බාලචන්ද්‍රන්ගේ මරණය සහ 'බාල' අපි

By පිටස්තරයා-2

බාලචන්ද්‍රන්ගේ මරණය ගැන නොයෙක් තැන අදහස් පළවී තිබිණ. මේ වෙද්දීත් පලවෙමින් පවතී. සමහරෙක් 'ඔච්චරකල් ඔය පොටෝ තියාගෙන සිටියේ ඇයිදැ'යි ප්‍රශ්න කරති. තව සමහරෙක් ඔහුව කොටින් විසින්ම මරා ඡායාරූප ගතකරගෙන ඇති බව කියති. 'ඔයිට වඩා කොටි කොච්චර දරුවන් මැරුවා ද' කියා තවකෙක් අසයි. එල්ටීටී එකෙන් මැරූ දරුවන්ගේ ඡායාරූප ද හමුදාව තුවාල කරුවන්ට උපස්ථාන කරන ඡායාරූපද තරඟයට මෙන් ඉදිරි පත් කෙරෙයි. ඇත්තටම මෙය තරඟයකි.

හැබෑ ලෙසම මියගොස් ඇත්තේ බාලචන්ද්‍රන් ද? 

බාලචන්ද්‍රන්ගේ මරණයට අදාල කිසිවක් අද දක්වා කිසි තැනෙක මම නොලීමි. ඒ සම්බන්ධයෙන් අද ද මට කිය හැක්කේ මීට වුරුදු දෙකකට පමණ පෙර මේ බ්ලොග් අඩවිය තුළ සිට කී දෙයමය. එනම් යුද්ධය තුළ බිහිවන්නේ ම්ලේච්ඡ පරිසරයක් පමණක් බවයි. එවන් තත්ත්වයක දී සාමාන්‍ය තත්ත්වයන් යටතේ සිදු නොවන ඕනෑම දෙයක් සිදුවිය හැකි බවයි. මිනිසා තුළ නිසගයෙන් පවත්නා ම්ලේච්ඡත්වයට මතුවීමට ඉඩ ලබා දෙන පරිසරයක් ඇතිවූ විට ඔහු ම්ලේච්ඡයෙකු ලෙස හැසිරීම සිදුවිය හැකි බැවිනි. එය සිංහල හමුදාවට පමණක් සීමාවන තත්ත්වයක් නොවේ. දෙමල අයට එරෙහිව පමණක්ම සිදුවන්නක් ද නොවේ. 87-89 කාලය තුළ අඩුවැඩි වසයෙන් එය සිංහල සමාජයට එරෙහිව ද සිදු විය. එමෙන්ම අඩු වැඩි වසයෙන් දෙමළ (එල්ටීටීඊ) හා සිංහල (ජේවීපී) සන්නද්ධ කණ්ඩායම් අතින් ද සිදු විය.

ඒ නිසා හෙට අනිද්දා වනවිට තවතවත් අළුත් ශාක්ෂි ගෙනහැර දැක්වුවා කියාත් පුදුම වෙන්නට කිසි කාරණාවක් නැත. යුද්ධයක් තුළ සිදුවිය නොහැකි යමක් සිදුවී ඇති බවක් කවුරුන් හෝ පෙන්වා දුන්නොත් එයට පමණක් මම පුදුම වෙමි. බාලචන්ද්‍රන්ගේ මරණය ගැන මට පුදුම වීමට කිසිවක් නැත්තේ එබැවිනි. ඔහුව මැරුවේ හමුදාව වුවත් කොටි වුවත් මගේ අදහස ඒ දරුවා ගේ හැබෑ මිනීමරුවා යුද්ධය බවයි.

පුදුම විය යුත්තේ මෙවැනි හා මීටත් වඩා ම්ලේච්ඡත්වයන්ට මග පාදන යුද්ධයන් ඇතිවීමට හේතුපාදකවන තත්ත්වයන් වළක්වා ගැනීමට අවශ්‍යවන වගකීම් සහගත හැසිරීම තිස් අවුරුදු යුද්ධයකට පසුවත් ශ්‍රී ලාංකික සමාජය තුළ වර්ධනය නොවූයේ ඇයි ද යන්න සම්බන්ධයෙනි. හැබෑ ම්ලේච්ඡත්වය ඇත්තේ එහිය. හැබෑ මරණය සිදුව ඇත්තේ එතැනය.

යුද්ධය නිම වී මාස අටක් පමණ ගත වූ තැන සිට මා අතින් ලියැවුණු  මේ බ්ලොග් අඩවිය තුළ දී මා උත්සාහ කළේ මෙන්න මේ කාරණය වෙත අවධානය යොමු කිරීමටයි. එහි හැම ලිපියකම ඇත්තේ ඔය කී කාරණයයි. අද වන විට මා අවසන් බ්ලොග් ලිපිය ලියා අවුරුදු දෙකක් පමණ ගතවී ඇත. මේවන විට අප සිංහල සමාජය මුස්ලිමුන්ට එරෙහි කළු ජුලියකට අවශ්‍ය පරිසරය සකසාගෙන හමාරය. මෙවර ද එහි නායකයන් එසේ කරන්නේ ‘බුද්ධාගම’ ‍රැකගන්නටය.

