By පිටස්තරයා-2
(This is a continuation of the same discussion started in the previous post)
මෙතෙක් මා සමග එකතු වූ සහෝදර ඔබ සැම දෙනා වෙත,
මේ කාර්යයේ දී හමුවූ ඔබ සැමදෙනාම දැක් වූ ප්‍රතිචාර මනුශ්‍යයත්වය පිළිබඳවද අපගේ මව්බිමෙ සාමය සහෝදරත්වය සම්බන්ධයෙන් ද මහත් වූ බලාපොරොත්තු ඇති කළා.
මා විශ්වාස කරන විදියට යුදභටයෙකු ලෙසින් මියගිය මගේ ලොක්කයියාගේ මරණයද තවත් දස දහස් ගණන් සිංහල/ දෙමළ තරුණ තරුණියන් ගේ මරණද වළක්වා ගන්න තිබුනා. ඒත් අපේ/ඔබේ දරුවන්ට එවැන්නක් උරුම නොකිරීමේ වගකීම අප සතුයි. ඒ වෙනු වෙන් නොසැලී පෙනී සිටින ලෙස ඔබ හැම දෙනාටම ආයාචනා කරනවා. මට වැටහෙන ලෙස අප ඉදිරියෙ අනතුරු දායක තත්වයන් තියෙනවා. සිංහල මාධ්‍ය ඒවා අපට පෙන්වා නොදෙන නිසා සහ ඒවා අපව මේලාවක (carnival) ජීවත් කරවීමට උත්සාහ කරන නිසා අපට ඒවා දැන ගැනීමට හැකියාවක් නෑ. වෙනත් තැනක ලියූ දෙයක් ඒ සඳහා සාධක ලෙස මෙහි දක්වනවා.
“මගේ ලිපියක මම ලිව්වා තව ප්‍රභාකරන්ල විශාල සංඛ්‍යාවක් බිහිවෙන්න අවශ්ය සාධක අපි ඉදිරියෙ තියෙනව කියල. ලඟදි හමුවුනු දෙමළ මිත්‍රයෙක් කිව්වා ලක්ෂතුනක් පමණ වූ දෙමළ අනාතයන් අතරින් දරුවන් පන්සියයක් තරම් වත් තමන්ගේ මව පියා හෝ ලඟම ඥාතියෙක් කොහෙන් හෝ වැටුනු ශෙල් වෙඩිල්ලකින් තුවාල ලබල නිසිප්‍රතිකාරයක් නැතිකමින් දවස් ගණන් වැල්ලේ ඉටිරෙද්දක් මත දුක් විඳල මැරෙනව දැකල තියෙනව කියල. මේ දරුවො හෙට ලොකුවනවා. මම දන්නේ නෑ ඒ අය කවුරු වෙයි ද කියල. ඒත් මේක භයානක තත්වයක්.”
අපි ඉතාම කල්පනා කාරීව සහ වගකීමෙන් කටයුතු කළයුතු බව මාගේ හැඟීමයි. යුද්ධය කිරීම හමුදාවේ කාර්යයක් වූවාට සාමය සහෝදරත්වය ඇතිකිරීම සහ එය පවත්වාගෙන යාම කළ හැක්කේ ඔබට සහ මට. එය අපගෙ අද දවසේ කාර්යයයි. වගකීමයි.
අප ජාතීන් ලෙස භේද වීම ඇරඹෙන්නෙ බ්‍රිතාන්‍යයන්ගෙ පාලන කාලේ. මෙහි ආ ඔවුන් විසිනුයි පළමු වතාවට මිනිසුන් ජාතීන් වශයෙන් වර්ගකොට ඔවුන්ගේ අතීතය ලියන්න පටන් ගන්නේ. ඒ තාක් අප අතර ජාතියමත ඇති වූ බෙදීමක් තිබුනේ නෑ. අප ඉතාම සහෝදරත්වයෙන් ජීවත් වුණා. බ්‍රිතාන්‍යයන් ඉංදියාවේ සහ ලංකාවේ මේ බෙදීම ඇති කළ ආකාරය මම ඉතාම කෙටියෙන් දක්වන්නම්.
ඉන්දියාවේ දී ඔවුන් මුලින්ම කළේ ක්‍රි පූ 1500-1000 අතර කාලය තුළ ඉන්දියාවට රුසියානු තණබිම් ප්‍රදේශවල සිට පැමිණි පැහැපත් සමකින්ද වඩා උස ශරීරයන්ගෙන්ද, පුළුල් නලල සහ තියුණු නාසයකින් හෙබි වඩා ශිස්ටජනතාවක් විසින් ඉන්දියාව පළමු වරට ශිස්ටසම්පන්න කළාය යන අදහස ඉදිරිපත් කිරීමයි. එකී ශිස්ට් ජනයාගෙන් කොටසක් රුසියානු තනබිම් ප්‍රදේශයේ දීම බෙදී යුරොපය දෙසට ගිය බවත් ඉන්ග්‍රීසින් එසේ ගිය අයගෙන් පැවත එන බවත් ඔවුන් තව දුරටත් කියා හිටියා. මේ 'ශිස්ට' ජනයා ඔවුන් "ආර්යයන්" කියා නම් කළා.
මේ අදහස ඉදිරිපත් කිරීමට ඔවුන් පදනම් කරගත්තේ සංස්කෘත භාෂාව හා ලතින් භාෂාව අතර පෙනෙන්නට තිබූ සමීප ඥාතීත්වයයි.
මේ අදහස ඉද්‍රිපත් කළ සැනින් ඉන්දියානු ජනයා අලුත් අකාරයකට බෙදෙන්න ගත්තා. උසස් කුළවල ජනයා තමන් මෙකී ආර්යයන් ලෙස තමන්ව හදුන්වාගත් අතර ආර්යයන් එනවිට ඉන්දියාවේ සිටි අනාර්ය ම්ලේච්ඡජනයා ලෙස වර්ග කෙරුනේ ඉන්දියාවේ සිටි දෙමළ ජනයා සහ අඩුකුලවලට අයත් ජනතාවයි. මේ ආකාරයට බ්‍රිතාන්‍යයන් ඉන්දීය ඉතිහාසය ලියන්නට පටන් ගත් සැනින් එහි ජනයා භේද වුණා. ඉන්දියාවේ දෙමළ ජනයා මේ 'ආර්ය' සංකල්පය පිළිගත්තේ නෑ. මේ අතර බ්‍රිතාන්‍යයන් විසින්ම ඉන්දු නිම්න (හරප්පා) ශිස්ටාචාරය සොයාගනු ලැබුවා. ඒ අනුව ඉන්දියාවේ ශිස්ට ජීවිතය ක්‍රි පූ 1500 වඩා පැරණි බවට තීරණය වුණා. මෙතෙක් 'ආර්ය' සංකල්පය නොපොළිගෙන සිටි ඉන්දියාවේ දෙමළ ජනයා සහ අඩුකුළ ජනයා මේ සොයාගැනීමත් සමග ඒය පිළිගන්නට පටන් ගත්තා. එනම් ක්‍රි පූ 1500-1000 අතර ‘ආර්යයන්’ ඉන්දියාව ආක්‍රමණය කළ බවත් එහිසිටි ස්වදේශීය දෙමළ/අඩුකුළ ජනයා යටපත් කළ බවත් එහෙත් එකී ස්වදේශීය ජනයා අශිස්ට ජන පිරිසක් නොව ඉතා දියුනු නගර ඉදිකරගෙන ජීවත් වූ ඉතා ශිස්ට ජනපිරිසක් බව. මේ අනුව නැවත වතාවක් ඉන්දියානුවන් භේද භින්න උනා හරප්පා ශිස්ටාචාරයේ අය්තිය වෙනුවෙන්. එකී භේදයට මුල් වූයේත් බ්‍රිතාන්‍යයන් හඳුන්වා දුන් "ආර්ය" සංකල්පයයි.
ඉන්දීය ඉතිහාසයෙ යුග බෙදීම කළේත් ඉන්දියානුවන් භේද භින්නවන ආකාරයට. ඔවුන් යුගතුනක් හඳුන්වා දුන්න. ඉන්දීය ඉත්හාසයේ හින්දු යුගය, මුස්ලිම් යුගය සහ බ්‍රිතාන්‍ය යුගය ලෙස. මෙහි දී හින්දු යුගය ස්වර්ණමය යුගය ලෙස දැක්වුණු අතර මුස්ලිම් යුගය එකී ස්වර්ණමය යුගය විනාසකළ යුගය ලෙස දැක්වූවා. මෙයින් හින්දු මුස්ලිම් භේදය බරපතල ලෙස ඇති කළා. ඔවුන් කිසියම් තර්කානුකූල ආකාරයකට මෙකී යුග බෙදීම කළා නම් අනිවාර්යයෙන්ම ඉන්දීය ඉතිහාසයෙ බෞද්ධ යුගයක් ද තිබිය යුතුයි. බුදුන්ගේ කාලයේ සිට බෙංගාලයේ පාල රජුන්ගේ අභාවය තෙක් එක් එක් මට්ටමින් බුදු දහම එහි පැවතුණා. නමුත් බෞද්ධයුගයක් මෙකී ඉතිහාසය ලිවීමට ඇතුලත් කොට නැත්තේ එවැනි යුගයකින් ප්‍රමෝදයට පත් වීමට හෝ භේදයක් ඇති කිරීමට බෞද්ධ ජනතාවක් ඉන්දියාවේ ජීවත් නොවීම විය හැකියි.
ලංකා ඉතිහාසය ලිවීමේ දීත් මේ දේම සිදුවුණා. ඉන්දියාවට පැමිණි ආර්යයන් එහි නොයෙක් අත පැතිර යාමේ ප්‍රතිඵලයක් ලෙස ක්‍රි පූ 600 දී ලංකාවටද පැමිණ ජනපද ඉදිකරගත් බව කියා සිටියා. ඒ අනුව සිංහල ජාතිය යනු මෙකී රුසියානු තණබිම්වලින් පැමිණ ඉන්දියාවේ ජනපද ඉදිකරගත් ‘ඊනියා ආර්යයන්’ගෙන්ම පැවත එන ඔවුන්ගේ ඥාතීන්. මේ අනුව ඔවුන් ළඟම පිහිටි දකුණු ඉන්දියාව සමග කිසි සම්බන්ධයක් නැති ජාතියක්.
ලංකා ඉතිහාසයේ යුගබෙදීම සිදුකළෙත් මේ ආකාරයට අප අතර බෙදීම් ඇතිවන ආකාරයට. ලංකා ඉතිහාසය ප්‍රධාන යුග දෙකකට බෙදනු ලැබුවා. ඒ උතුරු ඉන්දියානු යුගය සහ දකුණු ඉන්දියානු යුගය වශයෙන්. වෙනත් විදියකට කියනව නම් ලංකා ඉතිහාසයේ උතුරු ඉන්දියානු යුගය යනු එහි ස්වර්ණමය යුගයයි. ඉන්දීය ඉතිහාසයෙ 'හින්දු යුගය' මෙනි. එසේම ඒ ස්වර්ණමය යුගය නිමාවන්නේ දකුණු ඉන්දියානු යුගය ඇරඹීමෙනි. මේ අනුව උතුරු ඉන්දියානු සම්භවයකින් පැවත එන උසස් සිංහල සංස්කෘතිය බිඳ දමන්නේ දකුණු ඉන්දියාවෙන් ආ ආක්‍රමණික දෙමළ ජනයායි. ඉන්දියාවේ හින්දු මුස්ලිම් ජනයා බෙදු ලෙසම ලංකාවේ සිංහල දෙමළ ජනයා බෙදුවේ ඔය ආකාරයටයි.
ඉන්දියාවේ සහ ලංකාවෙ මෑතකාලීන ඉතිහාස අධ්‍යයනයන් දෙස බලන විට පෙනෙන් වැදගත්ම වෙනස නූතන ඉන්දීය ඉතිහාසඥයන් බ්‍රිතාන්‍යයන් ලියූ ඉතිහාසය බරපතල ලෙස ප්‍රශ්න කිරීම සහ අලුතින් වඩාත් විද්යාත්මක ඉතිහාස්යක් ලිවීමට උත්සාහ කිරීමයි. අද ඉන්දියාවේ කිසිස් තැනක ආර්යයන් පැමිණියේය යන මතය උගන්වන්නේ නැත. ඒවෙනුවට බ්‍රිතාන්‍යයන් එබඳු අදහසක් ඉදිරිපත් කළේ ඇයි ද යන්න ද එහි ප්‍රතිඵල ද සාකච්ඡා කරනු ලැබේ. නමුත් ලංකාවේ තත්වය හිනා යන සුලුයි. තාමත් අපෙ පාසැල්වල විතරක් නොව ඇතැම් විශ්වවිද්‍යාලවලද ඉන්දියාවට ආර්යයන් ආ බවත ඔවුන්ගෙන් යම් පිරිසක් ලංකාවටද පැමිනීමෙන් සිංහල ජාතියද එම සංස්කෘතියද ඇරඹුනු බව උගන්වනු ලබයි.
මෙතැන දී මගේ අත් දැකීමක් විස්තර කරන්නම්. මම ඉන්දියානු විශ්වවිද්‍යාලයක මාස්ටර්ස් කරන කාලයේ ලංකාවෙන් අලුත් සිංහල ශිෂ්‍යාවන් දෙදෙනෙකු එම විශ්වවිද්‍යාලයට පැමිණියා. ටික කලක් ගිය පසු මා වෙත පැමිනි ඔවුන්
"හරි වැඩේනෙ.. මෙහෙ කෙල්ලො අපිට සලකන්නෙ අපි සවුත් ඉන්ඩියන්ස්ලා හැටියට.. මුලින් අපිව ගණන් ගත්තේවත් නෑ". කියල මහත් දොම්නස් මූනෙන් කියා හිටියා.
"ඉතින් මොකක්ද ඒකෙ ඇති වරැද්ද?" මම ඇහුවා.
"අපි දකුණු ඉන්දියන් යැ?.. අපි පැවත එන්නෙ උතුරු ඉන්දියන් ආර්යයන්ගෙන්නෙ.." අමනාප මුනෙන්ම එක සහෝදරික් කිව්ව. මට හිනාව නවත්ත ගන්න බෑ.
"ඉතින් අපි උතුරු ඉන්දියානුවන් ගෙන් පැවත එනවා නම් අපි උතුරු ඉන්දියාවට ආවම උතුරු ඉන්දියාවේ මිනිස්සු අපිව වැළඳ ගන්න ඕනනේ,.. ඔයාල අපි වගේමයි කියල. ඇයි ඒ අය අපිට දකුණු ඉන්දියානුවො හැටියට සලකන්නේ?"
"ඒක තමයි අපිටත් තියෙන ප්‍රශ්නෙ"
"ඒක ප්‍රශ්නෙ නෙවෙයි. ඒක තමයි පිළිතුර. අපිව හැබෑ අපෙන් ඈත් කරල අපිට කිසි සම්බන්ධයක් නැති එහෙමත් නැත්නම් සාපේක්ෂවශයෙන් අඩු සම්බන්ධයක් ඇති තැනකට ගැටගහල තියේනවා. මොකකදෝ සැගවුණු අරමුණක් වෙනුවෙන්" මම කිව්වා.
