පිටස්තරයා-2. ඉතිහාසය ගැන....

By පිටස්තරයා-2

පිටස්තරයා පහුගිය කාලයම ගත කළේ ඔහුගේ පශ්චාත් උපාධි පර්යේෂණයේ නියැලෙමින්. ඒ නිසා කලකට පෝස්ට් එකක් නොලියන්නයි හිතාගෙන හිටියේ. නමුත් හදිසියේ ම දැනගන්නට ලැබුනු තොරතුරක් නැවත වතාවක් පිටස්තරයව යතුරුපුවරුව වෙත තල්ලු කළා.

ඒ අප්‍රේල් 9 වෙනිදා. පිටස්තරය හිටියේ කාන්චිපුරම් සිට නැවත චෙන්නයි නගරය වෙත ගමන් කරමින්. පිටස්තරයගේ චූටි අක්ක පිටස්තරයට කතා කළා.

"ඔයා අපේ ගෙදර ආ හැම දාකම බලන්න ගියපු හාමුදුරුවො..."

"ඔව්, සීවලී හාමුදුරුවො..."

"ඒ හාමුදුරුවො ගැන පණිවිඩයක් කියන්නයි ගත්තෙ..."

පහුගිය දෙසැම්බර් මාසෙ ලංකාවට ගිය වෙලාවෙයි මම අන්තිමට සීවලී හාමුදුරුවන් ව බලන්න ගියේ. ඒ වනවිට උන් වහන්සේ බයි පාස් සැත්කමකට ලක්වීමෙන් පසු අම්පාර රෝහලට කි මී 1 ක් පමණ දුරින් පිහිටි නවගම්පුර විහාරස්ථානයේ සුවය ලබමින් සිටියා. අපහසුවෙන් උනත් උන්වහන්සේ සැලකියයුතු වෙලාවක් මා සමග කතා කළා.

සීවලී හාමුදුරුවො මට මුලින්ම හමුවුනේ මගේ චූටි අක්කා අම්පාර රෝහල සමීපයේ නිවසක පදිංචියට ගියාට පස්සේ. ඒ මීට අවුරුදු 10කට පමණ පෙර. එතැන් සිට අක්කා බැලීමට ගිය හැම වාරෙක ම සීවලී හාමුදුරුවන් බැලීමටත් මම ගියා.

සීවලී හාමුදුරුවො මට වැදගත් පුද්ගලයෙකු වීමට හේතු ගොඩක් තිබුණා. එක උන්වහන්සේ අවුරුදු 60ක පමණ කාලයක් තුළ අද අම්පාර ලෙස හඳුන්වන ප්‍රදේශයේ සිදු වූ සමාජ වෙනස්වීම් ඇහින් දු‍ටු ශාක්ෂිකරුවකු වීමයි. ඒ නිසාම දෝ කිසිත් ජාතිවාදි අන්තයකට නොවැටී අදාල ප්‍රදේශ අශ්‍රිතව ඇති වූ ප්‍රශ්න දකින්න උන්වහන්සේට හැකියාව තිබුනා. දෙවැන්න 1980 දශකයේ සිදු වූ අරංතලා භික්ෂු ඝාතනය අවස්තාවෙ දී මියගිඅය වයස්ගතම භික්ෂූන්වහන්සෙ වූ හෑගොඩ ඉන්දසාර හිමියන් සීවලී හාමුදුරුවන්ගේ ගුරු හාමුදුරුවන් වීම. තම ගුරුවරයාව ඝාතනය කරනු ලැබුවේ එල් ටී ටී ඊ ස්ංවිද්ධානය විසින් වුවත් ඔවුන් කෙරෙහි වයිරයක් උන්වහන්සේ තුළ තිබුනේ නෑ. තුන්වැන්න 2004 සිදු වූ සුනාමි ව්යසනයේ දී හානියට පත් අදාල ප්‍රදේශයේ දෙමළ සහ මුස්ලිම් ජනයාට විශාල සේවයක් කිරීමට උන්වහන්සේ දුන් දායකත්වයයි.

මා අම්පාරට ගිය බොහෝ අවස්ථාවල උන්වහන්සේ ප්‍රදේශයේ ඇවිදීමට මා සමග පැමිණියා. ඒ අතර උන්වහන්සේ මට කී සිද්ධීන්ගෙන් එකක් වූයේ මීට පෙර ලිපියක සඳහන් කළ අම්පාර ඩිපෝව අද පිහිටි භූමියේ 1950 දශකය තෙක් පැවති දෙමළ ගම්මානය හා එය විනාශ කිරීම පිළිබඳ පුවතයි.

කල්මුනේ, බුද්ධංගල, රජගල, කොත්මලේ කොළනිය ආදී ප්‍රදේශවල ඇවිදීමට උන්වහන්සේ මා සමග පමිණියා. ඒ සෑම තැනකම වාගේ දක්නට ලැබුණු ලක්ෂනයක් වූයේ විහාරස්ථාන ආශ්‍රයේ පොලීසියේ හෝ ග්‍රාමාරක්ෂක බලකායේ භටයන් සිටීම. කල්මුනේ විහාරස්ථානයේ සිටියේ එක භික්ෂූන් වහන්සේ නමක් ප්මනයී. ඊට අමතරව පොලීසියේ 20ක පමණ කණ්ඩායමක් එහි වාසය කළා. බුද්ධංගල තිබූ තත්වයත් එයමයි. හමුදුරුවරු සිංහල අයගේ පමණක් හාමුදුරුවො වීම හා සිංහල දෙමළ යන දෙපිරිසටම පොදු වූ හාමුදුරුවෝ වීමට නොහැකිවීම මෙන්ම ආයුද සන්නද්ධ භට පිරිසකගේ ආර්ක්ෂාව ලැබීමට සිදුවීම උන්වහන්සේ විස්තර කළේ මෙහෙමයි.

