන්. මේ තුනම අන්තර් ජාතිකව පිළිගන්නා කැණීම්. නමුත් එතරම් අවස්ථා ගණනක් පිළිගතහැකි විශ්වාසදායී ලෙස කැණීම කළ අවස්ථා ප්‍රමාණයක් දකුණු ඉන්දියාව තුළ අඩු බව මා හා ප්‍රකාශ කළේ ඉන්දියානු පුරාවිද්‍ය මහාචාර්යවරියක්. සහෝදරයා, මේ අනුව දකුණු ඉන්දියාව තුළ ඉදිරියේ කරන කිසියම් කැණීමකින් ලංකාවෙන් හමුවුණාට වඩා පැරණි කාලයකට අදාල ලේඛණ හමුවිය හැකියි. හරියටම මිහිඳු හිමි අපට අක්ෂර හඳුන්වා දුන්නේ නෑ කියා පිළිගන්න වුණා සේම අපට පිළිගන්න වෙයි දැනට සොයාගෙන ඇති පැරණිම ලේඛණ හමු වී ඇත්තේ ලංකාවෙන් නොවේ කියා. ඒ කියන්නේ මේ සොයා ගැනීම් මත අපට අවසන් තීන්දුවකට යන්න බෑ. ඒ නිසයි මා කියන්නේ මේ විෂයය ඉතා ඉහල සංයමයකින් අතගැසිය යුතු විෂයයක් කියා.

අනෙක් සාධකවලින් ඔබ පෙන්වා සිටින්නේ සිංහල භාෂාවේ අනන්‍යතාවයට අදාල සාධක. මා කිසිම තැනක එයට අභියෝගයක් එල්ල කර නැති නිසාත් සිංහල බස ඉන්දු ආර්ය මූලයකින් හට ගත්තක් බව මා පිලිගන්නා බව ඔබම පිළිගන්න නිසාත් ඒ ගැන මා කිසිවක් ලියන්න උත්සාහ කරන්නේ නෑ.

නෝ ෆ්‍රේම්, මම ඔබේ හතුරෙක් නොවෙයි. ඇත්ත වශයෙන් ම මම ඔබේ පමණක් නොව ඔබේ දරුවන්ගේ ද මිතුරෙක්. දවසක එය ඔබ වටහා ගනියි කියා හිතනවා.

ඒ හැර කියවන ඔබගෙන් ඉල්ල සිටිනවා නෝ ෆ්‍රේම් මිත්‍රයා ලියා ඇති ලිපියත් එයට මා දක්වා ඇති පිළිතුරත් ඔහුගේ බ්ලොග් අඩවියට ගොස් කියවන ලෙස. එහි ලිපිනය:
http://peramunerala.wordpress.com/2010/09/05/%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%94%E0%B6%B8-3/#comments

@ Ravi
ස්තූතියි රවි, ඔබේ අදහස් දැක්වීමට හා අගය කිරීමට.

ඔබගේ පිලීතුර මයියා ට ප්‍රශ්ණයක් ඇති කරනවා..මන්ද මයියා ද ඔබ දක්වා ඇති අකාරයට ඉතිහාස විශය පිලිබද ව ක්‍රමාණුකුල අධ්‍යාපනයක් නොමැත්තෙකු වීමයි. නමුත් මයියා ඉතිහාසය ඉතා කැමති විශයපථයක් හා ඒ පිලිබදව ස්වයOඅධ්‍යනයක් නිරත වෙන්නක්.

පිටස්තරයා දක්වා ඇති අන්දමට ඉතිහාසය ඒ පිලිබදව ක්‍රමාණුකූල අධ්‍යාපනයක් නොලැබු අයෙකු වීසින් අතගැසීම එතරම් හොද කටයුත්තක් නොවන බවයි. මයියා මේ කියමන පහත අකාරයට සOශෝදන කිරීමට යොජනා කරනවා.

"ඉතිහාස විශය, ශ්‍රාස්තිය ක්‍රමවේදය (research methodology) ගැන පුහුනුවක් නොලැබුවෙකු විසින් කිරීම හොද කටයුත්තක් නොවෙයි"

මේ පිලිබදව පිටස්තරයාගේ අදහස දැන ගැනීමට කැමතියි.

අවසාන වශයන් පෙරවතාවල් සේම මෙවරත් ඔබගේ ලිපිය මනා අධ්‍යනයකින් යුතුව , මහත් වෙහෙසක් දරා ලියා ඇති බව හැගෙනවා.

ඔබගේ සියලු අදහස් සමග මයියා එකග නොවුනත් , ඔබ වැනි ලේඛකයන් සිOහල බ්ලොග් අවකාශයට සම්පතක් බව මයියා විශ්වාස කරනවා.