අපි දකුණු ඉන්දියානු මානව වර්ගයකට ළඟ නෑකම් කියන බව ඇහුවාම ඔයාල අතර සමහර කෙනෙක් උනත් කළබල් වෙයි. මොකද මටත් ඒහෙම උනා මුලින්. මොකද තරිඳුගේ වචනෙන් කියනවා නම් අපේ මොළ හෝදල ත්යෙන නිසා. එහෙම තත්වයක් ඇතිවුනොත් මහාවංසය සෙල්ලිපි හා අපේ ජාතියේ ආරම්භය ගැන ලියා ඇති පර්යේෂණ ලිපි සොයා කියවීමට කාලය නාස්ති නොකර වහාම කන්නාඩියක් ඉදිරියට යන්න. එය ඔබට ඇත්ත කියාවි.
මාගේ මූලික තර්කය මේ ඉතිහාසකරණය තුළ අප දෙපිරිස කොතරම් කෘත්‍රිම ලෙස එකිනෙකාගෙන් ඈත්කොට ඇත්ද යන්නයි. සමහරු මහාවංසයට බැනවදිනවා එය පක්ෂපාතී ඉතිහාසයක් ලියා ඇතිබව කියමින්. නමුත් මම කිසිදා එය කරන්නෙ නෑ. හේතුව මහා වංසය අපේ ජාතික ඉතිහාස පොත නොවෙයි. මහාවංසකරු එවැන්නක් ලියන්න උත්සාහ කරල්ත් නෑ. ඔහු කළේ තමන් අයත් ආයතනය එනම් අනුරාදපුර මහා විහාරය වෙනුවෙන් එහි ඉතිහාසය ලිවීමයි. එහිදී තම ආයතනය වෙනුවෙන් පක්ෂපාතීවීමේ වරද කුමක්ද? අබයගිරිවාසී (මහාවිහාරයේ තරඟකාරී ආයතනය) භික්ෂූන්ද තම ආයතනයෙ ඉතිහාසය ලියන්නට ඇත. නමුත් ඒ කෘති අද ඉතිරිව නෑ. තව රුහුනෙ විසූ භික්ෂූන් "රෝහනට්ඨකතා මහාවංසය" නම් කෘතියක් කළ බවත් කියැවෙනවා. නමුත් ඒයද අද දකින්න නෑ. මේ සියල්ල තිබුනා නම් වඩාත් තොරතුරු අපට ලබාගන්න තිබුණා. මහාවංසය රටේ ජාතික ඉතිහාස පොත බවට පත්කොට මහා ඉහල තැනක තැබුවේ බ්‍රිතාන්‍යයන්. එය ඒ ආකාරයෙන්ම අදත් කරතියාගෙන යන නිසයි ඇතැම් දෙනා මහාවංස කතුවරයාට නිරපරාදේ බනින්නේ.
මා මේ සම්පූරණ ලිපියෙන් උත්සාහ කළේ අප ජාති දෙක කෘත්‍රිම ලෙස බෙදා ඇති ආකාරය සාකච්ඡා කිරීමයි. මාගේ අදහස් සමග එකඟ නොවෙන අය ඉදිරිපත් කරන යහපත් විවේචන වලට මම කැමතියි. ඒත් මීට පෙර මාගේ අදහස් සමග එකග නොවූ අයෙක් මට "මහ මූසලයෙක්" කියා බැන වැදුනා සේ බනින්න නම් එපා. මාත් සංවේදී හදවතක් ඇති කෙනෙක්..! තවම කිසිම නළුවෙක් නිළියක් රූපවාහිනියට ඇවිල්ල මං ගැන එහෙම නොකිව්වට... :D
ජුලි අග මාගේ නිබන්ධය ඉදිරිපත් කිරීමට ඇති බැවින් එතෙක් නැවත් පොස්ට් එකක් ලියන්නෙ නෑ. ඒත් මේ ලියා ඇති දේවල් ආශ්‍රයෙන් සංවාදයක් ඔබලා ආරම්බ කරනවා නම් සතුටුයි. ජුලි මාසයෙන් පසු නැවත ආයෙ ලියනවා.
Pitastharaya-2
By පිටස්තරයා-2
මේ පොඩි ලිපිය ලියන්න හිතුවේ මා දැනට සිටිනා විශ්වවිද්‍යාලයේම වැඩිදුර අධ්‍යාපනය ලබන යාපනයේ දෙමළ සහෝදරවරුන් කිහිප දෙනෙකු සමග දින කිහිපයක් තිස්සේ වරින් වර ඇති වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් හැටියටයි. අද යාපනයේ වැසියන් විශාල ලෙස පීඩාවට පත්ව සිටිනවා විශාල සංඛ්‍යා වශයෙන් එහාට පැමිණෙන සිංහල සංචාරකයන් හා වන්දනාකරුවන් නිසා. ඒ එතරම් විශාල ජන පිරිසකට අවශ්‍ය පහසුකම් ඒ ප්‍රදේශයේ හිග බැවින්. ඒ නිසා වැසිකිලි ලෙස බාවිතා වන්නේ ඇතැම්විට පොදු ඉඩම් පිට්ටනි වැනි ස්ථාන. ඒ වගේම එකවර විශාල සංචාරක පිරිස් සෑම දිනෙකම අපි ජීවත්වන ප්‍රදේශයේ රෑ දවල් නැතිව සැරිසරන්න ගත්තොත් එය අපගේ එදිනෙදා ජීවිතයට කොතරම් බලපාවිදැයි මෙය කියවන ඕනෑම කෙනෙකුට වැටහෙනවා ඇති.
එසේ ම නල්ලූර් කන්දසාමී කෝවිල ඉදිරිපිට පදික වේදිකාවේ කුඩා කඩ දමාගෙන සිටින පිටතින් ගිය වෙළෙන්දන් තමන්ට අවශ්‍ය වැසිකිළි පහසුකම් නැති බැවින් ඒ කටයුත්ත සඳහා බාවිතා කරන්නෙත් කෝවිල් භූමියට අයත් ඉඩමමයි. නමුත් ඒ ගැන නෙවෙයි මම ලියන්න යන්නේ.
යාපනයට යන බොහෝ දෙනෙකුට ඒ ප්‍රදෙශයේ ජීවත්වන අයගේ සංස්කෘතිය ගැන අවබෝධය අඩුකම නිසා දෙමළ වැසියන්ගේ හිත් රිදවන බොහෝ දෑ අද සිදුවෙමින් පවතිනවා. දෙමළ හින්දු අය තම පූජ්‍යස්ථානවල ලිං සලකන්නේ ශුද්ද වූ ස්ථාන හැටියට. ඒ ලිං ජලය නෑමට ඇඳුම් සේදීමට පාවිච්චි කරන්නේ නෑ. නමුත් අද එහි යන සිංහල ජනයා විශාල ලෙස එය සිදුකරනවා. එය හින්දු ජනයා ගේ හිත් දැඩිලෙස පාරවන්නක්. දෙවනුව ඔවුන් පූජ්‍යස්ථාන ගොඩනැගිල්ල තුළ ද ඉන් පිටත ද ගමන් කරන්නේ අපි දාගැබ පැදකුණු කරන ආකාරයටයි. එනම් දකුණු අත නිතරම පූජනීය ස්ථානය දෙසට පවතින ලෙස. වම් අත ඒ දෙසට තිබෙන ලෙස ගමන් කළහොත් ඒය සැලකෙන්නේ ආගමික ස්ථානයට කරන අපහාසයක් ලෙස. මේ ගැනත් එහි යන අයට අවබෝධයක් නෑ. අපේ බුදුපිළිමය ඇති විහාර ගෙට පිටින් පැමිනෙන කෙනෙක් සපත්තු දමාගෙන හෝ තොප්පියක් දමාගෙන ගියොත් එය කොහොම පිළිගනීවිදැ'යි ඔබම හිතන්න.? සාමාන්‍ය හින්දු ජනයාට මේවා සුලු කාරණා නොවෙයි. නමුත් ඒවා වෙනස් කරන්න ඔවුන්ට හැකියාවක් නෑ. පහුගිය දා බුදුදහමට නිගරු කළාය කියා 'අකෝන්'ට රටට ඇතුළුවීම ද තහනම් කළා සේ තම ආගමික විශ්වාසවලට අපහාසවන ලෙස කටයුතු කරන කාට හෝ එරෙහිව කිසිම තීරණයක් ගැනීමට දෙමළ ජනයාට නොහැකි බව අපි හැම දෙනා ම දන්නවා නේ.
තව බොහෝ කරුණු ඇතත් තව එක්කරුණක් ගැන විතරක් සඳහන් කර මේ ලිපිය හමාර කරනවා. ඒ මෑතක සිට උතුරට පැමිණෙන හමුදාවේ පිරිස්වල පවුල්වල අයට නවාතැන් දීමට යාපනයේ වැසියන්ට සිදුවීමයි. මෙය සිදුවන්නේ "හෙට/අනිද්දා අපේ පවුලෙ මෙච්චර පිරිසක් යාපනයට එනවා. දවස් දෙකක් ඒ අයට ඕගොල්ලන්ගෙ ගෙදර නවාතැන් දෙන්න" කියා කරන ඉල්ලීමක් ලෙසට. ඇතම් තැනක මෙය බලය යොදා කළ අවස්ථාත් ඇති බව මාගේ මිත්‍රයන් පැවසුවා. මෙය සිදු වෙනවා ඇත්තේ යාපනයට එන පිරිස්වලට අවශ්‍ය තරම් නවාතැන් පහසුකම් නැතිකම නිසාත් යාපනයට එන තම ඥාතීන් නිසි පහසුකම් නොමැතිව දවස් ගතකිරීමට ඉඩහැරීම යාපනයේ සිටින තමන්ගෙ වගකීම් පැහැර හැරීමක් ලෙස එහි සේවය කරන හමුදා භටයින් සිතන නිසාත් විය හැකියි. නමුත් මහනුවර කොතරම් නවාතැන් ප්‍රශ්න තිබුනත් අම්පාරෙන් එහියන මට නන්නාදුණන ගෙදරක නවාතැන් සකසා දෙන්න එහිසේවය කරන මගේ හමුදා ඥාතියෙකුට බෑ. එහෙම ඉල්ලීමක් කරන්න වත් කවුරුවත් උත්සාහ කරන්නේ නෑ. නමුත් මෙය අද යාපනයේ සිදුවෙමින් පවතිනවා.
මෙය ලියන්න ආසන්නතම හේතුව වුනේ අප අතර සිටින එක් මිත්‍රයෙකුගේ නිවසට පෙරේදා පැමිණි හමුදා බට පිරිසක් තව දින දෙකකින් යාපනයට එන තම ඥාතීන්ට නවාතැන් සපයන ලෙස ඔහුගේ වයෝවෘධ දෙමාපියන්ට පැවසීමයි. මාගේ මිත්‍රයා මෙයින් දැඩි හිත් පීඩාවට පත්ව සිටිනවා. මේ කතාව ඇසූ එක් සිංහල සහෝදරයෙක් කියා සිටියේ ඇයි ඔයා අධිකරණයට යන්නේ නැත්තේ, මේක මානව අය්තිවාසිකම් කඩවීමක් කියායි. නමුත් මාගේ දෙමළ මිත්‍රයාගේ පිළිතුර ඉතාම වැදගත්. ඔහු කීවේ මට අධිකරනයෙන් වත් දෙමළ දේසපාලකයන්ගෙන්වත් මේකට උත්තර හොයන්න ඕන නෑ. ඒකෙන් වෙන්නෙ අපි තව භේදවෙන එක. සිංහල අය අතර මේක සාකච්ඡාවට ගැනිලා මේව නවත්ත ගන්න ක්‍රමයක් ඇතිවෙන එකයි මට ඕන කියායි. යාපනයට එන ජන සංඛ්‍යාව එහි ඇති පහසුකම්වල ප්‍රමානයට සීමා කළහොත් හමුදාවට අපේ ගෙවල් ගන්නට වෙන එක්ක නෑ කියායි.
මේ කියවන හැමගෙන්ම ඉල්ලනවා මේ කාරණයට හැකි ආකාරයෙන් මැදිහත් වෙන්න. මිනිස්සු දැනුවත් කරන්න පුළුවන් හැම ක්‍රියා මාර්ගයක්ම ගන්න. ඔබ දන්නා මාධ්‍යවලට සම්බන්ධ අය ඉන්නවානම් මේ ගැන ලියන්න සාකච්ඡාකරන්න පොළඹවන්න. රජය හෝ එහි යන ජනයා විවේචනය කරන්න නෙවෙයි. එය මගේ මිතුරාගේ බලාපොරොත්තුව නෙවෙයි. ඒ වෙනුවට ඔවුන් දැනුවත් කරන්න.
අප නොදන්නා කාලයේ දෙමළ ජනයා අප රට තුළ අවමානයට ලක්ව ඇත්නම් එයට අපට කරන්නට දෙයක් ඉතිරිව නෑ. ඒත් අප ජීවත්වන කාලය තුළ සිදුවන එවැනි දේ සම්බන්ධයෙන් අපට වගකීමක් තිබෙනවා. මේ කියවන (පෙර ලිපිවල මා ඉදිරිපත් කර ඇති අදහස්වලට පක්ෂ විපක්ෂ) සහෝදර සහොදරියන් හැම කෙනෙක්ම පුලුවන් යමක් කරයි කියල අපේක්ෂා කරනවා.
By පිටස්තරයා-2
පිටස්තරයා පහුගිය කාලයම ගත කළේ ඔහුගේ පශ්චාත් උපාධි පර්යේෂණයේ නියැලෙමින්. ඒ නිසා කලකට පෝස්ට් එකක් නොලියන්නයි හිතාගෙන හිටියේ. නමුත් හදිසියේ ම දැනගන්නට ලැබුනු තොරතුරක් නැවත වතාවක් පිටස්තරයව යතුරුපුවරුව වෙත තල්ලු කළා.
ඒ අප්‍රේල් 9 වෙනිදා. පිටස්තරය හිටියේ කාන්චිපුරම් සිට නැවත චෙන්නයි නගරය වෙත ගමන් කරමින්. පිටස්තරයගේ චූටි අක්ක පිටස්තරයට කතා කළා.
"ඔයා අපේ ගෙදර ආ හැම දාකම බලන්න ගියපු හාමුදුරුවො..."
"ඔව්, සීවලී හාමුදුරුවො..."
"ඒ හාමුදුරුවො ගැන පණිවිඩයක් කියන්නයි ගත්තෙ..."
පහුගිය දෙසැම්බර් මාසෙ ලංකාවට ගිය වෙලාවෙයි මම අන්තිමට සීවලී හාමුදුරුවන් ව බලන්න ගියේ. ඒ වනවිට උන් වහන්සේ බයි පාස් සැත්කමකට ලක්වීමෙන් පසු අම්පාර රෝහලට කි මී 1 ක් පමණ දුරින් පිහිටි නවගම්පුර විහාරස්ථානයේ සුවය ලබමින් සිටියා. අපහසුවෙන් උනත් උන්වහන්සේ සැලකියයුතු වෙලාවක් මා සමග කතා කළා.