"නවසිය පණහ විතර වෙනකම් මෙහෙ සිංහල දෙමළ ප්‍රස්නයක් තිබුනේ නෑ. ජාතිය ගැන ලොකු අදහසක් තිබුනෙත් නෑ. ඕන තරම් මිශ්‍ර විවාහ තිබුනා. වෙසක් එකට දීගවාපි ගිය මිනිස්සුම මණ්ඩෝරු කොවිලේ උත්සවය පැවැත්වෙන කාලයට මඩකලපු ගියා ඒකට සහභාගී වෙන්න. ඒ කියන්නෙ සිංහලකම දෙමෙළ කම පැහැදිලිව ඉරක් ගහල වෙන්කරන්න බැරුව වගේම බවුද්ධකම හින්දුකම පැහැදිලිව ඉරක් ගහල වෙන්කරන්නත් බෑ ඒකාලෙ.

නමුත් පනස් ගණන් මැද වෙනකොට ප්‍රශ්න මතුවෙන්න ගත්ත. ජාතිවාදී කෝලාහල ඇතිවුණා. ඒවාට වැඩියෙන් සම්බන්ධවුනේ ප්‍රදේසේ මිනිස්සු නෙවෙයි. අවාසනාවට මේකාලේ සැලකියයුතු ජනගහනයක් අම්පාරට ඇවිත් හිටියා පිටින්. ඉඟිනියාගල සේනානායක සමුද්‍රයේ ඉදිකිරීම් වැඩට. ඒ අයට මෙහෙ මිනිස්සු අතර තිබුනු සහජීවන ජීවිතය ගැන අවබෝදයක් තිබුනේ නෑ. ඒ නිසා අවාසනාවන්ත සිද්ධි ගොඩක් සිදු වුණා. ඒ නිසා එතෙක් සිංහල දෙමළ කියල විශේෂයක් නැතිව හිටි මිනිස්සු පැහැදිලිව බෙදෙන්න ගත්ත. දෙමළ බාසාව කතාකරන අයව කසාද බැඳගෙන හිටි අය ඒව හංගන්න ගත්ත.

ඔය අතර සේනානායක සමුද්‍රය යටතෙ ඉදිවුණු අලුත් ජනපදවල පදිංචියට පිටපළාත්වලින් මිනිස්සු මෙහාට ආවා. මේ අයටත් මේ ප්‍රදේශයේ තිබුනු සහජීවන ජීවිතය ගැන දැනුමක් තිබුනේ නෑ. ඒ ආ වැඩිදෙනා තම ජනපදවල පංසල් ඉදිකරල තමන්ගෙ මුල් ගමෙන් ම හාමුදුරු කෙනෙකුත් වඩමවා ගත්ත. හොඳ උදාහරණයක් කොත්මලේ කොළණිය. ඒකේ පදිංචි වුනේ කොත්මලෙන් ආ මිනිස්සු. ඒ ගොල්ලො හදපු පංසලට ආවෙත් කොත්මලේ හාමුදුරු කෙනෙක්. මේ කාලෙයි සිංහල බාසා පනත සම්මත වීම 2500 බුද්ධ ජයන්ති සමරුව වගේ දේවල් ලංකාවේ සිද්ධ වුනේ. මේ හැම දෙයක්ම සිද්ධ වුනු ආකාරය එතෙක් තිබුනු සිංහල දෙමළ සමගිය පළුදු කළා. අලුතින් පිටින් මෙහි පදිංචියට ආ මිනිස්සුන්ට හා හාමුදුරුවරුන්ට මෙහෙ එතෙක් තිබුණු සාමාජ ක්‍රමය නොතේරීම මේ බෙදීම තව වැඩි කළා.

හැම වෙලාවෙම දෙමළ අයටයි ජාතිවාදී කෝලාහල අවස්තාවලදි තම ගම්බිම් හරකබාන දාල යන්න සිදුවුනේ. සිංහල අයට නෙවෙයි. (පිටස්තරයාගේ සටහන: වෙනත් ප්‍රදේශවල හිටි සිංහලයන්ටත් තම ගම්බිම් අතහැර දමා යන්නට සිදු වුනා දැයි නොදනිමි. මා මෙහි වාර්ථා කරන්නේ 50-60 දශකවල අම්පාර දිස්ත්‍රික්කයේ සිදුවුනු සිදුවීම් පිළිබඳව සීවලී හිමියන් මා සමඟ පැවසූ දේයි). ඒ නිසාම සිංහලයන් සමග හිටි මේ අලුත් හාමුදුරුවරු දෙමළ අය දැක්කෙ තමන්ගේ හතුරෙක් හැටියට.

"අලුතෙන් මේ පළාතට ආ හාමුදුරුවරු අලුත් සිංහල ගම්මාන ඉදිකරන්නත් කටයුතු කළා නේද?" මම ඇහුවා.