@ maiyyagelokaya

ස්තූතියි මයියා අගය කිරීමට හා දිරි ගැන්වීමට. ඔබේ ලිපියේ "ඔබගේ පිලීතුර මයියා ට ප්‍රශ්ණයක් ඇති කරනවා.." යන්නෙන් අදහස් කළේ මොන පිළිතුර ද කියා මට අඳුනගන්න බැරි වුණා. මම සමස්තයක් ලෙස අදහස් කළ දේ නෝ ෆ්‍රේම් සහෘදයාට පිළිතුරු ලෙස ලියන ලද පහත වාක්‍ය කිහිපය තුළ අන්තර්ගත වෙනවා කියා හිතනවා.
"මා පෙන්වා දුන්නේ ඉතිහාසය විෂය විනෝදයට අතගැසිය යුතු විශයයක් නොවන බව හා ඉතා වගකීමෙන් අතගැසිය යුතු විෂයයක් බවයි. වාහන පැදවීම ඒ පිළිබඳ නිසි පුහුණුවකින් තොරව නොකළ යුතුය කියා කියන්නේ එය අප සැමට අණතුරු දායක වන නිසා විනා රියැදුරන් ගේ අධිපතීත්ත්වයක් පවත්වා ගැනීමට නොවේ. ...අන් ජාතීන් හා ආගමිකයන් සම්බන්ධ සංවේදී මාතෘකාවල දී මෙය වඩාත් අදාලයි. වෙනත් විෂයයක් සම්බන්ධයෙන් කෙසේ වෙතත් සිංහල භාෂාව, සංස්කෘතිය හා ලංකාවේ ඉතිහාසය වැනි විෂයයක් කතා කිරීමේ දී ලංකාවේ ඉන්නා කෙනෙක් අන්තර්ජාලය මත යැපෙන්න ඕන කියා මා හිතන්නේ නෑ. අවශ්‍ය තරම් පොත පත, උගතුන් එහි වෙසෙන නිසා. ඒත් කාගෙවත් හිත් නොරිදෙන අංශ ගැන,මිනිසුන් අතර භේද භින්නතා ඇති නොවන අංශ ගැන හා ඇති වී තිබෙන භේද භින්නතා වැඩි නොවන අංශ ගැන කතා කිරීමේ දී අන්තර්ජාලය භාවිතා කළාට මගේ විරෝධයක් නෑ. එහිදී ඉදිරිපත් වන කරුණු වැරදි වුණත් සිදුවන හානිය ඉතා අඩු නිසා. මම හිතනවා වැඩි දෙනෙක් මෙකී මා ඉදිරිපත් කළ අදහස් සමඟ එකඟ වෙයි කියා.

"නිසයි මා කියන්නේ මේ විෂයය ඉතා ඉහල සංයමයකින් අතගැසිය යුතු විෂයයක් කියා."

මේ හැමතැනකම මම කියන්න උත්සාහ කරන්නේ අවශ්‍ය කරන සංයමය, ඉවසීම හා විෂය පිළිබඳ ප්‍රාමාණික උගතුන්ගේ අදහස් මොනවා දැයි දැනගැනීමේ අවශ්‍යතාවය. මෙතැන දී 'ප්‍රාමාණික උගතුන්' මම විශේෂයෙන් සඳහන් කරන්නේ නොයෙක් අය මේ විෂයයට අදාල දෑ කිසිත් වග විභාගයක් නැතිව ලියා ඇති නිසයි. ඒත් "ඉතිහාසය ඒ පිලිබදව ක්‍රමාණුකූල අධ්‍යාපනයක් නොලැබු අයෙකු වීසින් අතගැසීම එතරම් හොද කටයුත්තක් නොවන බවක් නොවෙයි මා කියන්නේ. එහි ඇති සීමාවන් ගැන අවබෝධයකින් ඉතා සංයමයෙන් හා ඉවසීමෙන් කරුණු සොයා බලා කටයුතු කිරීමයි මා අදහස් කරන්නේ. ඉන්දීය ඉතිහාසය ලිවීම ඉතා ප්‍රසංසනීය නව මගකට යොමු කළේ දමෝදර් ධර්මානන්ද් (ඩී. ඩී.) කෝසම්බි. නමුත් ඔහු ඉතිහාසය පංතිවල උගත් කෙනෙක් නෙවෙයි. නමුත් ඉන්දීය ඉතිහාසඥයන් තුළ ඔහුට ඇති ගෞරවය ඉතාම ඉහලයි.

මගේ ලිපියේ මාතෘකාවට නම් "'ඉතිහාසය' නොදැන අත නොගැසිය යුතු විෂයයකි...!" කියා යෙදුවා තමයි. ඒ නිගමණ වාක්‍යයක් ලෙස නොව බලන අය තුළ කුතුහලයක් ඇති කිරීමේ අරමුණෙන්. :) ඔයා ඉදිරිපත් කරන සංශෝධනය මාගේ ලිපියේ අන්තර්ගතයෙන් කියාපාන අදහස අදහස සමඟ එකගයි.

පිටස්තරයා ජාතින් අතර පවතින වැරදි ආකල්ප දුරලීමට ගන්නා වෙහෙස අගය කල යුතුයි නමුත් ඒ සඳහා ඔහු භාෂා වල මූලය,ඉතිහාසය වැරදි ලෙස අර්ඨකටනය කරනවාදෝ කියලා වෙලාවකට හිතෙනවා.............