සීවලී හාමුදුරුවො මට මුලින්ම හමුවුනේ මගේ චූටි අක්කා අම්පාර රෝහල සමීපයේ නිවසක පදිංචියට ගියාට පස්සේ. ඒ මීට අවුරුදු 10කට පමණ පෙර. එතැන් සිට අක්කා බැලීමට ගිය හැම වාරෙක ම සීවලී හාමුදුරුවන් බැලීමටත් මම ගියා.
සීවලී හාමුදුරුවො මට වැදගත් පුද්ගලයෙකු වීමට හේතු ගොඩක් තිබුණා. එක උන්වහන්සේ අවුරුදු 60ක පමණ කාලයක් තුළ අද අම්පාර ලෙස හඳුන්වන ප්‍රදේශයේ සිදු වූ සමාජ වෙනස්වීම් ඇහින් දුටු ශාක්ෂිකරුවකු වීමයි. ඒ නිසාම දෝ කිසිත් ජාතිවාදි අන්තයකට නොවැටී අදාල ප්‍රදේශ අශ්‍රිතව ඇති වූ ප්‍රශ්න දකින්න උන්වහන්සේට හැකියාව තිබුනා. දෙවැන්න 1980 දශකයේ සිදු වූ අරංතලා භික්ෂු ඝාතනය අවස්තාවෙ දී මියගිඅය වයස්ගතම භික්ෂූන්වහන්සෙ වූ හෑගොඩ ඉන්දසාර හිමියන් සීවලී හාමුදුරුවන්ගේ ගුරු හාමුදුරුවන් වීම. තම ගුරුවරයාව ඝාතනය කරනු ලැබුවේ එල් ටී ටී ඊ ස්ංවිද්ධානය විසින් වුවත් ඔවුන් කෙරෙහි වයිරයක් උන්වහන්සේ තුළ තිබුනේ නෑ. තුන්වැන්න 2004 සිදු වූ සුනාමි ව්යසනයේ දී හානියට පත් අදාල ප්‍රදේශයේ දෙමළ සහ මුස්ලිම් ජනයාට විශාල සේවයක් කිරීමට උන්වහන්සේ දුන් දායකත්වයයි.
මා අම්පාරට ගිය බොහෝ අවස්ථාවල උන්වහන්සේ ප්‍රදේශයේ ඇවිදීමට මා සමග පැමිණියා. ඒ අතර උන්වහන්සේ මට කී සිද්ධීන්ගෙන් එකක් වූයේ මීට පෙර ලිපියක සඳහන් කළ අම්පාර ඩිපෝව අද පිහිටි භූමියේ 1950 දශකය තෙක් පැවති දෙමළ ගම්මානය හා එය විනාශ කිරීම පිළිබඳ පුවතයි.
කල්මුනේ, බුද්ධංගල, රජගල, කොත්මලේ කොළනිය ආදී ප්‍රදේශවල ඇවිදීමට උන්වහන්සේ මා සමග පමිණියා. ඒ සෑම තැනකම වාගේ දක්නට ලැබුණු ලක්ෂනයක් වූයේ විහාරස්ථාන ආශ්‍රයේ පොලීසියේ හෝ ග්‍රාමාරක්ෂක බලකායේ භටයන් සිටීම. කල්මුනේ විහාරස්ථානයේ සිටියේ එක භික්ෂූන් වහන්සේ නමක් ප්මනයී. ඊට අමතරව පොලීසියේ 20ක පමණ කණ්ඩායමක් එහි වාසය කළා. බුද්ධංගල තිබූ තත්වයත් එයමයි. හමුදුරුවරු සිංහල අයගේ පමණක් හාමුදුරුවො වීම හා සිංහල දෙමළ යන දෙපිරිසටම පොදු වූ හාමුදුරුවෝ වීමට නොහැකිවීම මෙන්ම ආයුද සන්නද්ධ භට පිරිසකගේ ආර්ක්ෂාව ලැබීමට සිදුවීම උන්වහන්සේ විස්තර කළේ මෙහෙමයි.
"නවසිය පණහ විතර වෙනකම් මෙහෙ සිංහල දෙමළ ප්‍රස්නයක් තිබුනේ නෑ. ජාතිය ගැන ලොකු අදහසක් තිබුනෙත් නෑ. ඕන තරම් මිශ්‍ර විවාහ තිබුනා. වෙසක් එකට දීගවාපි ගිය මිනිස්සුම මණ්ඩෝරු කොවිලේ උත්සවය පැවැත්වෙන කාලයට මඩකලපු ගියා ඒකට සහභාගී වෙන්න. ඒ කියන්නෙ සිංහලකම දෙමෙළ කම පැහැදිලිව ඉරක් ගහල වෙන්කරන්න බැරුව වගේම බවුද්ධකම හින්දුකම පැහැදිලිව ඉරක් ගහල වෙන්කරන්නත් බෑ ඒකාලෙ.
නමුත් පනස් ගණන් මැද වෙනකොට ප්‍රශ්න මතුවෙන්න ගත්ත. ජාතිවාදී කෝලාහල ඇතිවුණා. ඒවාට වැඩියෙන් සම්බන්ධවුනේ ප්‍රදේසේ මිනිස්සු නෙවෙයි. අවාසනාවට මේකාලේ සැලකියයුතු ජනගහනයක් අම්පාරට ඇවිත් හිටියා පිටින්. ඉඟිනියාගල සේනානායක සමුද්‍රයේ ඉදිකිරීම් වැඩට. ඒ අයට මෙහෙ මිනිස්සු අතර තිබුනු සහජීවන ජීවිතය ගැන අවබෝදයක් තිබුනේ නෑ. ඒ නිසා අවාසනාවන්ත සිද්ධි ගොඩක් සිදු වුණා. ඒ නිසා එතෙක් සිංහල දෙමළ කියල විශේෂයක් නැතිව හිටි මිනිස්සු පැහැදිලිව බෙදෙන්න ගත්ත. දෙමළ බාසාව කතාකරන අයව කසාද බැඳගෙන හිටි අය ඒව හංගන්න ගත්ත.
ඔය අතර සේනානායක සමුද්‍රය යටතෙ ඉදිවුණු අලුත් ජනපදවල පදිංචියට පිටපළාත්වලින් මිනිස්සු මෙහාට ආවා. මේ අයටත් මේ ප්‍රදේශයේ තිබුනු සහජීවන ජීවිතය ගැන දැනුමක් තිබුනේ නෑ. ඒ ආ වැඩිදෙනා තම ජනපදවල පංසල් ඉදිකරල තමන්ගෙ මුල් ගමෙන් ම හාමුදුරු කෙනෙකුත් වඩමවා ගත්ත. හොඳ උදාහරණයක් කොත්මලේ කොළණිය. ඒකේ පදිංචි වුනේ කොත්මලෙන් ආ මිනිස්සු. ඒ ගොල්ලො හදපු පංසලට ආවෙත් කොත්මලේ හාමුදුරු කෙනෙක්. මේ කාලෙයි සිංහල බාසා පනත සම්මත වීම 2500 බුද්ධ ජයන්ති සමරුව වගේ දේවල් ලංකාවේ සිද්ධ වුනේ. මේ හැම දෙයක්ම සිද්ධ වුනු ආකාරය එතෙක් තිබුනු සිංහල දෙමළ සමගිය පළුදු කළා. අලුතින් පිටින් මෙහි පදිංචියට ආ මිනිස්සුන්ට හා හාමුදුරුවරුන්ට මෙහෙ එතෙක් තිබුණු සාමාජ ක්‍රමය නොතේරීම මේ බෙදීම තව වැඩි කළා.
හැම වෙලාවෙම දෙමළ අයටයි ජාතිවාදී කෝලාහල අවස්තාවලදි තම ගම්බිම් හරකබාන දාල යන්න සිදුවුනේ. සිංහල අයට නෙවෙයි. (පිටස්තරයාගේ සටහන: වෙනත් ප්‍රදේශවල හිටි සිංහලයන්ටත් තම ගම්බිම් අතහැර දමා යන්නට සිදු වුනා දැයි නොදනිමි. මා මෙහි වාර්ථා කරන්නේ 50-60 දශකවල අම්පාර දිස්ත්‍රික්කයේ සිදුවුනු සිදුවීම් පිළිබඳව සීවලී හිමියන් මා සමඟ පැවසූ දේයි). ඒ නිසාම සිංහලයන් සමග හිටි මේ අලුත් හාමුදුරුවරු දෙමළ අය දැක්කෙ තමන්ගේ හතුරෙක් හැටියට.
"අලුතෙන් මේ පළාතට ආ හාමුදුරුවරු අලුත් සිංහල ගම්මාන ඉදිකරන්නත් කටයුතු කළා නේද?" මම ඇහුවා.
"ඔව්.. උදාහරණයකට බුද්ධන්ගල අරණ්ය සේනාසනය දක්වන්න පුලුවන්. ඒකේ හාමුදුරුවො කලුතරින් ආ කෙනෙක්. උන්වහන්සේයි බුද්ධංගල ගම කියල අද තියෙන ගම හදල ඒකේ සිංහලයන් පදිංචි කළේ. ඒක මම දකින්නේ නෑ දෙමළ අයට එරෙහිව කළ දෙයක් හැටියට. ඒත් මේව සිදුවුනේ කාලයක් තිස්සේ ප්‍රදේශයේ ජීවත් වුනු දෙමළ ජනයාට නොයෙක් හිරිහැර සිද්ධවුනු පරිසරයක. තම තමන්ගේ ගම් අතහැර දමල යන්න සිද්ධවුනු පරිසරයක".
"මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනව නේද? මිහිදු හාමුදුරුවො මිහින්තලේට හෝ අනුරාධපුරට ඇවිල්ලා ඒ අවට පාටලීපුත්‍රයෙන් (ඉන්දියාවෙන්) ගෙන ආ ජනතාවක් පදිංචි කරල අලුත් ගම් ඉදි කළේ නෑ. ඒ වෙනුවට මෙහෙ වාසය කළ මිනිස්සුන්ගෙ භාෂාව ඉගෙනගෙන ඔවුන්ට බුදු දහම කියල දුන්න. නමුත් ඇයි මේ කාලේ මෙහෙ පදිංචියට එන හාමුදුරුවරුන්ට සිංහල ගම්මාන ම ඕන වෙන්නෙ? ඇයි දෙමළ අය අතර ජීවත්වෙමින් උන්වහන්සෙලාට කල්ගෙවන්න බැරි වුනේ?"
මගේ ඒ ප්‍රශ්නයට පැහැදිලි පිලිතුරක් සීවලී හාමුදුරුවො මට දුන්නෙ නෑ. ඒත් උන්වහන්සේ මෙහෙම කිව්වා.
"ඔව්.. මම පිලිගන්නවා හාමුදුරුවරු එක ජනකොටසකට සීමා නොවිය යුතු බව. නමුත් මේවා සිදු වුනේ අපි ජාති දෙක වේගයෙන් බෙදෙමින් තිබුණු කාලේ. හරියට ජාතිවාදය ඇවිස්සෙන දේවල් සිදු වුණා. දෙමළ අයගේ ආරක්ෂාවට කවුරුවත් ඉදිරිපත් වුනේ නෑ. නමුත් සිංහල අය වෙනුවෙන් ගොඩක් දෙනා බැලුවා. ඒ අලුතින් මෙහෙ පදිංචියට ආ සිංහලයන්ගේ චන්ද ටික ගැන තිබුනු උනන්දුව නිසා මිස ඔවුන් ගැන තිබුනු විශේෂ ආදරයක් නිසා නෙවෙයි."
තම ගුරුහාමුදුරුවන් ඇතුළු භික්ෂූන් 31 නමක් ඝාතනය වීම පිළිබඳව උන්වහන්සේගෙන් විමසූ විට උන්වහන්සේගේ පිළිතුර වූයේ
"අවුරුදු 50කට වැඩිකාලයක් මේ පළාතෙ සිදුවුනු අවාසනාවන්ත දේවල් මම දැක්ක. ඒ නිසා මට ඒක වැරැද්දක් ගැන නිහඬවෙලා අනෙක් එක විතරක් වැරදියි කියන්න බෑ. මායිම් ගම්මාන කියල හඳුන්වපු ගම්වලට වැදිලා එල් ටී ටී ඊ එක කරපු පහරදීම් වැරදියි වගේම ඒ විදියටම 50, 60 ගණන්වල දෙමළ අයට කළ පහරදීම් වැරදියි. ඒ සියල්ල සිදු නොවියයුතුව තිබුනු දේවල්".
චූටි අක්කා මට කතාකර තිබුනේ සීවලී හාමුදුරුවො අප්‍රේල් 9 වැනි දින උදේ අපවත් වූ බව දැන්වීමටයි.
මේ බ්ලොග් සටහන ලියන්න හිතුවේ හිතට ඇතිවූ පුංචි දුක නිසාම නෙවෙයි. ඊට වඩි දෙයක් ඔබ සමග බෙදාගන්න.
වසර 60ක පමණ කාලයක් තුළ අද අම්පාර ලෙස හඳුන්වන ප්‍රදේශයේ සිදු වූ බොහෝ සිදුවීම් පිළිබඳ දැනුම සීවලී හිමියන් සමගම මිය යනවා. ඒවා කොතැනක වත් ලියා පළකර නැත. මම මීට පෙර ලිපියක සීවලී හිමියන් පවසූ අම්පාර බස් ඩිපොව අදපිහිටි බිමේ එදා තිබුනු දෙමළ ගම්මානයකින් එහි වැසියන් පළවා හැරීම පිළිබඳ සිද්ධියක් වාර්තාකළ විට ඒය විවේචනයට බඳුන් කළ එක් සහෝදරයෙක් කියා සිටියේ මාගේ වාර්තා විශ්වාසකළ නොහැකි බවයි. මක් නිසාද ඒවා එක් එක් අයගෙන් අසා දැනගත් දේ වන බැවිනි. ඒ වෙනුවට 'සංසෝනි වාර්තාවේ' නම් සිංහලයන් ගම්බිම් වලින් පන්නා දැමීම ගැන වාර්තාවන බව එතුමා පවසා සිටියා.
මා කියන සිද්ධි සැක සහිත වන්නේ ඒවා කිසිතැනක ලියා නැති බැවිනි. සංසෝනි වාර්තාවේ එන සිදුවීම පිලිගත හැකි දෙයක් වන්නේ එයට ලිඛිත සාක්ෂි ඇති බැවිනි.
එතුමා මතු කරන්නේ අතිශයින්ම වැදගත් කරුණකි. ඉතිහාසය යනු ලියා වාර්තා කොට ඇති දේයි. යමක් ලියා නැත්නම් එය සිදුවී නැත. (ඒවා ඔප්පු කිරීමට ශාක්ෂි නැති බැවිනි). ඒ අනුව සීවලී හාමුදුරුවො දැනසිටි සිදුවීම් ලියාතබා නැති බැවින් ඒවා අයත්වන්නේ කිසිදා සිදුනොවූ සිදුවීම් ගොඩටය.