"ඔව්.. උදාහරණයකට බුද්ධන්ගල අරණ්ය සේනාසනය දක්වන්න පුලුවන්. ඒකේ හාමුදුරුවො කලුතරින් ආ කෙනෙක්. උන්වහන්සේයි බුද්ධංගල ගම කියල අද තියෙන ගම හදල ඒකේ සිංහලයන් පදිංචි කළේ. ඒක මම දකින්නේ නෑ දෙමළ අයට එරෙහිව කළ දෙයක් හැටියට. ඒත් මේව සිදුවුනේ කාලයක් තිස්සේ ප්‍රදේශයේ ජීවත් වුනු දෙමළ ජනයාට නොයෙක් හිරිහැර සිද්ධවුනු පරිසරයක. තම තමන්ගේ ගම් අතහැර දමල යන්න සිද්ධවුනු පරිසරයක".

"මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනව නේද? මිහිදු හාමුදුරුවො මිහින්තලේට හෝ අනුරාධපුරට ඇවිල්ලා ඒ අවට පාටලීපුත්‍රයෙන් (ඉන්දියාවෙන්) ගෙන ආ ජනතාවක් පදිංචි කරල අලුත් ගම් ඉදි කළේ නෑ. ඒ වෙනුවට මෙහෙ වාසය කළ මිනිස්සුන්ගෙ භාෂාව ඉගෙනගෙන ඔවුන්ට බුදු දහම කියල දුන්න. නමුත් ඇයි මේ කාලේ මෙහෙ පදිංචියට එන හාමුදුරුවරුන්ට සිංහල ගම්මාන ම ඕන වෙන්නෙ? ඇයි දෙමළ අය අතර ජීවත්වෙමින් උන්වහන්සෙලාට කල්ගෙවන්න බැරි වුනේ?"

මගේ ඒ ප්‍රශ්නයට පැහැදිලි පිලිතුරක් සීවලී හාමුදුරුවො මට දුන්නෙ නෑ. ඒත් උන්වහන්සේ මෙහෙම කිව්වා.

"ඔව්.. මම පිලිගන්නවා හාමුදුරුවරු එක ජනකොටසකට සීමා නොවිය යුතු බව. නමුත් මේවා සිදු වුනේ අපි ජාති දෙක වේගයෙන් බෙදෙමින් තිබුණු කාලේ. හරියට ජාතිවාදය ඇවිස්සෙන දේවල් සිදු වුණා. දෙමළ අයගේ ආරක්ෂාවට කවුරුවත් ඉදිරිපත් වුනේ නෑ. නමුත් සිංහල අය වෙනුවෙන් ගොඩක් දෙනා බැලුවා. ඒ අලුතින් මෙහෙ පදිංචියට ආ සිංහලයන්ගේ චන්ද ටික ගැන තිබුනු උනන්දුව නිසා මිස ඔවුන් ගැන තිබුනු විශේෂ ආදරයක් නිසා නෙවෙයි."

තම ගුරුහාමුදුරුවන් ඇතුළු භික්ෂූන් 31 නමක් ඝාතනය වීම පිළිබඳව උන්වහන්සේගෙන් විමසූ විට උන්වහන්සේගේ පිළිතුර වූයේ

"අවුරුදු 50කට වැඩිකාලයක් මේ පළාතෙ සිදුවුනු අවාසනාවන්ත දේවල් මම දැක්ක. ඒ නිසා මට ඒක වැ‍රැද්දක් ගැන නිහඬවෙලා අනෙක් එක විතරක් වැරදියි කියන්න බෑ. මායිම් ගම්මාන කියල හඳුන්වපු ගම්වලට වැදිලා එල් ටී ටී ඊ එක කරපු පහරදීම් වැරදියි වගේම ඒ විදියටම 50, 60 ගණන්වල දෙමළ අයට කළ පහරදීම් වැරදියි. ඒ සියල්ල සිදු නොවියයුතුව තිබුනු දේවල්".

චූටි අක්කා මට කතාකර තිබුනේ සීවලී හාමුදුරුවො අප්‍රේල් 9 වැනි දින උදේ අපවත් වූ බව දැන්වීමටයි.

මේ බ්ලොග් සටහන ලියන්න හිතුවේ හිතට ඇතිවූ පුංචි දුක නිසාම නෙවෙයි. ඊට වඩි දෙයක් ඔබ සමග බෙදාගන්න.

වසර 60ක පමණ කාලයක් තුළ අද අම්පාර ලෙස හඳුන්වන ප්‍රදේශයේ සිදු වූ බොහෝ සිදුවීම් පිළිබඳ දැනුම සීවලී හිමියන් සමගම මිය යනවා. ඒවා කොතැනක වත් ලියා පළකර නැත. මම මීට පෙර ලිපියක සීවලී හිමියන් පවසූ අම්පාර බස් ඩිපොව අදපිහිටි බිමේ එදා තිබුනු දෙමළ ගම්මානයකින් එහි වැසියන් පළවා හැරීම පිළිබඳ සිද්ධියක් වාර්තාකළ විට ඒය විවේචනයට බඳුන් කළ එක් සහෝදරයෙක් කියා සිටියේ මාගේ වාර්තා විශ්වාසකළ නොහැකි බවයි. මක් නිසාද ඒවා එක් එක් අයගෙන් අසා දැනගත් දේ වන බැවිනි. ඒ වෙනුවට 'සංසෝනි වාර්තාවේ' නම් සිංහලයන් ගම්බිම් වලින් පන්නා දැමීම ගැන වාර්තාවන බව එතුමා පවසා සිටියා.

මා කියන සිද්ධි සැක සහිත වන්නේ ඒවා කිසිතැනක ලියා නැති බැවිනි. සංසෝනි වාර්තාවේ එන සිදුවීම පිලිගත හැකි දෙයක් වන්නේ එයට ලිඛිත සාක්ෂි ඇති බැවිනි.