මගේ මතය නම් මෙ ලංකා පොලොවේ පලමු ආක්‍රමනිකයෝ වෙන්නේ ඔය විජය කුමාරයා ඇතුලු පිරිස වෙන්න ඔනේ...මොකද ඔවුන් එන්න කලිනුත් යක්ශ ,නාග ගොත්‍රිකයන්ගෙන් සමන්විත දියුනු ශිෂ්ටාචාරයක් තිබ්බා....ඔවුන් කතා කරපු බාෂාව මොක්කද කියලා පැහැදිලි නැතත්
.........ඊට පස්සේ ලංකාව තුල වර්ධනය වෙච්ච භාෂාව ඔය කියන ආර්ය පවුලට නෑකම් කියන එකක් වෙන්න ඇති.....එකට හොඳම උදාහරනය මිහිඳු හිමියන් හා දෙවනපෑතිස් රජු අතර සංවාදයයි....ඔවුන් දෙදෙනා එවන් තාර්කික සංවාදයක් එකිනෙකට නොගැලපෙන භාෂා දෙකකින් කලා කියල හිතන්න අමාරුයි (මිහිඳු හිමියන් උත්තර ඉන්දියානු මූලයකින් පැවත එනවා කියන එකයි මෙකෙ උපකල්පනය )

හැබයි එකෙන් කියවෙන්නේ නෑ දකුනු ඉන්දියාව එක්ක අපිට තිබ්බෙ ආක්‍රමනික සම්බන්දතා විතරයි කියල.......ඉස්සර ලන්කාවේ බොහෝ රජවරු තමන්ට සේනාවෙ තිබ්බ පක්ශපාතීත්වය අඩු වෙන කොට සේවයට යොදගතේ...දකුනු ඉන්දියාවෙන් ගෙන්නගත්ත
හෙවායින් (පල්ලව,පාණ්ඩ්ය ,චොළ ),අනික බොහෝ කලා ශිල්ප වල ආභාෂය දකුනු ඉන්දියාවෙන් ගත්තා කියලා පැහදිලිවම පේනවා, අනික ඉඳලා හිටලා හරි දමිල බොඌද්යයෝ හිටියා කියල සාක්ෂිත් තියෙනවා.......

මම පිටස්තරයට යෝජනා කරන්නේ ඉතිහාසය මත පදනම් වෙන්නේ නැතුව සින්හල දෙමල අයිතිවසිකම් සම තත්වයකට ගෙන්න මහන්සි වෙමු කියල.මොකද කාගේ කගෙත් කිල්ලොට වල හුනු ටික ටික හරි තියෙනවා...මට ලියන්න ගොඩක් අදහස් තිබ්බත් මගෙ ලිවීම හුඟක් දුර්වලයි ඉඩ ලැබුන වෙලාවක තමා මෙක ලිව්වෙත්....අවසාන වශයෙන් සමතයක් විදියට ඔබේ අරමුනට මම ගරු කරනවා........නමුත් එකට යා යුතු මාර්ගය මීට වඩා වෙනස් විය යුතුයි

@chatura

ඔයා මුළින් කියා ඇති කාරණා ගැන මම කිසි දෙයක් කියන්න යන්නේ නෑ. ඒවාට අදාල බොහෝ දෑ මෙන් ම ක්‍රමවේදයන්හි ඇති ප්‍රශ්නත් මම මීට පෙර කතා කර ඇති නිසා.

"මම පිටස්තරයට යෝජනා කරන්නේ ඉතිහාසය මත පදනම් වෙන්නේ නැතුව සින්හල දෙමල අයිතිවසිකම් සම තත්වයකට ගෙන්න මහන්සි වෙමු කියල."
මේ කියමනත් එක්ක මම එකඟයි. ඇත්තටම සිංහල දෙමළ යහපත් සම්බන්ධතාවලට බාධක ලෙස ඉදිරිපත් වෙන 'ඉතිහාසය ලිවීම' තුළ හා එසේ 'ලියන්න තැත්කරන්නන්' තුළ ඇති ප්‍රශ්න හා විසංවාද මතු කරන්නයි මම මගේ ලිපි ඔස්සේ උත්සාහ කළේ.

ඔබේ අගය කිරීමටත් අදහස් දැක්වීමටත් ස්තූතියි.

hello, i dont know much about history, but i recently bumped in to this page http://en.wikipedia.org/wiki/Genetic_studies_on_Sinhalese and according that and the latest genetic studies, sinhalese are more closer to northen indians than southern indians while lankan tamils are much closer to sinhale genetically than the the southern indians. Based on these studies its evident that this island was initially populated by northern indians and later got mixed with southern indians due to geographical proximity. And the same time lankan tamils are more likely to be the northern sinhalese who started speaking tamil due to tamilnadu influence.

ඉතිහාසය ගැන කතා කර කර සිටීමට වර්ථමානයට මුහුන දීම වැදගත් යැයි සිතමි. අද දින සමරන නිදහස පිළිබද කුඩා මතවාදයක්.

http://freepronotes.com/category/sinhala-blog/non-tech/

Post a Comment

Post a Comment