මෙහිදී මතුවන ප්‍රශ්නය නම් වසර 50ක් තරම් කෙටි වූත් අපගේ ජීවිත කාලයට මෙතරම් සමීප වූත් කාලපරිච්ඡේදයක් තුළ මුලු රටේම නොව එක් කුඩා භූගෝලීය ප්‍රදේශයක් තුළ සිදු වුනු දෑ සම්බන්ධ ඉතිහාසය ගොඩනැංවීමේ දී ලියා තබා ඇති වාර්තාවලට ඇතුලත් වූ තොරතුරු සත්යවශයෙන්ම සිදු වූ දේවලින් මෙතරම් සීමා සහිත වූ එකක් නම් (සීවලී හිමිගේ අත්දැකීම් ලිඛිත වාර්තාවලට ඇතුලත් නොවන බැවිනි) වසර 2500 ක කාලය සම්බන්ධ ඉතිහාස්යට අදාලව ලියැවි ඇති වාර්තා කොතරම් නම් සීමා සහිත ඒවා විය හැකිද යන්නයි. වෙනත් වචනයෙන් කිවහොත් සත්යවශයෙන්ම සිදුවුනු දෑවලින් කොතරම් අඩුප්‍රමානයක් ද වාර්තාවලට ඇතුලත්ව ඇත්තේ යන්නයි. ඒ වාර්තාත් ඒවා ලියූ අයගේ කැමැත්ත අකමැත්ත පක්ෂපාතීකම් කොතරම් නියෝජනය කරනවා ඇත්ද? එවන් වාර්තා මත පිහිටා ගොඩනංවන ඉතිහාසය සත්ය ඉතිහාසයක් ලෙස පිළිගැනීම කොතරම් ප්‍රශ්නකාරී වියහැකි ද? එවන් ඉතිහාසයක් මත පිහිටා නූතන ප්‍රශ්න විසඳාගැනීමට යාමත් ඒ මත ම එකිනෙකා මරා ගැනීමත් කොතරම් නම් මෝඩකමක් ද?
By පිටස්තරයා-2
මතුකර ඇති සංවාද ගැටළුවලට දෙන පිටස්තරයාගේ පිළිතුරුයි මේ. ඒවා ද ඔහු ගොනු කර ඇත්තේ ඔහුගේ පුද්ගලික අත් දැකීම සහ අන් අයගෙන් එකතු කරගත් අත්දැකීම් ආශ්රයෙනි.(පරිගනක්යේ ඇති වූ ගැටලුවක් නිසා පිලිතුරු පම වුනා. සමාවෙන්න)
ඔබෙ ලිපියෙන්ම ගත්ත පාඨ 2ක් ගැන ප්රශ්න දෙකක්.
"මගේ අදහස අපි අවුරුදු 30ක් තිස්සේ අත්විඳි යුද්ධය වළක්වා ගතහැකිව තිබුණු යුද්ධයක් බවයි. එහි දී අවශ්ය පුද්ගලයන් බලවේග වගකීමෙන් වැඩනොකළ නිසා සහ දුර නොබලා සහ තම වාසී බලා කටයුතු කළ නිසා අප සැවොම (සිංහල, දෙමළ, මුස්ලිම්) පීඩා විඳි බවයි. එය මම සංවාදයේදී තවදුරටත් විස්තර කරන්නම්." කිව්වට ඔබ ඒ ගන පැහදිලිව කියල නෑ.
ඒ පුද්ගලයන් බලවේග කව්ද? (සමහර සින්හලු ස්මහර හමුදුරුවරු සහ රජය ද්?)
මේ ප්රශනයට මගේ අත් දැකීම් වලින් දිය හැකි පිළිතුර;
දවසක් මම මගේ අම්මා සමග ඇගේ මහ ගෙදරට යමින් සිටියා. උහන පසුකොට යනකොට හමුවන උදේගිරිය ප්රදේශයේදී වාහනය කැඩිනු නිසා අප දෙදෙනාටම පයින් යන්න සිදු වුනා. අප පසු කරමින් සිටි ලන්දු කැලෑශිත ප්රදේශයක් පෙන්වූ අම්මා මෙහෙම් කිව්වා.
"මම ඉස්කොලෙ යනකාලේ මේක දෙමළ ගමක්"
"ඉතින් මොක ද ඒ ගමට උනේ?" මම ඇහුවා.
"ජාතිවාදී කලබල ඇතිවුනු වෙලාවේ (අම්ම පොඩිකාලෙ) ඒ ගම මංකොල්ල කෑවා".
අපේ ඈත නෑයෙකුගේ නමක් කී අම්මා "......ත් උස ගොම් බානක් අරගෙන ආවා".
"ඉතින් එයාව පොලීසියෙන් ඇල්ලුවේ නැත් ද?"
නෑ, මුකුත් උනේ නෑ".
"ඉතින්?"
"පණ බේරගත්ත ඉතිරි වුනු අය ගම දාල යන්න ම ගියා... ..ආයේ ආවෙ නෑ"
දෙවෙනි සිද්දිය
දවසක් හමුවුනු වැඩිහිටියෙක් මම අම්පාරේ බව දැනගත්ත ම කතාවට වැටුණා.
"පුතා මම තරුණ කාලේ ගල් ඔය බෝඩ් එකේ වැඩකළා"
"අංකල්, කියන්නකො ඒ කාලෙ විස්තර"
"ඒ කාලේ කවුරුවත් ඒහෙ යන්න කැමති නෑ මදුරුවන්ට බයේ. හිටිය තරමක් හිටියෙ මම වගේ හිතුවක්කාරෙට ආපු කොල්ලෝ. මම ගිහින් හිටියෙත් ගෙදරින් තරහවෙලා ගිහිල්ල".
තවත් බොහො විස්තර ඔහු කිව්වා. අපිට අදාල කොටස මෙහෙමයි.
"අපිට ආරංචි ආවා දෙමළු සිහලුන්ට ගහනවා කියලා. ඇත්තටම ගැහුවා ද අපි දන්නෙ නෑ. අපි ව්යාපාරේ බරවාහනත් අරගෙන මඩකළපු පැත්තට ගියා. මං නම් මුකුත් කළේ නෑ පුතා. ඒත් මම දැක්කා බරවාහන වලට යටකරල මරපු දෙමළ මිනිස්සු හිටියෙ හරියට සපත්තුවට පෑගුනු කැරපොත්තො වගේ"
"ඉතින්?"
"අපි ආයෙත් වැඩබිමට ආවා. අපිට අපේ ගම්වලට එන්න ඕන වුනා. ඒකාලේ පාර තිබුනේ මඩකල්පුව හරහා. නමුත් දැන් අපිට එහෙන් යන්න බයයි. ඊටපස්සෙ අපිට පැනල එන්න පාරක් කැපුවා. පුතා දන්නවද ඉඟිනියාගල ඉඳල සියඹ්ලාණ්ඩුව හරහා මොනරාගලට එන පාර?"
"ඔව්".
"ඉස්සර එහෙම පාරක් තිබුනේ නෑ. අපියි ඕක කැපුවේ ව්යාපාරේ වාහන යොදාගෙන. පානම ඉඳලා එනපාරට සම්බන්ද උනාට පස්සේ අපි ඒක දිගේ මොනරාගලට ඇවිත් තම තමන්ගේ ගම්වලට ගියා".
"ඉතින් අංකල් ඒ වැඩේට සම්බන්ධ වුණු අයට දඬුවම් මුකුත් ලැබුනා ද?"
"මොනපිස්සුද පුතා. පස්සෙ ඒපාරට තාරදාල ප්රයෝජනයට ගත්තා".
"ඔව් අම්පාර කොළඹ බස් දුවන එක පරක් අද ඒක" මම උත්තර දුන්න.
අනෙක් කතාව කිව්වෙ අම්පාරෙ අදත් ජීවත් වන හාමුදුරු කෙනෙක්.
"අද ඔය අම්පාර ඩිපෝව තියේන තැන මහත්තයා දන්නවා නේ ද?"
"ඔව".
"ඕක ඉස්සර දෙමළ ගම්මානයක්. ඒකෙ උන්ව කපල කොටල එලෙව්වා."
"කව්ද?"
"කව්ද කියල පුද්ගලයො දන්නෙ නෑ. ඒ කාලේ යම්යම් දේ දැනගත්තෙ ආරංචිවලින්. කොහේදො සිංහල ඉස්කොලේ හාමිනේ කෙනෙක් දෙම්ළ මිනිස්සු වගයක් විසින් කපල කොටල මැරුවා කියල ආරංචි ආවා. ඊටපස්සෙ කෝලාහල පටන්ගත්ත".
"ඉතින් ඒවට සම්බන්ධවුනු අයට දඩුවම් දුන්නෙ නැත්ද ආණ්ඩුව?"
"එහෙම මුක්ත් වුනේ නෑ".
"වන්දිගෙවීමක් වත්..."
"නෑ.. ගම් අතෑරල ගිය මිනිස්සු ආයි ආවේ නෑ..කාටවත් එහෙම උනන්දුවක් ත්බුනෙත් නෑ."
කතාව අතර තුර මම කේ සී කොළනිය (අම්පාරේ රජගලට සමීප ගමකි. කේ සී යනු කොත්මලේ කොළනිය යන්නයි) නම් ගමට එල් ටී ටී සංවිධානය කළ පහර දීම ගැන උන්වහන්සේගෙන් විමසුවා.
"අපොයි හිත උනුවුනා මහත්ත්යො.. ඒකගෙදරම 14 දෙනෙක් ව කපල තිබුනා. පහුවදාට දානයක් දෙන්න ඒ ගෙදරට ඇවිත් හිටි නෑයො ඒ දාහතරෙන් වැඩිදෙනෙක්. ඒ අය පිට ගම්වලින් ආ අය. මම පාඞශුකූලෙට ගියා".
"හාමුදුරුවන්ට මොකද හිතෙන්නෙ?"
"කැත වැඩ මහත්ත්යෝ.. උං අහින්සක මිනිස්සු.."
"ඔව්, මං ඇහුවෙ ඩිපොව අද තියෙන තැන තිබුණු ගමට ගහපු එකයි කෙ සී කොළණියට ගහපු එකයි.."
"දෙකේම මැරුණේ අහිංසකයෝ.. (වසට ගිය මේ හාමුදුරුවො බයි පාස් සැත්කමකින් පසුව අද තම විහාරස්තානයේ විවේක ලබමින් සිටිනව)
අනිත් කතාව.
පොදුරාජ්යමණ්ඩලීය ශිෂ්යත්වය දිනාගෙන ශාස්ත්රපති උපාධිය හැදෑරීමට විදේශගතවීමට අවස්තාවක් ලද මා අම්මා බැලීමට අම්පාරේ ගියා. ඒ රාත්රී යන බස් ඒකේ. සාමාන්යයෙන් මේ බසය සියඹලාන්ඩුවේ ඒලිවනතුරු නවතාතබා උදෑසන නැවත ගමන ඇරඹීම සිරිත වුවත් මේ වන විට එල් ටී ටී සංවිධානය රජය සමග සාකච්චා පවත්වමින් සිටිනිසා ඒ වන විට මාර්ග විවුරත කර තිබුනා. ඒ නිසා පාන්දර 3 වන විට මා බැසිය යුතු ස්තානයට ලඟාවුනා. ලොකය්යා ගේ මරණය ස්ම්බන්ධ ලිපියෙ කී පරිදි එතැන් සිට කි මී 5 මා පයිං යා යුතුයි. නමුත් පොලිස් පෝස්ට් ඒකෙ මහතුන් මාගේ ගමන වැළෙක්කුවා.
"ඔය පාරේ මේ වෙලාවට අලිය ඉන්නවා. ඉඳලා එලිය වැටුනාම යන්න."
මම එයට එකඟ වුනා. මා ගැන තොරතුරු ඇසූ ඔවුන් මට ගව්රවයෙන් සැලකුවා.
"ඔයා මොන බාසාවෙන් ද එම් ඒ කරන්න යන්නෙ?"
"ඉන්ග්රීසි බාසාවෙන්"
"ආ.."
මගේ ගමේ හැටියට ඒ මට්ටමට පැමින සිටීම ගැන මවිතය පල කළ එතැන සිටි එක් නිළධාරී මහතෙක් තම බිරිඳ ද ඉන්ග්රීසි ගුරුවරියක් බව කිව්වා. (මට ලොකය්යාත් නිම්මි අක්කාත් මතක්වුණා. ආරක්ෂක සේවයේ යෙදී මුරකුටියක රැයපහන් කරන මෙ තරුණ නිළධාරියාගේ බිරිඳ මෙන්ම ලොකය්යා නැති නිවසේ තනිව වෙසෙන නිම්මි අක්කාත් ගුරුවරියක්.) ක්රමයෙන් අපි යුද්ධය ගැන කතාවට වැටුණා. විශ්රාම යාමට ආසන්න වයසේ සිටි නිළධාරි මහතෙක් මෙහෙම කිවවා.
"අපිය් ප්රභාකරන් කෙනෙක් හදාගත්තෙ. මම යුද්දෙට ඉස්සර යාපනේ වැඩකළා. අපිට ඒ මිනිස්සු හරියට ගරු කළා. ගමේ එනකොට නොයෙක් දේ ඒ මිනිස්සු අපිට ගෙනැල්ල දෙනව. කරවළ, අඹ... වැඩිපුරම එහෙට ආණ්ඩුවෙන් යැව්වේ වැරදි කළ නිළදාරීන්. දඩුවම් මාරුවීම් හැටියට.. උං දෙමළ මිනිස්සුන්ට හරියට හිරි හැර කළා".
යාපනේ පාසැලක පැවති කාර්නිවල් එකකට ටිකට් නොගෙන සිස්විල් ඇඳුමින් ඇතුළු වීමට පොලීසියෙ පිරිසක් ගත් උත්සාහයත්, එය සංවිධානය කළ දෙමළ තරුණයන් ඔවුන් ව වැළකූ නිසා මුළු කාර්නිවල් එකම විනාශ කළ ආකාරයත් ඒතුමා විස්තර කළා.
මම මේ සිද්ධි ආශ්රයෙන් මතුකරන කරුණු කිහිපයක් තියෙනවා.
අහිංසක දෙමළ වැසියන්ව වරින් වර ඝාතනය කොට තිබෙනවා. ඔවුන්ව පළවා හැර තිබෙනවා. එවිට රජයේ කාර්යය
1. දෙමළ ජනයා ආරක්ෂා කිරීමයි. නමුත් එය පැහැර හැර තිබෙනව,
2. එකී ඝාතකයන් මංකොල්ල කරුවන් නීතිය ඉදිරියට ගෙනැවිත් දඩුවම් දීමයි. එය සිදු වී නැහැ. (83 ජුලි අපරාධ කරුවන් අතඩංගුවට ගැනීමක් හෝ දඩුවම් කිරීමක් සිදුකර නැහැ.)
3. හානියට පත් අයට වන්දි ගෙවීම. එය සිදුවීත් නැහැ. 83 ජුලි අපරාදයට මුහුන දුන් අයට වන්දිගෙවන බව ලොකයට පෙන්වීමට හෝ චන්ද්රිකා ජනාදිපතිනිය වන්දිගෙවීමක් කළේ අදාල් සිද්දියෙන් වසර 12 කට පසුව යි.
අනෙක් අතට සිංහල ස්මාජය තුළින් මෙකී ජනයාට යුක්තිය ලබාදීම සඳහාවන ව්යාපාරයන් ඇර්ඹුනෙත් නෑ. බලය බෙදීමට එරෙහිව උපාවාස කළ බද්දේගම විමලවන්ස හිමි සහ මදුලුවාවේ සෝභ්හිත හිමි වැනි අය පෙර කී සිද්දි සිදු වුනාම නිහඬව සිටියා මිස එකී වැර්දි කළ් අයට ද්ඩුවම් කළ්යුතුයි කියා හෝ දෙමළ ජනයාට ආරක්ෂාව ලබා දිය යුතුයි කියා හෝ උපවාස කළේ නෑ.