එතුමා මතු කරන්නේ අතිශයින්ම වැදගත් කරුණකි. ඉතිහාසය යනු ලියා වාර්තා කොට ඇති දේයි. යමක් ලියා නැත්නම් එය සිදුවී නැත. (ඒවා ඔප්පු කිරීමට ශාක්ෂි නැති බැවිනි). ඒ අනුව සීවලී හාමුදුරුවො දැනසිටි සිදුවීම් ලියාතබා නැති බැවින් ඒවා අයත්වන්නේ කිසිදා සිදුනොවූ සිදුවීම් ගොඩටය.

මෙහිදී මතුවන ප්‍රශ්නය නම් වසර 50ක් තරම් කෙටි වූත් අපගේ ජීවිත කාලයට මෙතරම් සමීප වූත් කාලපරිච්ඡේදයක් තුළ මුලු රටේම නොව එක් කුඩා භූගෝලීය ප්‍රදේශයක් තුළ සිදු වුනු දෑ සම්බන්ධ ඉතිහාසය ගොඩනැංවීමේ දී ලියා තබා ඇති වාර්තාවලට ඇතුලත් වූ තොරතුරු සත්යවශයෙන්ම සිදු වූ දේවලින් මෙතරම් සීමා සහිත වූ එකක් නම් (සීවලී හිමිගේ අත්දැකීම් ලිඛිත වාර්තාවලට ඇතුලත් නොවන බැවිනි) වසර 2500 ක කාලය සම්බන්ධ ඉතිහාස්යට අදාලව ලියැවි ඇති වාර්තා කොතරම් නම් සීමා සහිත ඒවා විය හැකිද යන්නයි. වෙනත් වචනයෙන් කිවහොත් සත්යවශයෙන්ම සිදුවුනු දෑවලින් කොතරම් අඩුප්‍රමානයක් ද වාර්තාවලට ඇතුලත්ව ඇත්තේ යන්නයි. ඒ වාර්තාත් ඒවා ලියූ අයගේ කැමැත්ත අකමැත්ත පක්ෂපාතීකම් කොතරම් නියෝජනය කරනවා ඇත්ද? එවන් වාර්තා මත පිහිටා ගොඩනංවන ඉතිහාසය සත්ය ඉතිහාසයක් ලෙස පිළිගැනීම කොතරම් ප්‍රශ්නකාරී වියහැකි ද? එවන් ඉතිහාසයක් මත පිහිටා නූතන ප්‍රශ්න විසඳාගැනීමට යාමත් ඒ මත ම එකිනෙකා මරා ගැනීමත් කොතරම් නම් මෝඩකමක් ද?




Reactions:

13 Comments

දෙමළ ජනතාවට වූ අවාසනාවන්ත තත්ත්වය ගැන අම්පාරින් පමණක් නොව, පරණ ඔප්පු තිරප්පු බැලූ විට සනාථ වෙනවා. මං එප්පාවල ප්‍රදේශය සම්බන්ධව කටයුතු කරන කාළේ මුල් කාලයේ පදංචි බිමක ඔප්පු පරික්ෂා කළා. බහුතර වශයෙන් නගරාසන්නයේ ඔප්පුවල මුල් අයිතිකරුවන් දෙමළ ජාතිකයන්. සිංහල ජනතාව විසින් කළ විවිධ අඩංතේට්ටම් නිසා ඒවා විතුණලා උතුරට උතුරට ගොහින්. දැන් එවැනි දේට කුමක් කරන්න ද? අපට සහයෝගීත්වය සඳහා කටයුතු කරන්න තියෙන්නේ මේ බිඳුණු දේශයයි; බිඳිණු හදවත්වලට යි. සීවලි හාමුදුරුවන් කියන්නා‍ක් මෙන් පරණ දේ අමතක කොට සමාව දානය කොට අලුත් රටත්, සහජීවනයේ පරිසරයක් සකසා ගන්න අවශ්‍යයි. 1983ට කලින් අපට මේ තරම් දෙමළ සිංහල වෛරයක් තිබුණේ නැහැ. 1983 තමයි ජනවර්ග දෙක සදහට ම වෙන් කළ තීරණාත්මක සන්දිස්ථාන ය.දැන් ඉතිං මේ වෛරීය අතීතයට තිත තබමු෴

ස්තූතියි මැදිහත්වීමට.
මේ ලිපියෙනුත් පෙර මා ලියූ ලිපි 6 නුත් උත්සාහ කරන්නේ නැවත සහෝදරත්වයෙන් යුතුව මිනිසුන් ජීවත්වන රටක් ගොඩනැංවීමට කොහොම දායක විය හැකි ද යන්න සාකච්ඡා කිරීම. එහි දී සීවලී හාමුදුරුවො ඒ දෙස බලන විදිහ වැදගත්. අනෙක් අතට උන්වහන්සේ කියන තොරතුරු අනුව අපි ජාතීන් හැටියට සහෝදරත්වයෙන් සමගියෙන් හිටි කාලය වඩා දිගයි අපි බෙදී හිටි කාලයට වඩා. (සිංහල භාෂාවේ තියෙන විශාල ප්‍රමාණයක් දෙමළ වචන ඒකට ශාක්ෂි දරනව කියලයි මම හිතන්නෙ). ඒ වගේම ඒක ගැඹුරුයි සිංහල දෙමළ ලෙස නොසලකා විවාහ සම්බන්දතා ඇතිකරගන්න තරම්.