කොතැන හෝ වැටෙන ගිණිපුපුරකින් ගින්න ඇවිලීමට අවශ්‍ය ඉන්ධන අවශ්‍ය පරිදි විසුරුවා හැර අවසන්ය. ගින්න ඇවිලෙන තුරු මොහොතක් ඉවසීමෙන් බලා හිඳිමු. එයින් වසර විස්සක් තිහක් ගිය පසු අපට ආයෙත් සැරයක් මේ වගේ කාණුවක වැටී ඇති දරුවෙකුගේ මරණය ගැන ඡායාරූප තරඟයකට සහභාගී වීමේ අවස්ථාව උදාකර දෙනු ඇත. එතෙක් ටිකක් ඉවසීමෙන් කටයුතු කරමු.

3 Comments

හරියටම හරි.
යුද්ධයටම ආසා කරන ම්ලේච්ඡයෝ.

හිටපු රජයේ නිළධාරියෙකු කියන මේ කතාවත් කියවන්න.
"අපි කාලයක්‌ අපිම කරපු අමනෝඥ වැඩ හින්ද ලෝක ප්‍රජාව හමුවෙ අපේ හොඳ නම කැත කර ගත්තා. පාඩුත් සිදුකර ගත්තා. ...මහ කොළඹ ආර්ථික කොමිසමේ මම ජේෂ්ඨ නිලධාරියෙක්‌ ලෙස සේවය කළා. ඒ කාලෙ ජංගම දුරකථන සඳහා චිප්ස්‌ හදන ඇමරිකානු සමාගමක්‌
සමග අපි ගිවිසුමක්‌ අත්සන් කළා. අපේ රටේ තරුණයන් 800 කට පමණ රැකියාව ලැබෙන චිප්ස්‌ හදන කර්මාන්ත ශාලාවක්‌ අපේ රටේ ඇති කරන්න ඒ අනුව පියවර ගත්තා. ඒ කර්මාන්ත ශාලාව හදල අවසාන වෙන්න කිට්‌ටුව 1983 අගෝස්‌තු මාසෙ කර්මාන්ත ශාලාවෙ ප්‍රධානියා ඇවිත් අපට කිව්වා අපි ශ්‍රී ලංකාවෙන් යනව කියල. හේතුව හැටියට ඔහු කිව්වෙ අපේ ආයතනයේ ප්‍රධාන නිලධාරියෙක්‌ව හිටපු දෙමළ ජාතිකයෙක්‌ වැල්ලවත්තෙදි පුච්චල මරල. මේ කර්මාන්ත ශාලාව මැලේසියාවට ගෙනියන්න අධ්‍යක්‍ෂ මණ්‌ඩලය තීරණය කරල තියෙනව කියලා. පසුගියදා මැලේසියාවේදී ඒ මෝටරොල්ලා ෆැක්‌ටේරිය බලන්න මම ගියා. 20,000 කට වැඩි පිරිසක්‌ අද එහි රැකියාව කරනවා"
http://www.divaina.com/2013/03/03/politics01.html

නැවතත් ඔබගේ බ්ලොග් ආගමන සතුටක්...


බාලචන්ද්‍රන් දරුවාගේ ඝාතනය රජයේ හමුදා අතින් සිදූ වූ වා යැයි සිතීමටවත් ඇතැමෙක් අකැමැතියි. නමුත් ඔබ නිවැරදිව දක්වා ඇති අන්දමට යුද්ධයක් ඇති මිලේච්‍යතවය සලකන කල ඒය සිදුවියි නොහැක්කක් ලෙස සැලකීම අපහසු දෙයක්...

මා බාලචන්ද්‍රන් දරුවාගේ ඝාතනය ගැන මගේ අවංක හැගීම මගේ කුඩා පෝස්ට් එකකින් කියා සිටියා....වෙනත් දෙමල දරුවෙකුගේ නිසල ලේ ගලා ගිය දේහය දැක අවංවම යුද්ධයට සාප කල මට මේ ඝාතනය සම්භ්න්දයෙන් එවන් කම්පනයක් ඇති නොවීම මාවම ප්‍රශ්ණ කිරීමකට ලක් කලා....එය මගේ අදහස්, දැනුම, විශ්වාසයන් දෙදරවන තරම දෙයක්.....දින ගනනාවක මගේ හැගීම් සමග මා තර්ක කලත් මා වෙනස් වී නෑ....මා එය යුද්ධයේ මිලේච්‍යත්වයට භාර දී සිත නිදහස් කර ගැනීමට උත්සහ කරනවා...

1915 දී ලංකාවේ සමාජ පසුබිමත් වර්තමාන සමාජ් තත්වයට දෙවෙනි නෑ........එකම වෙනස එකල සුද්දා රට පාලනය කල එක පමණයි....ඉතිහාසය හදාරන ඔබ මෙය සංසන්ධනාත්මකව බලා ලිපියක් ලිවීමට මා ඔබට යෝජ්නා කර සිටිනවා....

Post a Comment

Post a Comment