අපි මහජාතිය නම් සුලුජාතිය රැකීමේ වගකීම අප සතුයි. 71 කැරැල්ලෙදි වැරදි කළ රජය පෙරලා දමන්න සමාජ ව්යාපාර කටයුතු කළා. 87-89 කාලයේ නීතිවිරෝධී ඝාතන කළ රජය පෙරලා දමන්න මව්වරුන්ගේපෙරමුණ මතුවුණා. චන්ද්රිකා ඇඹිලිපිටියෙ සමූහ මිනී වලක් හාරල නීතිවිරෝධී ලෙස ඝාතනය කළ තරුනයන්ගේ ඇට සැකිලි මතුකොට ජනයා පෙළ්ගස්වා ඒකී රජය පෙරලුවා.
ඒත් දෙමළ ජනයාට එසේ තමන්ට යුක්තිය නොදුන් රජයක් පෙර්ලිය නොහැකියි. ඒ ඔවුන් සුළු ජාතිය නිසා. එය කිරීම මහජාතියේ කාරයයක් නොව යුතුකමක්. ඒ නිසයි මම කියන්නේ පෙර කී හාමුදුරුවරු පාරට බැහැල දෙපාරක් හඬින් කෑගහල කියන්න ඕන, "දෙමළ ජනයාට ආරක්ෂාව යුක්තිය දීපල්ල. නැත්නම් උන් වෙන්වෙලා යයි අපෙන්" කියලා. නමුත් ඒහෙම දෙයක් වුනේ නෑ.
"ප්රභාකරන් බිහිවුනේ ඉඳහිට දෙමළ ජනයාට එරෙහිව සිංහල ජනයා අතර සිටි සමහර දාමරික කොටස් කළ අමන ක්රියා සහ නින්දා කිරීම් සහ රාජ්ජ්ය්මය වස්යෙන් සිදු වූ බරපතල අත් වැරදි යටතේයි. ප්රභාකරන්ට වඩා සියගුණයකින් දරුණු පුද්ගලයන් දහසක් බිහිවෙන්න අවශ්ය සාධක අප ඉදිරියෙ අද තියෙනවා."
ඒ සාදක මොනවද?
මේ ප්රශ්නයට පිළිතුරු මම දෙන්නේ නෑ. මක්නිසා ද එය ඔබටම කරගත හැකි නිසා. ඒක කරන ක්රමය කියල දෙන්නම්. මෙහෙමයි. දැන ඔබට දෙමළ ජනයා අතරට යා හැකි බැවින් ඔවුන් වෙත ගොස් ඔවුන්ගේ ජීවිතය දකින්න. ඒහි දී ඉතා විවෘතව ඔවුන්ගෙ ජීවිත වලට සිදුව ඇති ව්යසනය දකින්න. අද එහි යන සිංහල ඇතෙම්දෙනා කරන පරිදි යාපනයට ගොස් අව්කන්නාඩි දමාගෙන 'මේ කන්දත් අපේ තමයි වැනි ආකල්පයකින්, අව්වෙන් පිළිස්සීගය මුහුනු වලිනො ඔබ දිහා බලන යාපනෙ වැසියාට ෂෝ දැමීමෙන් ද, හින්දු ජනයාගේ පූජ්ජ්යස්තාන වල ලිං වලින් තම ඇඳුම් සෙදීම් ආදියෙන් වළකිමින් ද (දෙමළ ජනයා එය සළකන්නෙ ඔවුන්ගේ ආගමික විස්වාසවලට අපහාස කිරීමක් ලෙසයි. මෙය අද යාපනයට යන අය අතින් සිදුවෙනව) කටයුතු කරන්න.
මෙය මා කියන්නෙ ඔබ මේ කී ආකරයට කටයුතු කරාවි යන අනුමානයෙන් හෙම නොවේ. ඔබ දක්ෂවුනොත් ඔවුන්ගේ විශ්වාසය දිනාගන්න ඔවුන් ඔබට විවෘත වේවි. ඔබම පිළ්තුර දකින්න. මා කියන්නේ අපට පොවා ඇති මහ කතාවට වඩ වෙනස් වූ යමක් ඔබට පෙනේවි.
ඉහතින් දැක් වූ සියලු සිද්ධි සළකා බලන විට ප්රභාකරන් කෙනෙක් බිහිවීමට බල පෑ සාධක පේනවා. ප්රභාකරන් අවිගත්තෙ පානදුරේ දී ගුටිකෑ නිසානම් ඒ කාලයේම් අවිගත් උමා මහේෂ්වරන් පත්මනාභ, ශ්රී සබාරත්නම් වැනි අය බිහි වුනේ ඇයි කියා විස්තර කරන්න ඕන. ඒ වගේම හිට්ලර්, බෙනිතො මුසොලිනි වැනි අය පමණක් නොව ගාන්ධි නෙල්සන් මැන්ඩෙලා වැනි අය බිහි උනු ආකාරයත් මෙවැනි අහඹු සිදුවීම් වල ඵල ලෙස සලකන්න වෙනව.
මුලින් කී පරිදි අනුරාධපුර පදවියෙ සාමාන්ය වැසියෙක් නම් මෙය කියන්නෙ මම ඊට පුදුම වෙන්නෙ නෑ.මක් නිසා ද ඔහුගේ අත් දැකීම් ප්රමාණය කුඩාවීම සහ එදිනෙදා අත් දකින දේත් අහන්න ලැබෙන් දෙත් එවැනි තර්කික පදනමක් නැති තීන්දු වලට යාමට හෙතුවක් වන නිසා. නමුත් පසුව දුටු ආකාරයට නො ෆ්රේම්ස් මහතා ඉතා හසල ලෙස ඉන්ග්රීසි භාශාවද හැසිර විය හැකි කෙනෙක්.
එවන් දානුමක් ඇති ඔබ, "ප්රභාකරන් අවි ගත්තේ සිංහලුන්ගෙන් ගුටි කෑ නිසාය", "දෙමළ ජාතිකයෝම තමන්ගේ මහ එවුන්ගේ කීම් අසා ගෙන පිටස්තරයාගේ පවුල පන්නා දමන විදිය පිටස්තරයාට තේරෙන්නේ නැත" වැනි කීම් කියන්නේ කොහොමද? සිංහලු 100 ගෙන බලන්න ඔවුන් එකිනෙකා කොතරම් වෙනස් ද එකිනෙකාගෙන් කියා. එසේ දන්නා ඔබ කොහොම ද කියන්නේ "සමස්ත දෙමල ජාතියම එකගොඩ කට දමා' ඔවුන් මාගේ දෙමාපියන්ව පන්නා දමාවි කියා. ඇයි මෙහෙම මුලු දෙමළ ජතියටම එරෙහි වය්රයක් සිහල ජනයා තුළ අති කරන්නෙ?
83 ජුලි කළබල අවස්තාවේ දී දකුනේ සිටි දෙමළ ජනයා ආරක්ෂා කිරීමට ඔවුන්ගේ සිංහල අසල්වාසීන් ක්රියා කළා සේම, යාපනයේ සිටි සිංහල ජනයා ආරක්ෂාකොට ආපසු කොළඹට එවන්න ඒහි සිටි දෙමළ ජනයා කොතරම් වෙහෙසක් ගත්තා ද? මගේ සහොදරයා මරා දැමූ තත්වයක සිටත් මට කියන්න ශක්තිය තියෙනව මගේ අය්ය මිනී මරුවෙක් නොවන්නා සේම මගේ අය්යා මැරූ පුද්ගලයා මිනී මරුවෙක් නොවේ, ඔහු අප එකිනෙකාට එරෙහිව කරන ලද උසිගැන්වීම් වල ඵලයක් ලෙස අවියක් ගැනීමට සිදු වූ පුද්ගලයෙක් කියා.
ඔබ මට චෝදනා කරනවා මා බියසුල්ලෙක් කියා. එය ඇත්ත. මම බයයි. මම යුද්දෙට බයයි. එය මට මගේ ලොකය්ය නැති කළ නිසා. නිම්මි අක්කා වැන්දඹුවක් බවට පත් කළ නිසා. තව ලක්ෂගණන්ක් වටිනා ජීවිත් විනාශ කළ නිසා. ඔබ කියන්වා තව යුද්ද දෙකතුනක් වුනත් කිරීමට සූදානම් බව. යුද්දය අපට ඔබට මෙන් වචන හරඹයක් විතරක් නොවෙයි. එය අපට ජීවිතය හා මරණය අතර සටනක්.
ඔබ මම මූසලයෙක් කියා කියනවා. මෙය කියවන හැම කෙනෙක් ගෙන්ම ඉල්ලනවා මා ලියා ඇති බ්ලොග් සටහන් සියල්ල කියවන්න කියා. මා ලියා ඇති කොමෙන්ට් සියල්ල කියවන්න කියා. ඒ සියල්ල තුලින් පෙනෙන අදහස් දරණ මූසලයා ලෙස අද වෙනතුරුත් නොවෙනස්ව සිටීමට ශක්තිය තිබීම ගැන මා මහත් සේ ආඩම්බර වෙනවා.
මට පොදුවේ භික්ෂූන් ගැන විරෝධයක් නෑ. අප දුප්පත් ගමේ වැසියන් දෙන දානයෙන් යැපෙමින් මියයන තෙක් ජනයාට සේවය කළ පංසලේ ලොකු හාමුදුරුවො ගැන මාගේ ඇත්තේ මහත් ගවුරවයක්. උන්වහන්සේ කවදාවත් ජාත්වාදය ඇවිස්සුවේ නෑ.
අරංතලාවේ දී සිදුවූ භික්ෂු ඝාතනය තැන තැන නැවත නැවත පතුරවමින් ඇතැම් ජේ එච් යූ භික්ෂූන් කටයුතු කරද්දී එසේ ඝාතනයට ලක්වූ භික්ෂූන් සිටි පංසලේ හාමුදුරුවරු 2004 සුනාමියෙන් අනාත වූ දෙමළ ජන්යා සති ගණනක් තම විහාරස්තානයේ තබා ගෙන ඔවුන්ව බලා ගත්තා. වැදාගත්ම දෙය නම් අනාත දෙමළ ජනයාට සෙවන ලබා දී තිබුනේ 31ක් භික්ෂූන්ගේ මිනි තැංපත් කර තිබූ ශාලාවේ ම වීම. මේ භික්ෂූන් කටයුතු කළ ආකාරය සහ මේ සිදුවීම ම ජාති වාදය ඇවිලවීමට යොදා ගැනීමට වෙනත් පිරිස් තැත් කළ ආකාරය පිළිබිඹු කරමින් අශොක හඳගම මහතා විසින් පැලවත්තෙ පිහිටි යං ඒෂියා ටෙලිවිෂන් ආයතනයේ උදව් ඇතිව නිපද වූ නැගෙන හිරින් ඇසෙන නම් නාට්යමාලාව බලන් ලෙස මාගේ බ්ලොග් අඩවියට පැමිණි සැමගෙන් ඉල්ලනවා.
මාගේ මූලික තර්කය නම් භික්ෂුවකට ජාතියක් වෙනුවෙන් පෙනී සිටිය නොහැකිබවයි. යුද්ද්යක් වෙනුවෙන්පෙනී සිටිය නොහැකිබවයි. එහෙත් භ්හික්ෂුවකට එසේ කළ හැක්කේ බුදුන්ගේ කවර ඉගැන්වීම යටතේ දැයි පෙන්වා දෙන්නේ නම් එය සලකා බැලීමට සූදානම්.
මා බ්ලොගය ආරම්භ කළ හෙතුව මෙහෙම ලිව්වා, දුකාට හා කසුන්ට ලියූ ප්රතිකොමෙන්ට් ඒකේ.
"...මේ අතරෙයි එකයාලුවෙක් මට බ්ලොග් එක අඳුන්නලා දීලා හිතේ තියාගෙන ඉන්න ඒවා ලියන්න කිව්වේ. කොහේ හරි ඉන්න මේව තේරෙන මිනිස්සු ඒවා කියවාවි කියල."
ඒ අර්මුණින් පටන් ගත් බ්ලොග් අවකාශයේ දී හමු වූ යහපත් හදවත් ඇති වර්ගවාදී අදහස් වලින් උමතු නොවූ ඔබහැම දෙනා ගැන ම මට හරි සතුටුයි. යුදජයග්රාහී මාන්සිකත්වයක් යටතේ මාද්ය මගින් පවත්වාගෙන යන මහාකානිවල් එකක මුලු ජාතිය ජීවත් කෙරෙන සමයක යමක් හෙතුවාදී ලෙස ද මානුෂික ලෙස ද දකින්නට පුලුවන් පිරිසක් තව දුරටත් ඉතිරි වී සිටීම මහත් බලාපොරොත්තු දල්වන්නක්.
මා මේ ප්රශ්න විග්රහ කරගැනීමේ දී ඔබට පෙනුනු පරිදිම මහා න්යායයන් පාවිච්චි කළේ නැහැ. ඒ වෙනුවට සත්ය වූ සිද්ධීන් පමණයි බාවිතා කළේ. එකී සිද්ධීන් යතාර්ථයෙන් ඈත් වූ න්යායයනට වඩා සත්යයට ළඟයි. එසේ ම පොදුවේ පිලිගැනුනු 'මහකතාවට' (එනම් අපගේ මනසට කවා ඇති කතාවට) වඩා හැමවිටම වෙනස්. ඒ වගේම් කතා කීපයක් ගත්තොත් ඒවා ද එකින් එකින් වෙනස් වන බව පෙනේවි. ඒ අනුව මහා සත්යයක් නොමැති බවත් සත්යය යනු ම ඉතාම සංකීරණ දෙයක් බවත් පෙනේ වි.
එසේ තිබිය දී අප මත තොරා ගත් මහා ස්ත්යයක පටවනු ලබන්නේ කාගේ හෝ සඟවා ගත් පුද්ගල බද්ද වුවමනාවක්/උවමනාවන් ඉටුකර් ගැනීම සඳහාය යනු මාගේ පිලිගැනීමයි. එසේ මහා සත්යයක් පවත්වාගෙන යන්නට තැත්කරන්නන් ඒ මහා සත්යයට අභියොගයක් ඒන විට ඉතා දරුණු ලෙස කිපෙන්නේ එබැවිනි.
ඒවන් අවස්තාවල්දී ඒකී මහා සත්යයට පටහැනි වූ ස්ත්යය පරාජය කිරීම සඳහාත් මහාස්ත්යය පවත්වාගෙන යාම ස්ඳහාත් කලින්ම තනාගත් කලු සහ සුදු තේරුම් සhiත වචනමාලාවක් ඇත. ඒවායේ ස්ංකේතාරථ තදින්ම මිනිසුන්ගේ සිත් වලට කාවද්දා ඇති බැවින් එකී වචනකින් පහර දී අලුත් අදහසක් ගෙන එන්නා බිම් දැමිය හැකිය. එම කලු වචනයන්ගෙන් සමරක් නම් ''ද්රෝහියා', 'රටපාවාදෙන්න', 'රටකඩන්න හදන එකා', 'සිංහල කොටියා', 'ත්රස්තවාදියා', එන් ජී ඕ කාරය', 'ඩොලර් පප්පා වැනි දේයි.