දෙවෙනි කරුණ මම මේක ලියන්නේ දෙමළ තරුණයන් කිසිත් හේතුවක් නැතිව (ඔවුන් තුළ වූ ත්‍රස්ත්වාදීකම නිසාම) අවි ගත්තාය වැනි අදහසක් පතුරවමින් ඉන්න සමයක. මගේ උත්සාහය ඊට වෙනස් තත්වයන් පේන්න තියෙනව කියන එක මතුකරන එක. එහෙම පිලිනොගෙන අපිට සහෝදරත්වයෙන් යුතුව ජීවත්වන රටක් ගොඩනගා ගන්න අමාරු වෙයි.

//දැන් ඉතිං මේ වෛරීය අතීතයට තිත තබමු//

මම සහෝදරයගේ අදහස එක්ක ඒකඟයි.

ඔබේ උත්සාහය අගය කිරීම හැර වෙන කරන්න දෙයක් නෑ. මමත් ඔබ කියූ ලෙසම මේ ප්‍රශ්නයට හේතුව මොකද්ද කියල හරියටම දන්නෙ නෑ, ඒ නිසා මේ වගේඑ හෙලිදරව් හරිම වැදගත්. අපේ මොල හෝදල තියෙන්නෙ. බල්ලෙක් මැරිල වැටිල හිටියත් අනේ අපොයි කියවෙන මම ප්‍රභාකරන්ගේ මිනිය දැක්කම උඩ පැන පැන නිනාවෙවී අත්පුඩි ගහුවෙ ඇයි කියල මට තාමත් හරියට හිතා ගන්න බෑ. එහෙම කරල පිටිපස්ස හැරුනම මගේ දෙමල යාලුවෙක් මගේ දිහා බලාගෙන ඉන්නව මම දැක්ක. ඒ වෙලාවෙ ඇතිඋන හැඟීම මට තාමත් දැනෙනව.

ස්තූතියි තරිඳු,
අපි අවුරුදු 30ක් තිස්සෙ දිග ඇදුණු කෲර යුද්දයක් දැක්කා. බිම් බෝම්බ වලට අසුව මියගිය සොල්දාදුවන්ගේ සීල් කරන ලද මිනී පෙට්ටිවලට පාංසකූල දෙනවා දැක්කා. දරුගැබ් සහිත කාන්තාවන් ඇවිත් තමන්ව පුපුරවා ගන්න අකාරය දැක්කා. දරුවන් ද ඇතුලුව ගම් පිටින් කපා කොටා තියෙනව දැක්කා. ලෝකෙ කොහෙද මෙබඳු දරුණු තත්වයක් තිබුණේ?.. දැන් යුද්දේ අවසානයි කියා ඇස් පියාගන්න පුලුවන් වෙන්නේ කොහොම ද? ඇයි මෙහෙම වුනේ කියලා සොයා බලන ගැඹුරු සාකච්ඡාවක් ඇතිවෙන්න ඕන නේද. එහෙම් උනොත් නේද ආයෙ එහෙමෙ දෙයක් ඇතිවීම වළක්වන්න පුළුවන් වෙන්නෙ. ඒත් ඒක මම දකින්නේ නෑ. අපේ මිනිස්සුනට ප්‍රශ්නෙ හරි සරලයි. බටහිර ජාතීන්ට රට බෙදන්න ඕන... දෙමළ බෙදුම්වාදය ඒකට සේවය කරනවා... ආයේ ආයුද ගත්තොත් තව යුද්ද එකක් නෙවෙයි දෙක තුනක් උනත් කරන්න ලෑස්තියි.. ඕව තමයි උත්තර.
මම මාස්ටර්ස් කළේ ඉන්දියාවේ. එහේ හිටියා යාපනේ විශ්වවිද්යාලයේ ගුරුවරු පවුලක්. ඒ අය මට ඉතාම හිතවත්. ඒ අය එල් ටී ටී එකට හරිම විරුද්ධයි. එයා කී දේ තමයි "අපි ප්‍රභාකරන් කෙනෙක්ව හදාගත්තේ නෑ, ඕගොල්ලොයි අපිට එහෙම යකෙක් හදල දුන්නේ" කියල. මම මෙතනදි මතක් කරන්න කැමතියි මීට පෙර ලියපු පෝස්ට් එකේ මම දක්වපු උහන ප්‍රදේශයේ දෙමල ගම්මානයක් මංකොල්ල කා ඒ ගම්වැසියන් එහෙන් පලවා හැරීම පිළිබඳ මගේ අම්මා කී කතාව. අම්මාට ඒ සිද්ධිය කොයි තරම් නොවැදගත් උනාද කියනවා නම් ඔය කියන දවසේ වාහනේ කැඩිල අදාල ගම මැදින් පයිං යන්න සිද්ධ නොවුනනම් අම්මකවදාවත් ඔය කතාව මට කියන්නේ නෑ. නමුත් තරිඳු, ජීවිත කාලයක් එක් ‍රැස්කරගත් දේ අතහැරල ඒ ගම දාල යන්න සිද්දවුනු මිනිස්සුන්ටත් මේ සිද්දිය අපේ අම්මට වගේම සරලද? ඒ අය මේ කතාව තම දරුවන්ට නොකියා ඉඳී ද අපේ අම්ම වගේ. ඔයාගේ ප්‍රියතම පොතක් වෙච්ච ශ්‍යාම් සෙලවදොරේ ගේ ෆනි බෝයි නවකතාවේ තියෙනව නේද මේවගේ අතීත සිද්දි ඊළඟ පරම්පරාවට ගෙනයන ආකාරයට උදාහරණ. ප්‍රභාකරන් කෙනෙක් හැදීම පිටිපස්සේ මරාගෙන මැරෙන බෝම්බකාරයෙක්/කාරියක් හැදීම පිටිපස්සේ මේව නැත් ද? මගේ ලිපියක මම ලිව්වා තව ප්‍රභාකරන්ල විශාල සංඛ්‍යාවක් බිහිවෙන්න අවශ්‍ය සාධක අපි ඉදිරියෙ තියෙනව කියල. ලඟදි හමුවුනු දෙමළ මිත්‍රයෙක් කිව්වා ලක්ෂතුනක් පමණ වූ දෙමළ අනාතයන් අතරින් දරුවන් පන්සියයක් තරම් වත් තමන්ගේ මව පියා හෝ ලඟම ඥාතියෙක් කොහෙන් හෝ වැ‍ටුනු ශෙල් වෙඩිල්ලකින් තුවාල ලබල නිසිප්‍රතිකාරයක් නැතිකමින් දවස් ගණන් වැල්ලේ ඉටිරෙද්දක් මත දුක් විඳල මැරෙනව දැකල තියෙනව කියල. මේ දරුවො හෙට ලොකුවනවා. මම දන්නේ නෑ ඒ අය කවුරු වෙයි ද කියල. ඒත් මේක භයානක තත්වයක්.