මා, යුදසෙබලා සම්බන්ද්යෙන් මවා ඇති මහා සත්යයට වෙනස් වූ ස්ත්යයක් ගෙන ආවිට පළමුවෙන් ම මට පහර් දිය හැකි පෙර දැක් වූ කලු වචනයක් වෙත තල්ලු කරගෙන යාමට උත්සාහ කිරීම මෙයට උදාහරණයි. මා නැවත නැවත් ඔබගෙන් ඉල්ලා සිටිනවා මාගේ සියලුම බ්ලොග් තුලින් කොතැනක හෝ බලය බෙදීමක් ගැන කතා කර්තිබේ දැයි බලන්න කියා. මේ සම්බන්ධයෙන් කසුන් සහෝදරයා කරන විග්රහය මා මෙහි දක්වනවා.
March 18, 2010 10:37 PM
kasun | said...
>ලොක්කයියා ගේ මරණය හරහා බලය බෙදන්නට ඕනෑය, මේක අප හැමගේම රටය යන කරුන මතු කිරීමට උත්සාහ කරනවා.<--No Frames
පිටස්තරයාගෙ සටහන මම නැවත නැවත කියෙව්වත්, මෙතැන 'බලය බෙදීමක්' ගැන කතාකෙරෙන්නේ කොතැනද කියල හොයාගන්න බැරි උනා. මානූෂික කතන්දරයක්, ඔලුවේ තිබෙන හීනමානී අදහස් වලට සාපේක්ෂව ගලපා බලන්නෙකුට මිස මෙම සටහන බලය බෙදීමක් ගැන කෙරෙන සටහනක් ලෙස වටහාගන්න හැකි වෙන්නේ නැහැ.
අනික, මේ රට, මෙහි ජීවත් වන 'අප හැමගේම රටය' කියන දේ අමුතුවෙන් මතුකරන්න තරම් දෙයක් නෙමෙයි. සත්යය එයම නිසා. බලලෝභි දේශපාලනයේ සහ උම්මත්තම මානසික ව්යාධීන්ගෙන් පෙලුනු/පෙලෙන මිනිසුන් විසින් වපුරපු දේවල් නිසා දශක ගණන් තිස්සේ එකිනෙකා ලේ හලාගත්තා, ඒත් අවසානයේ තවමත් ඉතිරිව සිටින්නන් පවා සිදුවූ දේ පිළිබඳව දකින්න උත්සහ කරන්නේ එකිනෙකාට පෞද්ගලික වෙන පටු සීමාවන් වල ඉඳගෙන නම් අනාගතය තව දුරටත් අඳුරු වීම අනිවාර්ය්යක්. අනෙකා වටහාගැනීමේ උවමනාවක් නැති, යථාර්ථයට වඩා-බුද්ධියට වඩා පටු හැඟීම් වලට ඉඩදෙන මිනිස්සු අහිනක් අතර 'ලොක්කයියා' හෝ යුද්ධය විසින් මරාදැමුණු දසදහස් ගණන් ජීවිත වලට සාධාරණයක් ඉටුවෙන එකක් නැහැ. මේ හැම එකාටම මරන්න මිස ජීවත්කරවන්න අවශ්යතාවයක් නැහැ.
හැමදේටම වඩා, -බලය, ආගම-ජාතිය, කුලය මේ ආදි හැමදෙයකටම- වඩා ප්රාතමිකම දේ වෙන්නෙ මනුෂ්යත්වය. මිනිස්සු ඒක වටහා නොගන්නා තාක්, මේ දේවල් වල වෙනසක් බලාපොරොත්තු වෙන්න බැහැ.
--
"මේ සිංහල අපගෙ රටයි" කියන යෙදුම "මේ සිංහල අපගෙ (පමණක්) රටයි" ලෙස කියැවෙන ඕනෑම සන්දර්භයක් තුලදී මම ඔය කියන 'මහම මහ මූසලයා' වෙන්න හරි කැමැත්තෙන් ඉදිරිපත් වෙනවා.
'හැඟීම් වලට සත්ය යටපත් කරන්න බැහැ' ඒ වගේම සත්ය කියන්නේ මතුපිට හැඟීම් වලින් විතරක් වටහාගන්න පුලුවන් දෙයකුත් නොවේය කියන දේත් තේරුම් ගන්න පුලුවන් නම් වැදගත්.
March 20, 2010 2:04 PM
මා මුලින් කී පරිදි සිද්දි සහ අත්දැකීම සංකීර්ණ වූ සත්යයන් දැකීමට උදව් වන බැවින් අපට පුලුවන්නම් ඒවා ඒකතු කරන්නට අපිට පුලුවන් වෙයි ලොකු යමක් කරන්න. උදාහරණයකට මා දැනට සිටින සරසවියේම සිටින යාපනේ ශිෂ්ය සහෝදරයෙකු ලොක්කය්යාගේ කතාව දෙමළ බසට නගා යාපනයේ පුවත් පතක පල කිරීමට ඒකඟ වුනා.
සෙබලා යකෙක් ලෙස වූ මහා සත්යයක් තිබුනු යාපන්යෙ ලොකය්යාගේ කතාව පල වුනොත් අවියක් ගෙන ඔවුන් ඉදිරියේ සිටින සෙබලාගේ මානුෂික ජීවිතය ඔවුන් දකීවි. එල් ටී ටී සාමාජික්යෙකු ලෙස සිට මියගිය අයෙකුගේ සහෝදරයෙක් හෝ සහොදරියක් මෙය දුටුවොත් මේ කතාව තුළ මියයන පුද්ගලයා මියගිය තම සහෝදරයාට කොතරම් ස්මීප දැයි දකීවි.
බලන්න සත්ය වූ කතාවකට කොතරම් ප්රබල යමක් කළ හැකිද කියා.
අනෙක් වැදගත් කරුණ නම් එල් ටී ටී එක සිටියා නම් ලොකය්යාගේ කතාව එහෙ පලවෙන්න ඉඩ දෙයි ද? උත්තරය නැත යන්නයි. මක් නිසා ද එල් ටී ටී එක පවත්වාගෙන ගිය 'මහාසත්යයට ද ඒය අභියෝගයක් වන බැවිනි.
හොඳින් තේරුම් ගන්න. දෙපැත්තේ ම යම් පිරිසකගේ පැවෙත්ම සඳහා පවත්වාගෙන යන මහා ස්ත්යයට එක මිනිසකු සම්බන්ධ, එකම ඒක මිනිසකු සම්බන්ධ සත්යය අභ්හියොගයක් වන ආකාරය. දෙපැත්තේ ම අන්තවාදීන් මහා සත්යයන් පවත්වාගෙන යන අතර ඔවුන් දෙපිරිසම එයට වෙනස් වූ සත්යයට බයයි. ඒ එම මහා ස්ත්යයට පරිබාහිර සත්යය දෙපස සිටින පිරිස දැනගත හොත් ඔවුන් භේද කොට තබා ගැනීම අසීරු නිසා.
ඒ නිසා මෙහිදී හමු වූ හදවත් ඇති සැමගෙන් ඉල්ලා සිටිනවා ඔබ දන්නා කතා එකතු කරන්න. මම ගල් ඔය ව්යාපාරයෙ වැඩකළ පුද්ගලයාගේ කතාව ගත්තාක් මෙන් යුද්දයට පෙර යාපනයේ වැඩකළ ඔබේ වැඩිහිටි නෑයන්ගේ අත්දැකීම් සිද්ධි ඒකතු කරන්න. මම උත්සාහ කරනවා අපිට නො ඇසුනු දෙමළ මිනිසුන්ගේ කතා එකතුකොට සිංහලට පරිවර්තනය කරන්න.
නිසැකවම මුලු දෙමළ වර්ගයාගේ මස් කෑ යුතුයි කෛයන අය එයට එරෙහි වෙයි. ඒත් මේ සාකච්චාව ආරම්භ කළේම නැවත මහ විනාශයක් වලක්වන්න අපි කුමක් කළයුතු ද යන අදහසින් වන නිසා ඔවුන්ගේ හතුරු වීම අප සැලකිල්ලට නොගත යුතුයි.
බුමුතුරුණු මහතා කී ත්රිකුනාමලයේ තරුණයාගේ කතාව හොඳින් සංවිදානය කර ලිව්වොත් ඒක අපිට හොඳ අත් දැකීමක් වේවි.
නෝ ෆ්රේමස් මහතාට කියන්න තියෙන්නෙ ඔබට උවමනායි යුද්දය, ඔබට උවමනායි දෙමළු හා සිංහලුන් සැම දා සතුරන් ලෙස සිටීම. මගේ වුවමනාව ඒහි අනික් පැත්ත. අනෙක් අතට ඔබේ තර්කවලට හෙතුවාදී පදනමක් නෑ. සියලු දෙමළුන් එකවගේ යැයි කිසිම තර්කයක පිහිටා කිව නොහැකිමුත් ඔබට එසේ කිය හැකියි. භික්ෂූන් ඒකජාතියක් වෙනුවෙන් විතරක් පෙනී සිටීම බුදුදහමට ඒරෙහි බව කීවිට ඔබ කළයුතුව තිබුනේ ත්රිපිථකයෙන් සූත්ර උපුටා දක්වමින් මාගේ අදහස පරාජය කිරීමයි. නමුත් එයට ඔබ කීවේ උන්වහන්සේලාට මා මඩගසන බවයි. ඒය මඩ ගැසීමක් නම් මට ඔබට කියහැක්කේ මට ඒ මඩ අනා දුන්නේ බුදුන් බවයි.
මාගේ මේ පිළිතුරු ලිපියෙන් මතුවන කරුණු සම්බන්ධයෙන් ඔබට පිළිතුරු දිය හැකිය්. එහෙත් ඒ පිළිතුරු ලිපියට මා නැවත පිළිතුරු සපයන්නේ නෑ. හේතුව මාගේ අරමුන සමග ගත්විට ඔබට පිළිතුරු ලියන්න කාලය ගත කිරීම අර්ථයක් නැති බැවිනි. මේ සංවාදයට සම්බන්ධ වූ සෑම දෙනාටම ඉස්තූති කරන අතර ඒ අයගෙනුත් මා ඉල්ලා සිටින්නේ නෝ ෆ්රේම් මහතාලියන දෙයට පිළිතුරු දීමට කාලය නාස්ති නොකරන ලෙසටයි.
By පිටස්තරයා-2
No Frames සහෝදරයා පිටස්තරයාට චෝදනා කරා ඔහු ලොකය්යාගේ මරණය පිළිබඳ හැඟීම් අවුස්සා බලය බෙදන්නට උල්පන්දම් දෙනවාය කියා. පිටස්තරයා එම සහොදරයාගේ පිවිසීම ඉතා අගය කරමින් නැවත කාලකන්නි ජනඝාතක යුද්ධයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා වන සංවාදයකට ඒතුමාට ආරාධනා කළා. මේ පළවන්නේ No Frames සහෝදරය යොමු කළ ලිපිය සහ එයට පිටස්තරයා දුන් පිළිතුරයි.
No Frames said...
හැඟීම් වලින් සත්‍යය යටපත් කරන්නට බැහැ. ලොක්කයියා ගේ මරණය හරහා බලය බෙදන්නට ඕනෑය, මේක අප හැමගේම රටය යන කරුන මතු කිරීමට උත්සාහ කරනවා. නමුත් ඔය කරුණු වලින් කතා කළ හැක්කේ ඔය කරුණු පිළි ගන්න අයෙක් සමග පමණයි. මම පදවිය නගරේ ඉපදිච්ච කෙනෙක්. අපව මරන්නට ආපු කොටි, හා උන්ව සාධාරණීකරණය කල දේශපාලන කොටින්ට අපි මූණ දුන්නේ ඔය වගේ දේශප්‍රේමි හාමුදුරු වරු හින්ද තමයි. මම වයස 10 දී පදවියෙන් පිට වුනා අපට ගිණි බින්දිද්දී අපි හැංග්ණ්නේ ඔය දේශප්‍රේමී හමුදුරුවන්ගෙ පන්සලේම තමයි. මම එහෙම ගෙවුවේ වසර 10යි. ඒත් හාමුදුරුවෝ අවුරුදු 30ක් කොටි උණ්ඩ එක්ක හැංගි මුත්තන් කලා. එහෙම එකෙනෙක් "මේ සිංහල අපගෙ රටයි" කියන කොට ඉහ මොළ රත් වෙන එකෙක් ඉන්නවා නම් ඌ මහම මූසලයෙක් කියල මට නම් හිතෙන්නෙ. ඔබතුමාලා විශ්ව විද්‍යාලෙ අකුරු කරද්දි ඔබතුමාලගෙ පවුල් රැක ගත්තෙ හාමුදුරුවො විශ්වාස කරලා ගමේ නතර වුනු මිනිස්සුම තමයි.
බලය බෙදපු දවසක ඔය සහෝදර දෙමළ ජාතිකයෝම තමන්ගේ මහ එවුන්ගේ කීම් අසා ගෙන පිටස්තරයාගේ පවුල පන්නා දමන විදිය පිටස්තරයාට තේරෙන්නේ නැත. බලය බෙදන්නට ඕනේ මිනිස්සුන්ටය. සිංහලයන් ගම්බිම් වලින් එළවන්න හදන දෙමළ දේසපාලුවන්ට නම් නෙවෙයි. මම කියන්නේ බොරු වගේ නම් පකිස්තානෙයි ඉන්දියාවයි බෙදුවම වෙච්ච වාර්ගික සුද්ධ කිරීම ගැන පොතක් කියවල බලන්න. පිටස්තරයට ඔදැනෙන්න ඒත් ඊසාන දිග ලංකාවේ රළු පොළොව එක්ක හැපිච්ච, මහවැලි පිටාර තැන්නේ ගංවතුර එක්ක හැප්පිච්ච, කැලෑ උණ ජය ගත්ත කෙනෙක් විදියට මට නම් ඒක තේරෙනවා.
පිටස්තරයාගේ පිළිතුර
ඔබේ ප්‍රතිචාරයට ඉස්තුතියි. මා අදහස් කළ සංවාදය ඉදිරියට ගෙනයාමට ඔබගේ සම්බන්ධවීම ඉතා ම වැදගත්. මේ ඔබේ අදහස් වලට පිළිතුරු සපයමින් ලියන ලිපියයි. මේ ලිපියට පිලිතුරු සපයමින් බ්ලොග් එකට ඔබ විසින් එවන කොමෙන්ට් එක වහාම මම පෝස්ට් එකක් හැටියට මේ බ්ලොග් එකේම ඔබේ නමින් ඵලකරන්නම්. එවිට බ්ලොග් එක බලන හැම දෙනාටම එය වහාම කියවිය හැකියි.
අද මම චතුරංග සහෝදරයාට පිළිතුරු සපයමින් ලිව්වා
1. "අයේ එහෙම දෙයක් (යුද්ධයක්) අනාගතෙ උපදින අයට නොවෙන්න නං අපි මේක කතාකරන්න ඕන. ගැඹුරින් කතා කරන්න ඕන. ඒ වගේම ක්‍රියාවෙන් එවැන්නක් ඇතිවෙන එක වළක්වන්න ක්‍රියා කරන්න ඕන" කියල.
මම හිතනවා යුද්ධය අත්විඳි කෙනෙක් හැටියට මේ අදහස සමග ඔය සහෝදරයා එකඟ වෙයි කියලා.
තව දුරටත්
2. "(වෙනවිදියකට කියනවනම්) මීට අවුරුදු 50 කට එහා හිටපු අයට ඒක කරන්න (යුද්ධයක් ඇතිවීම වළක්වන්න අවශ්ය මැදිහත් වීම කරන්න) පුලුවන් උනානම් ලොකය්යා ඇතුළු අනිත් සෙබලු මැරෙන්නෙත් නෑ. 50 දාහක් තරම් දෙමළ තරුණයො මැරෙන්නෙත් නෑ" කියලත් මම එහි ලිව්වා.
මගේ අදහස අපි අවුරුදු 30ක් තිස්සේ අත්විඳි යුද්ධය වළක්වා ගතහැකිව තිබුණු යුද්ධයක් බවයි. එහි දී අවශ්ය පුද්ගලයන් බලවේග වගකීමෙන් වැඩනොකළ නිසා සහ දුර නොබලා සහ තම වාසී බලා කටයුතු කළ නිසා අප සැවොම (සිංහල, දෙමළ, මුස්ලිම්) පීඩා විඳි බවයි. එය මම සංවාදයේදී තවදුරටත් විස්තර කරන්නම්. මේ අදහසට ඔබ එකඟ නැත්නම් ඔබේ ඒ සම්බන්ද අදහස සංවාදය තුල දී ඉදිරිපත් කරයි කියල බලාපොරොත්තු වෙනවා.
මේ සංවාදය අප ඇරඹිය යුත්තේ නැවත අප පසුගිය කාලය පුරා අත්වින්දි ආකාරයේ යුද්දයක් මතුපරම්පරාවට උරුම වීම වැළක්වීමට මිස වාදයක ජය පරාජය සඳහා නොවේ. යුද්ධයක් ඇතිවනතුරු අත්පොරවා බලා ඉඳ යුද්ධය ඇති වුනාට පසු මහා පිරිත් පිංකම්, බෝධිපූජා සංවිධානය කොට යුද්ධයට යන තරුණයාට ආශීර්වාද කර ලබන පිනට වඩා, යුද්ධයට ගොස් අතපය නැතිව එන ඒ තරුණයාට මහ උත්සවයක් පවත්වා විඩියෝ කැමරා ඉදිරියේ අත්වාරු රෝදපුටු රණවිරු නිවාස ආදිය දීමෙන් ලබන පිනට වඩා යුද්ධය වැළැක්වීමෙන් ලද හැකි පින නිසැකවම වැඩි විය යුතුයි. අපට එය කළ හැකි වුනොත් අපි හැරමිටියෙන් යන කාලයේ සිටින ලොක්කය්යා වැනි තරුණයන්ට ගිනි අවියක් වෙනුවට ගිටාර් එකක් අත්ට ගන්න පුලුවන් වෙයි. බංකරයට වෙලා නිම්මි අක්ක ගැන සිහිකරකර පාලුවෙන් ගත කළ කාළය වෙනුවට ඇයත් එක්ක ෆිල්ම් එකක් බලන්න යන්න පුලුවන් වෙයි.දෙමළ තරුණ තරුණියෝත් ඒ විදියට ම සතුටින් ඉඳීවි. ගම්වලට වැද කපා කොටන තත්වයක් නැති බැවින් මායිම් ගම්මාන බවට පත්වන ප්‍රදේශවල විහාරස්තාන වල හාමුදුරුවරුන්ටත් එගම් වැසියන්ටත් සතුටින් ඉන්න පුළුවන්වෙයි.
ඔබ අහයි දැන් ඉතින් යුද්ධය ඉවරයි නේ අයි මොකක් ද වළක්වන්න තියෙන්නෙ කියල.
සහොදරය,
ඔබත් මාත් අයත් ආගමේ ශාස්තෲන් වහන්සෙ දේශනාකළ එක ප්‍රධාන් නියමයක් තමයි "හේතුවකින් හටගන්නා යමක් වේද එය නැසිය හැක්කේ ඒය හටගැනීමට මුල් වූ එම හේතුව නැසීමෙන් මිස ඵලය නැසීමෙන් නොවේ" කියල.
මගේ දැනීමේ හා අත් දැකීමේ ප්‍රමාණයට කිව හැක්කේ උණ්ඩයකින් නැසිය හැක්කේ ඵලය මිස හේතුව නොවේ. අවිගත් දෙමළ තරුණයා යනු ඵලය මිස හෙතුව නොවෙයි. ඒ නිසා දැන් කරන්න තියෙන්නේ කාලා බීලා නාගදීපෙ වැඳලා රා කට්ටක් බීලා ජොලියෙ ඉන්න එකයි කියල මම හිතන්නෙ නෑ. මේ වඩාත් වගකීමෙන් කටයුතු කළයුතු වෙළාවයි. "ත්‍රස්තවාදීන්" 50000ක් මැරුවා කියන කොට ඒකෙන් කියන්නේ අම්මලා 50000කට දරුවො නැතිවුණා කියන එක. තාත්තලා 50000කට දරුවො නැති වුනා කියන එක. සහෝදර සහෝදරියෝ අඩුගානෙ ලක්ෂ දෙකකට සහොදරයො නැති වුණා කියන එක. දරුවන් ලක්ෂයකට පමණ පියවරු නැතිවුණා කියන එක.තව බිරින්දෑවරුන්ට සැමියන් නෑදෑයින්ට නෑදෑයන්, අසල්වැසියන්ට....
ප්‍රභාකරන් බිහිවුනේ ඉඳහිට දෙමළ ජනයාට එරෙහිව සිංහල ජනයා අතර සිටි සමහර දාමරික කොටස් කළ අමන ක්රියා සහ නින්දා කිරීම් සහ රාජ්ජ්ය්මය වස්යෙන් සිදු වූ බරපතල අත් වැරදි යටතේයි. ප්රභාකරන්ට වඩා සියගුණයකින් දරුණු පුද්ගලයන් දහසක් බිහිවෙන්න අවශ්ය සාධක අප ඉදිරියෙ අද තියෙනවා. ප්‍රභාකරන් බිහිවුනේ පත්තරේ දැන්වීම් දාලා ඔක්කොටම දැනුම් දීලා නෙවෙයි. නොදන්නා තැනක ඔහු බිහිවෙලා මාරයෙක් වගේ ඉදිරියට ආවට ප්ස්සෙයි අපි දන්නෙ ඔහු බිහිවෙලා කියලා .
ඒ නිසා මේ අපායේ ඉන්ටර්වල් එක කියන එකයි මගේ අදහස. වගකීමෙන් කටයුතු නොකළොත් ප්‍රථිඵල භයානක වේවි. ඒත් අපි අඩුතරමේ මේවගේ සාකච්ඡාවක්වත් ඇරඹුවොත් අපි යමක් කළානේ කියලවත් සතුටුවෙන්න පුලුවන් වෙයි.
මේ සංවාදයට අනෙක් මිතුරන්ටත් සම්බන්ධවිය හැකියි. මා ලියන ලිපිවලට හෝ නෝෆ්‍රේම්ස් සහොදරයා ලියන දෙයට ප්‍රතිචාර ලියා එවන්න. අන්රටවල ඉන්න සහොදරවරු තමතමන් ඉන්නා රටවල අපරටේ වැනිප්‍රශ්න විසඳාගෙන ඇති ආකාරය ලියන්න.
තව එකකරුණක් පැහැදිලි කරන්න ඕන. මගේ මුල් ලිපියේ අය්යාගේ මළගමෙහි ජාතිවාදී බනක් කී "දේසප්රේමී සිංහල භික්ෂු සංවිධානයක ප්රාදෙසීය සංවිධායක භික්ෂූන් වහන්සේ" මායිම් ගම්මානවල දුගී ජනයා සමග දුක්විඳිනා භික්ෂුවක් ලෙස වටහා ගැනීම වැරදීමක්. මා එයින් අදහස් කළේ අප මුහුණ දුන් භයානක ප්‍රශ්නය දේශපාලන මය වසයෙන් විස්ඳීම වැළැක්වීම සඳහා දිවා රෑ වෙහෙසුනු වැඩිපුර ලිප්ටන් වටර්වුමේ ජීවත් වූ අප සහෝදර දෙමළ ජනයාට කිසියම් අය්තිවාසිකමක් ලැබෙන්න යනවිට එය බලා ඉන්නවාට වඩා හොඳයි නොකා මැරෙනවා කියා උපවාසවලට වාඩි වූ (එහෙත් කිසි දා නොමළ) දේශපාලන පක්ෂ කීපයක් වෙනුවෙන් ක්‍රියා කළ භික්ෂු පිරිසයි.
මායිම් ගම්මානවල ජීවත්වෙමින් තමන්ව පෝෂණය කළ ජනයා අත් නොහැර ජීවත් වූ භික්ෂූන් සම්බන්ධයෙන් මාගේ ඇත්තේ ගවුරවයක්.
එහෙත් කවර භික්ෂුවකට හෝ එක් ජාතියක් වෙනුවෙන් පෙනී සිටීමට අයිතියක් නැත යනු මාගේ බුදු දහම පිළිඹඳ දැනුමයි. මා කියවා ඇති පරිදි පැවිදිවූවෙකු විසින් සිහිකළයුතු කරුණු 10 කින් පළමු වැන්න වන්නේ 'තමන් ගිහිකළ පවත්වාගෙන ගිය ජාති, කුළ, වර්ණ ආදි අනන්න්යතා අත්හල බව, ඒවා ඉක්මව ගියබව නිරන්තරයෙන් සිහිකිරීමයි.
එහෙම එකෙනෙක් "මේ සිංහල අපගෙ රටයි" කියන කොට ඉහ මොළ රත් වෙන එකෙක් ඉන්නවා නම් ඌ මහම මූසලයෙක් කියල මට නම් හිතෙන්නෙ කියා සහෝදරයා කිව්වට කොහොම කෙනෙක් වත් මේක සිංහලයන්ගේ රටයි කියා කීම නොකළ යුතුයි . මේ රට මෙහි උපන් හැම දෙනාටම අය්ති ඒක්ක්. සිංහලයන්ගේ රට යැයි කී විට අනෙක් ජාතීන්ට තමන් මෙහි දෙවැනි පංතියේ පුරවැසියන්ය යන අදහස ඇතිවෙනවා. අප කළ යුත්තේ ඒවන් හැඟීමක් ඇතිවෙලා තිබුනත් ඒය නැති කරීමට ක්‍රියා කිරීමයි.
සහොදරයා මේ දක්වා ඇති අදහස්වලට පිළිතුරු එවාවි කියා බලාපොරොත්තු වෙනවා.
By පිටස්තරයා-2
දවසක් නවාතැනට යනකොට පිටස්තරයට ගෙදරින් හදිසි පණිවිඩයක් ඇවිත් තිබුන.
"හදිස්සියක් කියල වහාම එන්න කිව්ව" නවාතැනේ මාම පණිවිඩේ කිව්වා.
මේ වෙනකොට පිටස්තරය හිටියෙ විශ්වවිද්යාලේ දෙවෙනි වසරෙ ඉගෙන ගනිමින්. පහුවදා පාන්දර කොළඹින් අම්පාරට යන බස් එකෙන් පිටස්තරය ගෙදර යන්න පිටත් උනා. බස් එකෙන් බහිනකොට හවස 5 ට ඇති. ඉතිරි කි. මී. 5 පුරුදු විදියට පයින් ම යන්න පටන් ගත්ත.
ගමේ මිනිස්සු පිටස්තරය දැක්කම ප්‍රතිචාර දැක්කුවෙ වෙනදට වඩා වෙනස් විදියකට. සමහරු ඔහු දැක්කම හුනස්නෙන් නැගිට්ට. සමහරු නොදැනීම වගේ අඩි කීපයක් ඉදිරියට ආවා. හැමෝම ඔහුට ඉතාම කරුණාවෙන් වචනයක් හෝ කතා කළා.
"පුතේ"
"නැන්දේ... ගෙදරින් එන්න කියල පණිවිඩයක් එවල තිබුන"
"හොඳයි පුතේ, ඉක්මණින් යන්න"
'ඇයි ඉක්මණින් යන්න කියන්නෙ' පිටස්තරය කල්පනා කළා.
තව ටික දුරක් යනකොට පිටස්තරය දැක්ක පාර අයිනේ යමක් කරමින් හිටිය ගමේ තරුණ යාළුවෝ පිරිස.
"කොහොම ද?" පිටස්තරය ඇහුව.
ඒත් කවුරුවත් උත්තර දුන්නේ නෑ. ඒ වෙනුවට හැම දෙනාම හෙමිහෙමින් පිටස්තරය ළඟට ආවා. මඳ අඳුරෙ වුණත් ඔවුන්ගෙ මුහුණුවල ඇති ශෝකී පෙනුම පිටස්තරය දැක්කා. ඔවුන්ගේ අත්වල යමක් තිබුනා.
"සුදුකොඩි...!"
'හදිස්සියක් කියල වහාම එන්න කිව්ව'... 'ගමේ අයගෙ කරුණාව...' යාලුවන්ගේ ශෝකී මූණු...' 'සුදුකොඩි...'
පෙර දා හවස නවාතැනට පැමින මුහුණ සෝදන අතර යාන්තමින් ඇසුනු රූපවාහිනී ප්‍රවෘත්තියක් එකවරම පිටස්තරයාගේ සිහියට ආවා.
'අද උදෑසන මාර්ග සෝදිසියක නියැලී සිටි භටපිරිසක් වෙත එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයකින් මහඔය පොලිස් ස්ථානයට අයත් පොලිස් භටයින් 13 දෙනෙකු සහ පුලුකුණාව ගුවන් හමුදා කඳවුරට අයත් ගුවන් භටයින් 10 දෙනෙකු මියගොස් ඇත'.
'' ලොකය්ය....."
එකවරම පිටස්තරයාගේ මුවින් පිටවුනා.
කලින් කතාකරගත්තාක් මෙන් තරුණ පිරිස පාවෙමින් මෙන් නිවස දෙසට යන පිටස්තරයා සමඟ කිසිත් නොදොඩාම ගමන් කරන්න පටන් ගත්ත.
එක අතකින් සීට් එක කිහිලිගන්නගෙන අනිත් අතින් හැඬල් ඒක අල්ලගෙන බාර් ඒකට යටින් කකුල දමා බය්සිකල් පදින්න පුරුදුවෙන පිටස්තරයා පිටිපස්සෙන් දුවගෙන එන ලොකය්යගේ කටහඬ...
"... පදිනකොට ඉස්සරහ රෝදේ දිහා බලාගෙන යන්න එපා. පාර දිහා බලන්න"
"මගේ උසේ හැටියට පේන්නෙ රෝදෙ තමයි... හ්ම්"
පොඩිකාලෙත් පිටස්තරය පණ්ඩිතයි.
ලොකය්ය හිනාවුනා.