මම හදන්නේ සිංහලු වැරදියි කියන්න නෙවෙයි. කොතනද වැරදුනේ කියල සොයන්න. රාමචන්ද්‍ර සහෝදරයාගේ මෑතම ලිපියේ ලංකාවේ ජාතික කොඩිය නිර්මාණය කිරීම පිළිබඳ සාකච්ඡාව මේ අර්ථයෙන් ඉතාම වැදගත්.
http://ramachandrageadaviya-ramachandra.blogspot.com/2010/04/blog-post_08.html

'යමක් ලියා නැත්නම් එය සිදුවී නැත.'

එලෙස කරන්නට අපට බල කර ඇත. මොකද දෙමළ ජාතිවාදීන් විසින් අළුතින් ඉතිහාසය නිර්මාණයට ඔය ඔඅබ් කිවු කතාව පවා යොදා ගන්න බැවිණි. එනිසා වාර්ථා ගත සිද්ධි හැර අන් කිසිවක් මෙ අන්තර්ජාල යුගය තුල පිළිගැනීමට නොහැක්කේ ඒව මවන ලද සිද්ධි වීමට බොහෝ ඉඩ ඇති ඹැවිනි.

ඔබේ ඉතිහාසය ගැන කතාව බයිලාවකි. ඉතිහාසය ගොඩ නගන්නේ මූලාශ්‍ර විශාල ගණන්කින් මිස එක් පොතකින් නොවේ. හෙමින් සැරේ ඔබ අත දිග හැර මහාවංශයට ගහන්නට හැදුවද එය පරම සත්‍යය ලෙස ඉතිහාසඥයන් පිළි නොගනිති. මහාවංශයේ පිළිගැනෙන්නෙ සෙල් ලිපි, විශේශ වාර්තා වැනි මූලශ්‍ර කීපයක් මගින් සනාථ වූ වාර්ථා පමණකි. එලෙස ඔප්පු කරන ලද ඉතිහාසයක් මත පිහිටා කතා කරන සිංහලයන් ජාතිවාදී වීමටත්, සම්පූර්ණයෙන් ගොතන ලද, ඔප්පු නොකළ ඉතිහාසයක් ගෙන සටන් කරන දෙමළ ජාතිවාදීන් හරි ලෙසත් පිටස්තරයාට පෙනීම කරුම දෝෂයක් විය හැකිය.

මා ඉතිහාසය ගැන කී දේ ලංකා ඉතිහාසයට පමණක් අදාල දෙයක් නොවේ. පොදුවේ සෑම රටකම ඉතිහාස අධ්‍යයනයට අදාල වූවකි. එනම් මූලාශ්‍රයනට ඇතුලත්වන සිදුවීම් හා විස්තර අදාල කාලපරිච්ඡේදය තුළ සිදුවූ සියළුම සිදුවීම් වල විස්තර නොවේ ය යන්න සහ එහෙයින්ම ඉතිහාසය විශයයේ පවත්නා සීමාවන්ය. එයට සාධක ලෙස ඉදිරිපත් කළේ සීවලී හිමියන් ගෙන් ලබා ගත් තොරතුරුයි. මේ දුර්වලතාවය මහාවංසයට පමණක් අදාල වූවක් නොවේ. ඒ නිසා මාගේ ලිපිය මහාවංසයට වක්‍රව ගැසීමක් නොවේ.

//ඔප්පු කරන ලද ඉතිහාසයක් මත පිහිටා කතා කරන සිංහලයන් ජාතිවාදී වීමටත්,//

ලෝකයේ කිසිතැනක ඔප්පු කරන ලද අවසන් ඉතිහාසයක් නැත. අලුතෙන් කෙරෙන පුරාවිද්‍යා කැණීම් වාර්තා අලුතෙන් සොයාගන්න සෙල්ලිපි මත ඉතිහාසය කලින් කලට වෙනස් වේ. එසේ අවසන් ඔප්පු කරන ලද ඉතිහාසයක් ඇත්නම් අලුතෙන් ඉතිහාසය සම්බන්ධ පර්යේෂණ කිරීම අවශ්‍ය වන්නේ නැත.