පිටස්තරය පහේ ශිෂ්යත්ව විභාගෙට සූදාන්ම් වෙන කාලේ වෙනකොට ලොකය්ය හිටියෙ ගෙදර නෙවෙයි. නෑදැ ගෙදරක නතරවෙලා උහන මහාවිද්යාලයේ උසස්පෙළ හදාරමින්. මේ අතර පිටස්තරයගෙ නමට තැපෑලෙන් පොතක් ආවා. දවස් ගාණක් යනතුරු පිටස්තරය කළේ පොතේ සුවඳ බලන එක. ඒකෙ පිටකවරයේ ලියැවිලා තිබුණු දේවල් තවමත් පිටස්තරයට මතකයි.
'5 ශිෂ්යත්ව අත්වැළ, ලස්සන ප්‍රකාශකයෝ, වැල්ලම්පිටිය, මිළ රු. 15යි'
"මේං මගේ සිස්සත්තෙ පොත.." "ලොකය්ය එව්වේ..." "තැපෑලෙන්..."
පිටස්තරය ඒක හැමෝටම පෙන්නුව.
ලොකය්ය උසස් පෙළ සමත් උනත් විශ්වවිද්යාලේ යන්න තරම් ලකුණු තිබුනෙ නෑ. ඒ ගැන ලොකය්යාගෙන් ඇහුවම එයා කිව්වේ "උගන්නන්න ගුරුවරු හිටියේ නෑ බං. දුස්කර සේවෙට කියල පත්කරල එවන ගුරුවරු කොහොම හරි ඉක්මණින් මාරුවක් හදාගෙන ගම්වලට යනවා. සමහර විශය කොටස් කරන්න ගුරුවරු හිටියෙම නෑ" කියායි.
ඒත් පිටස්තරයගෙ ගමේ උසස් පෙළ ඉගෙනගත් අය වුනත් හිටියෙ ටික දෙනයි. ලොකය්ය රස්සාවලට ගොඩාක් ඉල්ලුම් පත්තර දැම්ම. ඒත් ඒකක්වත් හරිගියෙ නෑ. වාණිජ විශයයන් හදාරල තිබුනු ලොකය්ය ගමේ ඉස්කොලෙ අවුරුද්දක්ම ස්වේච්ඡා ගුරුවරයෙක් හැටියට වැඩ කළා. ස්වේච්ඡා ගුරුවරුන් ඉස්ථිර කරනව කියන ආරචිය ආ දවසේ ලොකය්ය හිටියෙ හරි සංතොසෙන්. ඒත් ඒ තණතුරට පත්වුනේ කිසිදාක ස්වේච්ඡා ගුරුවරයෙක් හැටියට අපේ ඉස්කෝලෙ වැඩ නොකරපු අමුත්තෙක්.
"ඒකා මන්ත්රී තුමාගෙ එකෙක්ලු"
ගමේ සමහරු කිව්ව.
"නෑ.. ඔව්වා බොරු කතා. එතුමා ඔව්වා දන්නෙ වත් නෑ. විදුහල්පතියා පගාවක් අරගෙනලු ඔය වැඩේ කරල තියෙන්නේ..."
මන්ත්‍රීතුමාගේ පක්ෂෙ මොනිස්සු කිව්වා.
ලොකය්යා හමුදාවෙ රස්සාවට ගිය දවස තාම පිටස්තරයට මතකයි.
"දේසපාලකයගේ ලියුමක් නැතුව අපිට යන්න පුලුවන් එකම රස්සාව මෙච්චරනෙ බං"
"ප්‍රභාකරන්ට පිංසිද්දවෙන්න ඕන අපිට එහෙම චාන්ස් එකක් අරං දුන්නට"
පිටස්තරයගෙ ඔලුව අතගාමින් ලොකය්ය එහෙම කිව්වා.
උසස්පෙළ පළමු වසරෙ ඉගෙනගන්න කාලෙ දවසක් පිටස්තරය ලොකය්ය බලන්න කඳවුරට ගියා.
"ලොකය්යේ, මම හිතාගෙන ඉන්නෙ එක අවුරුද්දෙන් උසස්පෙළ ලියන්න ප්‍රයිවෙට් දාලා"
"පුලුවන් ද ඒක කරන්න?"
"ඔව්, පුලුවන්" පිටස්තරය ස්ථිර ලෙස කිව්ව.
"මට රුපියල් එකසිය අසූවක් දෙන්න"
"ඇය් එකසිය අසූවක්?"
"විභාග ගාස්තුව එකසිය අසූවයි"
පිටස්තරයට ඕන කළේ ලොකය්යට සැල්කිල්ලක් හැටියට විභාග ගාස්තුව එයාගෙන් ගන්න.
ඊට වැඩියෙන් සල්ලි දෙන්න හැදුවත් පිටස්තරයා ගත්තේ හරියටම රුපියල් එකසිය අසූවයි.
විභාග ප්‍රතිඵල ආ දා ලොකය්ය ඇඬුව ටෙලිපෝන් එකෙන්.
"මම දැනගෙන හිටිය උඹ කාටවත් ඔලුව පාත්කරන්න වෙන්නෙ නැති තැනකට එනව කියල"
"හා එහෙනං... කවුරුත් නමස්කාරෙ කියමු පංසිල් සමාදන් වෙන්න"
ලොකු හාමුදුරුවන්ගෙ හඬින් පිටස්තරය කල්පනා ලොකෙන් අවදි උනා.
උන්වහන්සේ ලොකය්යා ආදර්ශමත් තරුණයෙක් හැටියටත් දහම් පාසැලේ කලක් සේවය කළ ගුරුවරයෙක් හැටියටත් තම අනුසාසනාවේ දී අගය කළා. උන්වහන්සෙ ලොකය්යා ගමේ කොල්ලන් එක්ක එකතුවී පංසල් වත්තේ කුරුම්බා බී අසුවූ අවස්ථා ගැන සඳහන් නොකිරීම ගැන පිටස්තරයා ලොකුහාමුදුරුවන්ට හිතින් ඉස්තුති කළා.
ඊළඟ අනුසාසනාව පැවරුනේ 'දේසප්රේමී සිංහල භික්ෂු' සංවිධානයක ප්රාදෙසීය සංවිධායක භික්ෂූන් වහන්සේ කෙනෙකුට. පටන්ගැන්මේ සිටම වේගවත් දේසනාවක් කළ උන්වහන්සේ බටහිර බලවේග මේ රට බෙදීමට කුමන්ත්රණය කරන බවත් එසේ බෙදීමට උත්සාහ කරන්නේ රට දුරුවල කොට ඔවුන්ගේ වුවමනාවන් ඉටුකරගැනීමට බවත් දේසනා කළා.. ඒ නිසා දිවිහිමියෙන් ඒකීය රාජ්ජය රැකගතයුතු බව උන්වහන්සෙ තව දුරටත් වදාලා.
පැදුරේ ඇණතියගෙන හිටි පිටස්තරයාට මේ බන තේරුනේ නෑ.
"රට බෙදන්නෙ නැතිව කරගන්න බැරි මොන වැඩේ කරගන්නද ඒ අය රට බෙදන්න හදන්නෙ? නෑ මං අහන්නේ බහුජාතික සමාගම් ඇවිල්ල මේ රටේ මොනවද අය්තිකරගෙන නැත්තෙ? ඒව කළේ රට බෙදලයැ? ගාණක් දුන්න වැඩේ කරගත්ත. අනෙක් අතට එක තැනකින් රට පාලනය වෙනකොට මුලු රටේම සම්පත් ගැන ඩීල් එක කතා කරන්න ඕන සෙන්ට්රල් පාලනයත් එක්ක විතරයි. බෙදුවම රීජනල් පාලකයන්ටත් දොලපිදේනි දෙන්න ඕන නේ. එතකොට වැඩේ අමාරුවෙන්නෙ ඔය කියන බටහිර ජාතීන්ට ම නේ. ඇයි ඉතින් වැඩේ අමාරු කරගන්නේ මෙච්චර ලේසියට කරගන්න පුළුවන්කම තියෙද්දි..?"
පිටස්තරය දස අතේ කල්පනා කළා.
"පිංවතුනි, මේ තරුණ මහතා අපි ඔබ වගේම හොඳින් ජීවත් වෙන්න පුලුවන්කම තියෙද්දි තමන්ගේ වටිනා තරුණ ජීවිතය රට දැය බුද්ධාගම බේරා ගැනීම සඳහා පූජා කළා".
මුන්වහන්සෙට අමු කැවිල ද කොහෙද? ලොකය්ය ට්‍රයි කරපු එක රස්සාවක් හරි ඒකට ලැබුන නම් ඒකා තාමත් අපි අතර ජීවත් වෙනව. නොදන්න දේවල් කතා නොකර හිටියනම් ඉවරය්නෙ'. පිටස්තරය කල්පනා කළා.
අනෙක් අතට ස්වේච්ඡා ගුරුපත්වීම ඒකට ලැබුන නම් කොච්චර සතුටින් ඒකා ජීවත් වෙන්න තිබුණ ද? ඒ රස්සාවට ඒකා කොච්චර ආස කළාද? කතා කරනව නම් ඒ වෙච්ච අසාදාරනේ නෙව කියණ්ඩ ඕන. බැරිනම් කටපියාගෙන ඉන්ඩ ඕන.
අනික යුද්ධ කරල කොහොම ද බුද්ධාගම බේරගන්නේ? යුද්දෙ ඇතිවෙනකොට ම බුද්ධාගම ඉවරනෙ. බුද්ධාගම බේරගන්න නං කරන්න ඕන යුද්ද ඇතිවෙන එක වළක්වන එකයි. ඒවට පෝර දාන එක නෙවෙයි.
පිටස්තරයගේ ලේ රත්වෙන්න ගත්ත.
"පිංවත් අපි සියලුදෙනා ම හිතට ගන්න ඕන මේක සිංහලයන්ගෙ රට, විජය කුමාරයගෙ ඉඳල අද දක්වා ම මේක අය්ති සිංහලයන්ට"
එතකොට උපතින් ම දෙමළ ගෑනියෙක් වෙච්ච මගේ ආච්චි අම්මගෙ රට මොකක් ද? * දකුණු ඉන්දියාව ද? අනික ඔයකියන විජය කුවේණිව එළවලා ඊළඟට බැන්දෙ මදුරාපුරෙන් ගෙන්නගත්තු දෙමළ ගෑනියක්ලු නේ. ඒ වැඩේට විතර ද දෙමළු හොඳ?
බුදුහාමුදුරුවො හාමුදුරුවරුන්ට කිව්වෙ එකපාරෙ දෙන්නෙක් නොගොහින් පොදුමිනිසුන්ගේ යහපතට ක්‍රියාරන්න කියල නේ. එකජාතියකට සේවය කරන්න කියල බුදුහාමුදුරුවො කිව්ව ද? එහෙව් එකේ හාමුදුරුවො කොහොමද සිංහල ජාතිය වෙනුවෙන් විතරක් පෙනී හිටින්නෙ?
අනෙක ඒකීය රාජ්ජයයි බුද්ධාගමය් අතර තියෙන සම්බන්දෙ මොකක් ද? ඒකීය රාජ්ජෙ නැතිව බුද්ධාගම පවතින්නෙ නැත්නම් බුද්ද කාලෙම ඒක විනාස වෙන්න තිබුනා නේ.
ලොකය්යට අපහාසයක් වෙන නිසා මම ඉවසනව. නැත්නම් කියල දෙනව උන්දැට..
“පිංවතුනි, දුටුගැමුණු රජ්ජුරුවන්ගේ කාලේ ඉඳල අපේ ජාතිය ආගම රැකුනේ මෙවන් වීර යෝධ පුතුන්ගේ ලෙයින්. අපි මේ තරුණ මහතා නැවත නැවතත් අප අතර ඉපදේවා, එසේ ඉපිද දස මහ යෝදයෙකු සේ රට ජතිය බුද්දාගම අරක්ෂා කොට අවසාන්යේ මයිත්‍රී බුදුන් දැක නිවන් දකීවා කියලා සාදු කියල ප්‍රාර්ථනා කරමු."
පිටස්තරයගෙ රතුකට්ට පැන්න.
"යකෝ මේ පරය කියන්නෙ මගේ ලොකය්ය ඉපදෙන හැම ආත්මෙම මේ පාහරයො වෙනුවෙන් අකාලෙ මැරෙන්න ඕන කියලනෙ."
නැගී සිටි පිටස්තරයා ලොකය්යාගේ මිනිය වළදැමීමට සූදානම් කරතිබූ සොහොන් කණත්ත දිහාට වේගයෙන් ගමන් කළා.
තැන තැන බුලත්විට හපමින් ද නොයෙක් ඕපාදූප කතා කරමින් ද ගෙමිදුලේ ඇන තියගෙන හුන් ගැමියන් මොකකට දෝ එකවරම සාදු නාදයක් පැවැත්තුවා.
ලොකය්යාවෙනුවෙන් වෙන් වූ වළෙහි පතුළ දෙස බොඳ වූ දෑසින් බලා සිටි පිටස්තරයාට දුරුවල හඬකින් මෙහෙම කියනවා ඇහුනා.
"රෝදේ දිහා බලාගෙන යන්න එපා. පාර දිහා බලාගෙන යන්න..."
එතෙක් ආයාසයෙන් හිරකරගෙන හිටි බැමි බිඳගෙන වේදනාව දෝරේ ගලා ගියා.
අලුත් වළෙන් ගොඩ දැමූ පස්මත පිටස්තරයා දනින් වැටුනා.
(මේ ලිපිය කවදා කියෙව්වත් කමක් නෑ. පළ කරල තියෙන දිනය ගැන නොසලකා ඔබට යමක් ලියන්න හිතෙනවානම් ලියන්න. මෙතැන් සිට මා ගොඩනැගීමට උත්සාහ කරන සංවාදයෙහි න්යායික හා තාර්කික පදනම පිහිටා ඇත්තේ මේ ලිපියේයි).
* 'පිටස්තරයාගේ ආගමනය' ලිපිය කියවන්න
By පිටස්තරයා-2
පිටස්තරයා 12 වෙනිද වෙබ් අවකාශයට පිවිසුනා. ඒ 'පිටස්තරය' නමින්. නමුත් ඒ වෙද්දිත් තව පිටස්තරයින් වෙබ් අවකාශයේ ඉන්න බව දැනගත්තෙ පස්සෙ. ඒ නිසා පිටස්තරය තමන්ගෙ නම 'පිටස්තරය-2' කියල ආයෙත් වෙනස් කළා. ලොකේ ඕනැ තරම් පිටස්තරයින් ඉන්න පුලුවන් එකේ වෙබ් අවකාශයේ කීපදෙනෙක් ඉන්න එක ගැන පුදුම වෙන්න ඕන නෑ. එහෙම වැඩිදෙනෙක් හිටිය කියල 'පිටස්තරය' කියන නම වෙනස්කරගන්න මේ පිටස්තරයට ඕන උනේ නෑ. හේතුව තමන් පිටස්තරයෙක්ය කියල 'පිටස්තරය -2' තදින් විශ්වාස කරන නිසා.අනෙක් අතට අපි පිටස්තරයින් උනත් අපි ලියන දේවල් වලින් හෙලිවෙය් නැවත වතාවක් අපි එකිනෙකාගෙන් කොය්තරම් පිටස්තර ද කියල. කියවන ඔබගෙනුත් ඉල්ලනව 'පිටස්තරය-2' අන් පිටස්තරයින්ගෙන් වෙන්කරල හඳුන ගන්න කියල.