//සම්පූර්ණයෙන් ගොතන ලද, ඔප්පු නොකළ ඉතිහාසයක් ගෙන සටන් කරන දෙමළ ජාතිවාදීන් හරි ලෙසත් පිටස්තරයාට පෙනීම කරුම දෝෂයක් විය හැකිය.//

මා කිසි තැනක දෙමළ ජාතිවාදීන් හරි කියා කියා නැත. මා උත්සාහ කරන්නෙ ඇති වූ අවාසනාවන්ත තත්වයනට බල පෑ හේතූන් හඳුනා ගැනීමට උත්සාහ කිරීමයි. ඒ නැවත එවැනි තත්වයක් ඇත්වීම වළකා ගැනීම සඳහා එබඳු අධ්‍යයනයන් වැදගත් බැවිනි.

Again, you very conveniently forget (or ignore) the part played by the English educated Tamil elite towards igniting the war.

What about Ponnambalam's 1947 demand for 50-50? What about Tamil elite opposing Sinhalal being the official language, because they were going to loose their privileges? (The same Tamil elite had no problems with English being the official language)

You talk as if it was the Sinhala colonization that ignited the civil war in Sri Lanka. My dear friend, colonization is a very common process throughout the Sri Lankan history. For example,

1. British colonizing upcountry with Tamils from India
2. Kandian kings colonizing provinces in Kandy with Muslims from the coastline

and more controversially,
1. Dutch colonizing Jaffna with Tamils from India
2. British colonizing East with Tamils from India

What's so special about Sinhala colonization of East?

@ Sube's Thoughts........

මෙහි මා නැගෙණහිර පළාතේ සිදු වූ සිංහල ආක්රමණයක් ගැන කතා කර නෑ. මා දන්නා තොරතුරු මත කිවහැක්කේ සේනානායක සමුද්ර ව්යාපෘතිය යටතේ කිසිම දෙමළ ජාතිකයෙකුට තම ගම් අහිමිවුනේ නැති බවයි. ඒ වෙනුවට හතලිහක් පමණ වන අලුතින් බිහි වූ ජනපද අතර යම් ප්රමාණයක් ලැබී ඇත්තේ දෙමළ ජනයාට. අනෙක් අතට පාරම්පරිකව එහි ජීවත් වූ සිංහල සමහර දෙනාට නම් තම ගම් අහිමි වුණා. ඒ ජලාශයට තම ගම් යට වුණු නිසා. ඒ නිසා මා කියනා දේ කලින්ම ගත් තීරණයක සිට බලන්න එපා.

අම්පාර ප්රදේශයේ සිටි දෙමළ ජනයාට තම ගම් අහිමි වුනේ බොහෝවිට සේනානායක සමුද්රයේ වැඩට පැමිණ සිටි අය අතර හුන් ඇතැම් දාමරිකයන්ගේ ක්රියා නිසා. මම හිතනවා ඔබට ශක්තිය තියෙනවා කියල කියන්න එහෙම උණානම් ඒක වැරදියි කියලා.
මම පෙන්වා දුන්නා දළදා මලිගාවේ බෝම්බ සිද්ධියෙන් පසු ඇතැම් දාමරිකයන් ආරම්භකළ ප්රහාරය ගැන. එය වහාම නතර වූයේ දේශපාලන නායකත්වය ගත් දැඩි රිජු තීරණය නිසා. මම කියනවා දෙමළ ජනයාට එරෙහිව 50 දශකයේ සිට සිදු වූ දාමරික ප්රහාරයන් සියල්ලම මේ ආකාරයට වළක්වන්න තිබුණා දේශපාලන නායකත්වය මේ ආකාරයට එදාත් කටයුතු කළා නම්. එහෙමෙ උණානම් මේ කළු පැල්ලම් සිංහල ජාතියට එල්ලවන්නේ නෑ. සමහර විට ප්රභාකරන් වැනි දාමරිකයෙකු බිහි නොවන්නටත් තිබුණා. මේසා විසාල ව්යසනයක් අප දෙපර්ශවයටම සිදු නොවන්නත් තිබුණා.

ඔබ කියා තිබුණා 50ට 50 ඉල්ලීම ගැන. මගේ අදහස සියයට 75ක් ඉල්ලුවත් ඒ නිසා දාමරික ලෙස සාමන්ය ජනයා පෙලන්න කාටවත් අයිතියක් නෑ. අම්පාර ඩිපෝව අද තිබන තැන ජීවත් වූ දෙමළ ජනයා 50ට 50 බලයක් දෙමළ නායකයන් ඉලා ඇතිබව දැනගන්නට ඇත්තේත් තමන්ව ඔවුන්ගේ ගම්බිම් වලින් එළවා දැමුවාට පසුව. සිංහල දේශ්පාලන නායකකයින්ගේ ක්රියාවනට සාමාන්ය සිංහල ජනයා වග නොකිය යුතුවාක් මෙන්ම දෙමළ නායකයින්ගේ ක්රියාවනට සාමාන්ය දෙමළ ජනයා වගකිවයුතු නෑ.

අනෙක 50ට 50 ඉල්ලීම දෙශපාලනිකව චන්ද ක්රමය තුල පාර්ලිමේන්තු ක්රමය තුළ විසඳිය හැකි ප්රශ්නයක්. එය විසඳීමේ අවස්ථාව දාමරිකයන්ට දියයුතු නෑ.

ඔබ අදහස් කරනවා මම නැවත් වයිරය ඇති කරනවා කියා. මම මේව ඉන්ග්රීසියෙන් හෝ දෙමළ බසින් ලියා නෑ. ඉන්ග්රීසි බසට නැගීමට අයෙකු ගත් උත්සාහයේදිත් මම ගත්තේ වෙනත් ස්ථාවරයක්. නමුත් සිංහල ජනයා අතර මේ සාකච්ඡාව ඇති වියයුතුයි. මක්නිසාද අලුත් පරම්පරාව දන්නේ එල් ටී ටී එක කළ දේවල් පමණයි. දෙපැත්තේම සිදු වූ දාමරික ක්රියා සියලු දෙනා දන්නවානම් වඩා යහපත් සම්බන්ධතාවයන් ජාතීන් දෙක අතර ඇති වීමට එය හේතු වේවි.

අද යාපනයේද නැගෙනහිර ද යුද්ධයේ සංඛේත හැටියට තිබෙන දේවල් ඉවත් කරගෙන යනවා. බෝම්බ වැදී විනාශ වූ කෝවිල් පල්ලි රජය විසින් අලුත්වැඩියා කරනවා. එල් ටී ටී ඊ ස්මාරක ඉවත් කරනවා. මෙයින් ඉදිරියෙ බිහිවන දෙමළ දරුවන් තුළ මේ යුද්ධයේ මතකයන් ඉවත් කරන්න හදනවා කියා හිතන්න පුළුවන්. ඒ සිදුවීම් ගැන අඩුවෙන් දන්නා දරු පිරිසක් මින් බිහිවේවි. නමුත් සිංහල ප්රදේශවල කොතරම් යුදස්මාරක තියෙනවද? මය්ත්රියේ පණිවිඩය දෙසූ, වයිරයෙන් වයිරය නොසන්සිඳේ කියූ බුදුන් වෙනුවෙන් ඉදි වූ දළදා මාලිගාවේ එල් ටී ටී ඊ ප්රහාරයේ හානිය දැක්වෙන ඡායාරූප තැංපත් කළ කෞතුකාගාරයක්ම තිබෙනවා. ඒ කියන්නේ හෙට දවසේ බිහිවන සිංහල දරුවන් තුළ පමණක් මේ මතකය අප රෝපණය කොට පවත්වාගෙන යනවා. ඒ කියන්නේ හෙට මුනගැහෙන සිංහල හා දෙමළ දරුවනුත් ඉන්නේ එකිනෙකා ගැන අසමාන අවබෝධයක.

කරුණාවෙන් ඉල්ලනවා මාව දුටුවහාම ලේබල් අලවන්න උත්සාහ කරන්නේ නැතිව මා කියන්න හදන දේ මැදහත්ව වටහා ගන්න උත්සාහ ගන්න. එය අද අවශ්යයි. මා සියයට සියයක්ම නිවැරදිය කියා මා කියන්නේ නෑ. ඒත් මගේ අරමුන ගැන මට අවබෝධයක් තියෙනවා. එය පිරිසිදු එකක්.

Pitastharaya, your Motives are clear man.... U r a cancer to this nation. Please don't do this. This is a sin in all religious believes. For the thing you do in this blog, you'll pay badly oneday by the nature, because u r truly creating hatred. And your children (if u have any) and parents will suffer as well. So If you love your loved ones, please stop spreading bullshits and creating disharmony among Sri Lankans (Sinhalese, Tamils and Muslims)
And don't bring up hear say evidence and try proving things. If i say u raped your sister and i can't prove it because I dnt have enough evidence in public, no matter the incidence in true or false u will be badly labeled. So think twice when u bring up hearsay evidence...
And Don't put LTTE and Tamil people in the same catogory I doubt u have connections with LTTE sine u r not comiing to Sl aften aswell. Or u r brainwashed by the terrorosts. Anyways, stop this bullshitting because you or your family members will suffer for this criminal behaviour...

@ shigelladysentariae

According to my religion one has to take the responsibility of his own actions only. So except me no one in my family has to pay for my actions.

But if we keep people in dark and in a carnival without paying proper attention to make them understand how this kind of disastrous thing happened in this country I think it will be a cures to every one of us including your children. If some people worked like me, educate people and force the governments to punish the hooligans who attacked innocent Tamil people and give the justice to the people who were suffered 5o years back my brother and all the people Sinhalese and Tamil) who died in the war would have lived until today. They are the precious wealth we lost.

I heard that the president of the country has appointed a committee to study why this kind of war erupted in the country. I dont know whether his motives are genuine or not. But by doing that he has accepted that this has to be studied, discussed and take actions to stop such mistakes happen again.

I am out of the country for my studies. As soon as I finish it I ll be back in the country.

//And Don't put LTTE and Tamil people in the same catogory//

If you read all my comments I ve written for the the article 'Sinhala Demala sahodarathvaya venuven karana Illiimak" you will understand my posision is the opposit.

I know very well I have to fight with both the Sinhala and Tamil extremist forces. (Do not misunderstand. I am not branding you as any of them). All my writings including the article on Mahavansa shows clearly my position.

Now I feet pitty for you, because no matter how much you tried to act unbiased, your every article is so damn biased dude. And leads no where but disharmony between sinhala and Tamil people. If you really want harmony stop creating hatred. Use positive reinforcement instead of negative reinforcement. Get rid of your inferiority complex. When we are ready to see you as our own brother don't try to rebel and keep being a pitastharaya.

Post a Comment

Post a Comment